ඉතිහාසයේ ඉඳන්ම ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකියයුතු උනන්දුවක් වගේම ප්‍රමුඛතාවක් තිබුණා කියන එක අවශ්‍ය තරම් සාක්ෂි පොත්පත්වල වගේම කතා සාහිත්‍යයේත් තියනවා. සමහරවිට ඒ නිසා වගේම නිදහස් අධ්‍යාපනය වගේ සාධකත් එක්ක අදටත් ලංකාවේ අධ්‍යාපනයට යොමුවීමේ ප්‍රවණතාවය සාපේක්ෂව වැඩියි.
උදාහරණයක් විදිහට ලෝක බැංකුවේ වාර්තාවකට අනුව 2022 අවුරුද්දේ ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයට දරුවන් ඇතුලත් කිරීම 95.9% ක්. සරලවම කිව්වොත් වයස අවුරුදු 5-6 අතරේ දරුවන් 100 දෙනෙක්ගෙන් 96 දෙනෙක් විතර පාසලේ ප්‍රාථමික අංශයට ඇතුලත් වෙනවා. හැබැයි දරුවන් 4 දෙනෙක්ට විවිධ හේතු නිසා ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ.
හැබැයි මේ දරුවන් අතරින් ද්විතියික අධ්‍යාපනයට යොමුවෙන ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩුවෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ කුසලතා වගේම වෘත්තියක් වෙනුවෙන් අවශ්‍ය කරන දැනුම ලබාගන්න පුළුවන් කාලය වෙද්දි දරුවන් සැලකිය යුතු පිරිසක් එක්කෝ පාසල් අතහැරලා යනවා, නැත්නම් පාසලට එන්නෙම නෑ.
අධ්‍යාපනය කියන්නේ පුද්ගලයෙක්ගේ ජීවිතයට ඉතා ඉහළ බලපෑමක් කරන සාධකයක්. විශේෂයෙන්ම අධ්‍යාපනය විසින් මනුස්සයෙක්ගේ ජීවිතයේ ධනාත්මක ආකල්ප ඇතිකරන්න සුවිශේෂී කාර්යභාරයක් කරනවා. ඒ විතරක් නෙවෙයි, ඉතා සංකීර්ණ තත්ත්වයන් යටතේ තීරණ ගන්න වගේම බොහොමයක් සමාජ-ආර්ථික තත්ත්වයන් පැහැදිලිව තේරුම්ගන්න අධ්‍යාපනය ප්‍රධානම හේතුවක් වෙනවා. ඒ නිසා විධිමත් අධ්‍යාපනය මගහැරෙන දරුවන්ට මේ කියන සාධක අතහැරෙන එක වළක්වන්න බැරි පාඩුවක්.
ලෝකයේ කරපු පර්යේෂණ සහ අධ්‍යයනයන් දිහා බැලුවම සමාජයක අපරාධමය චර්යාවන් සහ සමාජ විරෝධී ක්‍රියා ඇතිවෙන්න අඩු අධ්‍යාපන අවස්ථා, අධ්‍යාපනයට යොමු නොවීම මොනවගේ බලපෑමක් කරනවද කියන එක හොයලා බලන්න වටින කාරණයක්.
ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ පාසල් හැරයාම
ලංකාවේ අධ්‍යාපන පද්ධතිය කාලයක ඉඳන්ම පවතින්නේ ගැටළුකාරී තත්ත්වයක කියන එක රහසක් නෙවෙයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේම, අධ්‍යාපනය වෙනුවෙන් ඇති ප්‍රමුඛතාව ගැටළුසහගතයි. ලංකාවේ පාසල් වලින් 90%කට වැඩි ප්‍රමාණයක් පිහිටලා තියෙන්නේ ග්‍රාමීය අඩු පහසුකම් සහිත ප්‍රදේශවල. නමුත් පාසල් සඳහා රජය වැයකරන මුදල්වලින් මේ ග්‍රාමීය පාසල් සඳහා වෙන්වෙන්නේ 65% විතර ප්‍රමාණයක් කියලා UNICEP සංවිධානයේ වාර්තාවක් ඉස්මතු කරනවා.
නාගරික සහ ජාතික පාසල් 5%ක ප්‍රමාණයට 35%ක් පමණ රජයේ වියදම් වෙන්වීම එක්ක බොහොමයක් ග්‍රාමීය පාසල්වල පහසුකම් ඉතාම අඩුවීම විතරක් නෙවෙයි, ප්‍රධාන විෂයන් ඉගැන්වීමට තියන පහසුකම් අඩු නිසා ග්‍රාමීය පාසල්වල දරුවන්ගේ ප්‍රතිඵලත් සැලකිය යුතු මට්ටමකින් අඩුයි. මේ ග්‍රාමීය පාසල්වල සහ අඩු පහසුකම් සහිත පාසල්වල දරුවන් පාසල් හැරයන ප්‍රමානය වැඩියි. ඒ නිසා මේ අවවරප්‍රසාදිත ජනතාවට, අධ්‍යාපනය වෙනුවෙන් තියන ඉඩකඩට තව තව බාධා ඇතිවෙද්දි ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ප්‍රදේශවල රැකියා විරහිත තරුණ ප්‍රජාව වර්ධනය වෙන එකත්, ඔවුන් විවිධ අපරාධවලට පෙළඹෙණ එකත් වළක්වන්න බෑ.
මෑත කාලීන පාසල් සංගණන වාර්තා අනුව දරුවන් ද්විතියික අධ්‍යාපනයට පෙරාතුව පාසල් හැරයාමේ ප්‍රතිශතය 2019 වර්ෂයේ ඉඳන් දිගින් දිගටම වේගයෙන් ඉහළ යනවා. අධ්‍යනයන් ගණනාවක තොරතුරු අනුව මේ විදිහට පාසල් හැරයන දරුවන් අතරේ පිරිමි දරුවන් ප්‍රතිශතය වැඩියි. ඒ වගේම සාපේක්ෂව වතුකරයේ පාසල් හැරයන ප්‍රමාණය වාර්ෂිකව 20%කට ආසන්නයි.
ගොඩක් දුරට මේ විදිහට දරුවන් පාසල් හැරයාමට බලපාන ප්‍රධාන හේතු විදිහට හඳුනාගන්න පුළුවන් වෙන්නේ ආර්ථීකමය ගැටළු, පවුලේ ගැටළු සහ පාසල්වල පවතින ගැටළු. අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න ආර්ථික ශක්තියක් නැතිවීම, දෙමව්පියන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවක් නොදීම සහ පවුල් අභ්‍යන්තරයේ පවතින ගැටුම්, පාසල් උපකරණ සහ ඇඳුම් අඩුපාඩු වගේම පාසල්වල අවශ්‍ය ගුරුවරු සහ පහසුකම් නැතිවීම නිසා පාසල් හැරයාමේ සම්භාවිතාව ඉතා ඉහළ ගිහින්.
මේ විදිහට අනාවරණය වුණු තවත් වැදගත් කාරණයක් වෙන්නේ පාසල් හැරදා යන දරුවන් අතරින් 23%කට ආසන්න ප්‍රමාණයක් විශ්වාස කරන්නේ තමන්ට ගැලපෙන රැකියාවක් හොයාගන්න විධිමත් අධ්‍යාපනයෙන් උදව්වක් ලැබෙන්නේ නෑ කියලා. මේක ඉතාම බරපතල තත්ත්වයක්.
අපරාධ චර්යාවන් සහ අධ්‍යාපනය
2019-2023 බන්ධනාගාර වාර්තා සහ පොලිස් වාර්තා පදනම් කරගෙන කරපු අධ්‍යයන ගණනාවක්ම ඉදිරිපත් කරන්නේ අපරාධමය චර්යාවන් සහ විධිමත් අධ්‍යාපනය අඩු හෝ නොමැතිවීම අතරේ ප්‍රබල සම්බන්ධතාවයක් තියනවා කියලා. අපරාධමය වැරදිවලට දඬුවම් ලබන පිරිස අතරේ ඉන්න වැඩිදෙනෙක් (94%) සාමාන්‍ය පෙළ හෝ ඊට කලින් පාසල් අධ්‍යාපනය හැරදා ගියපු දරුවන් විදිහට හඳුනගන්න පුළුවන්.
සමහරවිට වැඩි අධ්‍යාපනයක් සහිත පුද්ගලයන් එක්කෝ අපරාධ චර්යාවන්ගෙන් බැහැරවෙලා ඉන්නවා හෝ අපරාධ කරලා නීතියේ රැහැනට අසුනොවී ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒත් අධ්‍යාපනය සහ අපරාධ කරන්න පෙළඹීම එක්ක පැහැදිලි සම්බන්ධතාවයක් තියනවා.
බොහෝවිට දුප්පත්කම නිසා මූලික අවශ්‍යතා ඉටුකරගන්න නොහැකි පවුල්වල දරුවන්ට අධ්‍යාපනය මගහැරන්න තියන ඉඩකඩ වැඩියි. ඒ වගේම ඊට පස්සේ ඔවුන්ට මුහුණදෙන්න වෙන සමාජමය සහ සංස්කෘතිකමය පීඩනය එක්ක පැවැත්ම වෙනුවෙන් ඔවුන් අපරාධවලට පෙළඹෙනවා කියන එක බොහොමයක් අපරාධවලට වැරදිකරුවන් වුණු පුද්ගලයන්ගේ ප්‍රකාශවලින් තේරුම්ගන්න පුළුවන්.
අපරාධවලට දඬුවම් ලබමින් සිරගතවෙලා හෝ පුනුරුත්ථාපනයේ ඉන්න පිරිසට ලැබෙන අධ්‍යාපනයේ සහ ඒ සමස්ත ක්‍රියාවලියෙත් ගැටළුවක් තියන බව පේනවා. මේ පිරිසෙන් සැලකිය යුතු කොටසක් නැවත නැවත අපරාධ කරලා නීතියට යටත්වෙන්නේ ක්‍රමවේදයේ ගැටළුව ඉස්මතු කරමින්. මේ පිරිසට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදුන්නත් මේ වෘත්තිය පුහුණුව එක්ක ලැබෙන රැකියාවලට, ආදායමට වඩා වැඩි ආදායමක් ලබන්න පුළුවන් මත්කුඩු ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට අදාල ජාලයක් බන්ධනාගාර සහ පුනුරුත්ථාපන මධ්‍යස්ථානවලදි ඔවුන්ට හඳුනාගන්න ලැබෙනවා. ඒ නිසා නැවත සමාජය තුළ යහපත් ජීවිතයක් ගතකරනවා වෙනුවට ඊටත් වඩා අපරාධමය චර්යාවන්ට යොමුවන අවස්ථාවන් වැඩියි.
විසඳුම් යෝජනා
අධ්‍යාපනය කඩකප්පල්වීම සහ ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපරාධ චර්යාවන්වලට දරුවන් යොමුවීම වලක්වන්න විවිධ අධ්‍යයනයන් වලදි එක එක විදිහේ ප්‍රතිපත්තිමය යෝජනා ඉදිරිපත් කරලා තියනවා. විශේෂයෙන්ම ග්‍රාමීය සහ අර්ධ නාගරික පාසල්වලට රජයේ තියන අඩු මූලිකත්වයක් දීලා කටයුතු කිරීම වෙනුවට අදාල පාසල්වලට අවශ්‍ය පහසුකම් ලබාදිලා සංවර්ධනය කිරීම. ඒ වගේම විශ්වවිද්‍යාල වරම් නොලබන දරුවන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය වගේම කුසලතා සංවර්ධනයට විධීමත් වැඩපිළිවෙලක් ඇතිකිරීම. ඒ වෙනුවෙන් අවශ්‍ය විෂය මාලා වෙනස් කිරීම. ඒ විතරක් නෙවෙයි පාසල් හැරයාමේ අවදානමක් තියන ශිෂ්‍ය කණ්ඩායම් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කලින් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම. වගේ ක්‍රියාමාර්ගවලින් මේ තත්ත්වය යම්තාක් දුරට සමනය කරගන්න පුළුවන්.
විධිමත් සමාජ සුබසාධක වැඩ පිළිවෙලක් ඇතුලේ ආර්ථික අපහසුතා නිසා අධ්‍යාපනය කඩාකප්පල්වීම වළක්වන්න අවශ්‍ය පියවර ගන්න පුළුවන්. ඒ වගේම සිවිල් සංවිධාන සවිබලගැන්වීම ඇතුලේ අධ්‍යාපනය වැඩිදියුණු කරන්න සහ අධ්‍යාපනයට අඛණ්ඩව යොමුකරන්න අවශ්‍ය සමාජමය පෙළඹවීම කරන්න යම්කිසි ශක්‍යතාවයක් තියනවා. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න රජය පෙළඹුනා කියලා පාඩුවක් වෙන්නේ නෑ.
මේ වගේ සියුම් කාරණා අතහැරලා දාලා, අපරාධ මර්දනය, අපරාධකරුවන්ට දඬුවම් දීම තුළින් ස්ථිරසාර විසඳුමක් ලැබෙන්න තියන ඉඩකඩ අඩුයි. මොකද පුද්ගලයන්ගේ අපරාධ චර්යාව කියන්නේ මේ සිදුවීම් දාමයේ ප්‍රතිඵලයක්ම මිසක හේතුවක් නොවෙන නිසා අපරාධකරුවන් බිහිවෙන්න බලපාන සමාජමය, සංස්කෘතිකමය සහ ආර්ථීකමය සාධක ඉවත් කරන්නේ නැතිව, අදාල සාධක හා බැඳුණු ගැටළුවලට නිසි පිළීතුරු ලබාදෙන්නේ නැතිව අපරාධකරුවන් දඩයමින් පමණක් මේ සමාජය යහපත් සමාජයක් කරන්න අමාරුයි කියන එක තේරුම්ගත යුතුමයි. මේ කතාකලේ ඒකට අධ්‍යාපනය පැත්තෙන් තියන බලපෑම විතරයි. මේ වගේ තවත් සාධක ගණනාවක් බලපානවා. ඒ කරුණු එකින් එක එළියට අරගෙන නියම අධ්‍යයනයන් කරලා ප්‍රතිපත්තිමය සහ දිගුකාලීන පිළිතුරු සෙවීම කාලෝචිතයි.

