සෝනියා ගාන්ධිගේ සැලැස්මට මන්මෝහන් සිං නැටුවාද ?

Share post:

ආචාර්ය මන්මෝහන් සිංගේ මාධ්‍ය උපදේශකවරයා ලෙස කාලයක් කටයුතු කළේ සංජය බාරු ය. 2004 සිට 2014 දක්වා ඉන්දියාවේ අගමැති ධුරය දැරූ සිං ගැන ඔහු පොතක් ලිව්වේය. The Accidental Prime Minister – The making and unmaking of Manmohan Singh යනු ඒ පොතයි. මේ පොත ආශ්‍රයෙන් චිත්‍රපටයක් හැදුවේය. මේ චිත්‍රපටයේ මන්මෝහන් සිංගේ චරිතයට රඟපාන්නේ අනුපම් කේර් ය. සංජය බාරුගේ චරිතය රඟපාන්නේ අක්ෂේ ඛන්නා ය. එය ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද ජනප්‍රිය චිත්‍රපටයක් විය.

ඒ මන්මෝහන් සිං පසුගිය බ්‍රහස්පතින්දා මියගියේය.

2004 වසරේ පැවැති ඉන්දීය මැතිවරණය කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුත් ඉන්දීය ප‍්‍රගතිශීලී සන්ධානය ජයග්‍රහණය කළේය. ජයග්‍රහණයෙන් පසු සියලුදෙනාට ප්‍රශ්නයක් තිබිණි. ඒ ‘අගමැති වන්නේ කවුද’ යන ප්‍රශ්නයයි. කොංග්‍රස් පක්ෂයේ බහුතරයක් පාක්ෂිකයන් කිව්වේ පක්ෂ නායිකා සෝනියා ගාන්ධි අගමැති විය යුතු බවයි. එහෙත් ඇයට ඊට බාධා දෙකක් තිබිණි. එකක් වූයේ ඇය උපතින්ම ඉන්දීය ජාතික කාන්තාවක් නොවීමයි. දෙවැන්න වූයේ රාහුල් ගාන්ධි අම්මා අගමැති වනවාට දැඩි අකමැත්තක් දැක්වීමයි.

මේ ප්‍රශ්න දෙකට මැදිවී සිටි සෝනියා දෙස කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ නෙත් දල්වා බලා සිටියහ. ඒ, සෝනියා කුමන් තීරණයක් ගන්නේද යන්න දෙස නොවේ. ඇය කවුරුන් අගමැති ධුරයට පත්කරන්නේද යන්න ගැනයි. ඒ වෙනුවෙන් ඔවුහු සෝනියාගේ සමීපතමයන් හමුවීම තරගයට කළහ. එහෙත් ඇය ගත්තේ කිසිවකු නොසිතූ තීරණයකි. මන්මෝහන් සිං අගමැති ධුරයට පත්කෙරිණි. ඇයගේ මේ තීරණය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසකගේ නොසතුටට හේතු විය. ඇතැමෙක් එය ප්‍රසිද්ධියේ ම කිව්වෝය. එහෙත් තවත් පිරිසක් සෝනියා ගැන විශ්වාසය පළකළහ. ඇය දුර දිග නොබලා මෙවැනි වැඩක් නොකරන බව ඔවුහු කිව්වෝය.

ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාඥයකු වූ ද, ඉන්දීය රජයේ හිටපු මූල්‍ය උපදේශකවරයකු වූ ද, ඉන්දීය තැන්පත් බැංකුවේ හිටපු අධිපතිවරයකු වූ ද, එරට මධ්‍ය සැලසුම් කොමිසමේ හිටපු සභාපතිවරයකු වූ ද, හිටපු මුදල් ඇමැතිවරයකු වූ ද, 1998 සිට 2004 දක්වා ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ නායකවරයා වූ ද ආදී වශයෙන් තීරණාත්මක තැන් රැසක සිටි ආචාර්ය මන්මෝහන් සිං වැඩ පටන් ගත්තේය. එහෙත් මේ පත්වීමට විරෝධය දැක්වූ පිරිස එක අතකින් සාධාරණ විය.

මන්මෝහන් සිං ඉතා ලජ්ජාශීලී තරමක් නිහඬ පුද්ගලයෙක් විය. ඉහත කී චිත්‍රපටයේදී එය මනාව පෙන්වයි. පළමු මහජන ඇමතීමට ඔහු ව සූදානම් කරන ආකාරය තුළින් ඒ බව ප්‍රේක්ෂකයාට හොඳීන් පැහැදිලි කරයි. එහෙත් චිත්‍රපටයෙන් තවත් කරුණක් මතුකරයි. ඒ, ඔහුගේ පසුගාමී බව තුළ සැඟවුණු ඉවසිලිවන්ත, විචක්ෂණශීලීභාවයයි. එය සංජය බාරුගේ පොතේ ද මනාව විග්‍රහ කරයි.

සෝනියා ගාන්ධි ඇත්තටම මේ තීරණය ගත්තේ යටි හිතේ වෙනත් අරමුණක් ද තබාගෙන ය. ඇයගේ අරමුණ වූයේ තම පුත් රාහුල් ගාන්ධි අගමැති ධුරයට පත්කළ හැකි දිනයක් එන තුරු තමන්ට පහසුවෙන් නැටවිය හැකි රූකඩයක් අගමැති පුටුවේ තබාගැනීමයි. එනම් ඇයට අවශ්‍ය වූයේ ඉන්දියාවේ නිල නොලත් පාලිකාව බවට පත්වීමටයි. ඒ සඳහා ඇය අගමැති පත්කරන ගමන් ම තවත් වැඩක් කළාය. රටේ සියලු වැදගත් තීරණ ගැනීම සඳහා ජාතික උපදේශක කමිටුවක් පත්කොට, ඇය එහි සභාපති ධුරයට පත්වූවාය. තීරණාත්මක කටයුතු සියල්ලේදී අගමැතිවරයා මේ කමිටුවෙන් උපදෙස් ලබාගත යුතු විය. එනම් සෝනියාගෙන් උපදෙස් ලබාගත යුතු විය.

මේ කතාව නිකම්ම කතාවක් නොවේ. ලංකාවේ දේශපාලනයේ මෑත ඉතිහාසය මෙන්ම අද දවස ද හිතේ තබාගෙන මේ කතාව ඔබ කියවිය යුතුය.

සෝනියා කළේ එපමණක් නොවේ. මන්මෝහන් සිං වටා සිටි නිලධාරීන් සියල්ල ද ඇය තමන්ගේ ග්‍රහණයට ගත්තාය. අගමැති හුදෙකලා විය. ඔහුට සියල්ල සෝනියා කියන විදිහට කරන්නට සිදු විය. ඇයට නතු නොවූ චරිතයක් වූයේ මන්මෝහන් සිංගේ මාධ්‍ය උපදේශක සංජය බාරු පමණි. හැබැයි එය කියන්නේත් සංජය බාරු ම ය.
සෝනියාගේ බලපෑමේ තරම ගැන කියන්නට සංජය බාරුත් කියන, තවත් මූලාශ්‍ර කිහිපයකත් ඇති උදාහරණයක් ද ඇත. මන්මෝහන් සිං අගමැති ධුරයට පත්වීමෙන් පසු පැවැත්වූ පළමු භෝජන සංග්‍රහයේදී එක් මන්ත්‍රීවරයකු කියා ඇත්තේ තමන්ට මුදල් රාජ්‍ය ඇමැති ධුරය හිමිවන බවයි. මුදල් කැබිනට් ඇමැති ධුරය අගමැති ධුරය යටතේ තබාගන්නා බව ඔහු පවසයි. ඒ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමග ය. මේ කතාව මුදල් ඇමැති ධුරය අපේක්ෂාවෙන් සිටි එක් දේශපාලනඥයකුට ඇසෙයි. ඔහු මේ බව තවත් ලුණු-ඇඹුල් ටිකක් එකතු කොට සෝනියාගේ සමීපතමයකුට පවසයි. ඒ සමීපතමයා මෙය එතැනදීම සෝනියාට පවසයි. සෝනියා එතැනදීම තීරණයක් ගනී. ඇය මන්මෝහන් සිං අගමැතිවරයාට කියන්නේ මුදල් ඇමැති ධුරය බලාපොරොත්තුවෙන් සිටි දේශපාලනඥයාට එය අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවයි. අගමැතිවරයා ඊට එකඟ වේ. විනාඩි කිහිපයක් තුළ කටකතාවක් රටේ අගමැති ධුරය තීරණය කරයි.

මන්මෝහන් සිං දෙවැනි වර අගමැති ධුරයට පත්කිරීමට සෝනියාට අවශ්‍ය නොවුණත්, ඇයට එය කරන්නට සිදු වේ. රාහුල් ගාන්ධි ඒ වනවිටත් දියාරු චරිතයකි. රාහුල් ගාන්ධිගේ ප්‍රතිරූපය ඉහළට ඔසවන්නට ගහන සියලු සැලසුම් එකරම් සාර්ථක වන්නේ නැත. කෙසේ වෙතත් අවසානයේදී, එනම් 2014 වසරේදී රාහුල් අගමැති අපේක්ෂකයා ලෙස නම් කෙරිණි. ඔහු එම මැතිවරණයේදී දරුණු පරාජයක් ලැබීය. මන්මෝහන් සිං ඉන්දියාවේ සිටි ජනතා බුහුමනට ලක්වූ අගමැතිවරයකු ලෙස ගෙදර ගියේය.

ඒ, මන්මෝහන් සිං ය, පසුගිය බ්‍රහස්පතින්දා මිය ගියේ. එහෙත් ඔහු කිසි තැනක සෝනියා මට මෙහෙම කළා කියා නැත.

Related articles

‘අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය..’ සිංහල පරිවර්තනය එළිදැක්වීම නිමිති කරගත් සංවාදයක් අද (03)

හර්ෂණ රඹුක්වැල්ල ගේ The Politics and Poetics of authenticity හි සිංහල පරිවර්තනය (පරිවර්තක-ලියනගේ අමරකීර්ති) වන 'අව්‍යාජත්වයේ දේශපාලනය සහ...

කුසල් ජනිත්ගේ ඉනිම පරදවන ඉනිමක් ක්‍රීඩා කිරීමට තරම් ප්‍රතිවාදියෙක් නැහැ

කුසල් ජනිත් පෙරේරා සුදු පන්දු ක්‍රීඩාවට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් බව මා බොහෝ කාලයක සිට කියනා කතාවක්.එක්දින තරග කෙසේ වෙතත්...

The Return චිත්‍රපටය අන්තර්ජාලයට මුදාහැරේ

ඉතාලි ජාතික තිර රචකයකු හා ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයකු වන උබර්තෝ පැසොලිනි ( Uberto Pasolini ) විසින් අධ්‍යක්ෂණය කරන ලද...

ශිෂ්‍යත්ව විභාග තීන්දුවේ මාධ්‍යයෙන් හැළුණු වැදගත්ම කොටස : දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ කිරීමේ සීමා ඉර කුමක්ද?

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව තහවුරු වී ඇති ප්‍රශ්න තුනට විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු-සිසුවියන්ට සම්පූර්ණ ලකුණු...