ගුවන් හමුදාවෙන් මානව හිමිකම් කොමිසමට තහංචි : කඳවුරකට ඇතුළු වීම තහනම් කරයි – කොමිසම ජනපතිට ලියයි !

Share post:

යුද අනාථයන් පිරිසක් රඳවා සිටින කඳවුරකට ඇතුල්වී ඔවුන්ගේ සුබසිද්ධිය සැලසීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් දරන ලද උත්සාහයක් ගුවන් හමුදාව විසින් වලක්වා තිබේ.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින ළදරුවන්ද ඇතුළු මියන්මාරයෙන් පලා යන රැකවරණ පතන්නන් සියයකට වැඩි පිරිසක රැඳවුම් තත්වය හා සුබසාධනය සොයා බැලීමට වෛද්‍යවරයකු සමග කොමිෂන් සභාවේ ඉහල නිලධාරීන් පිරිසක් නත්තලට පසුදා ගන්නා ලද උත්සාහය ගුවන් හමුදා නිලධාරීන් විසින් වලක්වන ලද බව කොමිසම සේනාධිනායකද වන ජනාධිපතිට දැනුම් දී තිබේ.

ඊට දින දෙකකට පෙර මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මුලතිව්හි ශ්‍රී ලංකා ගුවන් හමුදා පහිනාංකයිතාවකාලික රඳවා තබා ගැනීමේ ස්ථානයක්’ ලෙස අනුමත කරන ලදී. ඒ බව ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත්තේ අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න විසිනි.

ඊට ප්‍රවේශ වීමට අවසර දී නැත්තේ ආගමන විගමන පාලක ජනරාල්වරියගේ නියෝග පරිදි යයි ප්‍රකාශ කරමින් බව මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායකට දැනුම් දී ඇත.

“එම රැකවරණ පතන්නන් වෙත කිසිදු තැනැත්තෙකුට ප්‍රවේශ වීමට අවසර නොදෙන ලෙස ආගමන විගමනන පාලක ජනරාල්වරිය වෙතින් තමාට නියෝග ලැබී ඇති බව ඉහත කී රැකවරණ පතන්නන් රඳවා තිබූ ගුවන් හමුදා කඳවුර භාර ප්‍රධාන නිලධාරියා මානව හිමිකම් කොමිසම් සභාවේ නිලධාරීන්ට දැනුම් දෙන ලදී,” යි කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර එල් ටී බී දෙහිදෙනිය දෙසැම්බර් 27 දා විසින් ලියන ලද ලිපියේ සඳහන් වේ.

ඉන් අනතුරුව කොමිසම විසින් වැඩ බලන ප්‍රවේශ අවසරය ඉල්ලා ලියන ලද ලිපියට ආගමන හා විගමන පාලක ජනරාල් නිලූෂා බාලසූරියගෙන් ලිඛිත ප්‍රතිචාරයක් ලැබී නැත.

“උක්ත ලිපියට ප්‍රතිචාර ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා විසින් වාචිකව දන්වන ලද්දේ මෙම රැකවරණ පතන්නන් වෙත ප්‍රවේශය ලබාගැනීම සිය දෙපාර්තමේන්තුව මගින් නොව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා වෙතින්ම ලබාගන්නා ලෙසය,” යි කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිට සැලකර ඇත.

තමන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් දෙසැම්බර් 31 දා පෙරවරු 10.30ට පෙර කරුණු දැක්වීමට ආගමන හා විගමන පාලක ජනරාල්වරිය ඇතුළු නිලධාරීන් කැඳවා ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

ඕනෑම අයකු රඳවාගෙන සිටින ස්ථානයක් පරීක්ෂා කිරීමේ බලතල මානව හිමිකම් කොමිසම සතු බවද කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරයාට සිහිපත් කර දෙයි.

“කොමිෂන් සභාව විසින් ලියවිල්ලකින් බලය දෙන ලද යම් තැනැත්තකු විසින්, කවර හෝ වෙලාවකදී, යම් තැනැත්තකු අධිකරණමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් රඳවා සිටින යම් රැදවුම් ස්ථානයකට, පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ වෙනත් යම් ස්ථානයකට ඇතුල් වී, එහි රදවා සිටින තැනැත්තන්ගේ රදවා ගෙන සිටිමේ කොන්දේසි නිසැකව දැනගැනීම පිණිස අවශ්‍ය වන්නාවූ යම් පරික්ෂා ඒ ස්ථානයෙහි කළහැකිය: නැතහොත් එහි සිටින යම් තැනැත්තෙකුගෙන් යම් විමසිමක් කළ හැකිය,” යනුවෙන් සඳහන් 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් පනතේ 28 (2) වගන්තිය විනිසුරු දෙහිදෙනිය සිය ලිපියේ උපුටා දක්වා ඇත.

එසේ හෙයින් රැකවරණ පතන්නන්ගේ සුබසාධනය ස්වාධීනව සොයාබැලීමට සහ ඔවුන් සම්බන්ධ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පහසුකම ලබාදීමට අදාළ ආයතන වෙත නියෝග නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ත්‍රිවිධ හමුදා සේනානායක මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින 103 දෙනා අතරින් හතලිහකට අධික කුඩා දරුවන්ගෙන් වැඩි දෙනකු ළදරුවන් බව මානව හිමිකම් කොමිසම පවසයි. තවත් 12 දෙනෙක් ත්‍රිකුණාමලයේ රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටිති.

දෙසැම්බර් 19 දා මුලතිව් මුහුදු තීරයේ අතරමංව සිටි මියන්මාර යුද්ධයෙන් පලා යන රොහින්ග්‍යා අනාථයන් 115 දෙනාගේ දිවි ගලවාගෙන තිබුනේ යුද පීඩිත මුලතිව්හි දෙමළ ධීවරයන් පිරිසක් විසිනි.

(theleader.lk)

Related articles

‘අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය..’ සිංහල පරිවර්තනය එළිදැක්වීම නිමිති කරගත් සංවාදයක් අද (03)

හර්ෂණ රඹුක්වැල්ල ගේ The Politics and Poetics of authenticity හි සිංහල පරිවර්තනය (පරිවර්තක-ලියනගේ අමරකීර්ති) වන 'අව්‍යාජත්වයේ දේශපාලනය සහ...

කුසල් ජනිත්ගේ ඉනිම පරදවන ඉනිමක් ක්‍රීඩා කිරීමට තරම් ප්‍රතිවාදියෙක් නැහැ

කුසල් ජනිත් පෙරේරා සුදු පන්දු ක්‍රීඩාවට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් බව මා බොහෝ කාලයක සිට කියනා කතාවක්.එක්දින තරග කෙසේ වෙතත්...

The Return චිත්‍රපටය අන්තර්ජාලයට මුදාහැරේ

ඉතාලි ජාතික තිර රචකයකු හා ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයකු වන උබර්තෝ පැසොලිනි ( Uberto Pasolini ) විසින් අධ්‍යක්ෂණය කරන ලද...

ශිෂ්‍යත්ව විභාග තීන්දුවේ මාධ්‍යයෙන් හැළුණු වැදගත්ම කොටස : දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ කිරීමේ සීමා ඉර කුමක්ද?

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව තහවුරු වී ඇති ප්‍රශ්න තුනට විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු-සිසුවියන්ට සම්පූර්ණ ලකුණු...