ප්‍රතිඵල 02ක් දෙස බලා සිටි ජනාධිපතිවරණයේදී අනුර දිනවූ ජනතාව සජිත් පැරදවූයේ ඇයි ?

Share post:

ජනාධිපතිවරණය අවසන් වූයේ ප්‍රතිඵල 02ක් සමග ය. එකක් සැප්තැම්බර් 21 උදේ 7 සිට හවස 4 දක්වා ජනතාව ප්‍රකාශ කළ ඡන්දවල ප්‍රතිඵලයයි. අනෙක ජනාධිපතිවරණයට පෙර දින සිට වරින්-වර කටුනායක ගුවන්තොටුපොළේ සේද මාවත සහ රන් පර්යන්තය ඔස්සේ ලංකාවෙන් පිටත් වූ පිරිසගේ ලේඛනයයි. ඡන්ද ප්‍රතිඵල දෙස මෙන්ම මේ ප්‍රතිඵල දෙස ද ජනතාව දිගටම බලාසිටියේය.

ප්‍රචණ්ඩ ක්‍රියා අතින් ගත් විට පැවැති සාමකාමී ම ජනාධිපතිවරණය මෙය විය. එහෙත් 21දා රාත්‍රී 10 සිට ඇඳීරි නීතිය පැනවිණි. එය හදිසියේ ගත් තීරණයක් ලෙස ප්‍රකාශයට පත්වුවද, සිදු වී තිබුණේ එය නොවේ. ඊට පෙර දින මේ පිළිබඳ සාකච්ඡාවක් පැවති අතර, 21 උදෑසන මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් මීට අදාළ අවසාන තීරණයක් පොලිස් නීති කොට්ඨාසයට යොමුකර තිබිණි. ජනතාවට හානිකර යම් සිදුවීමක් වැලැක්වීමට ඇති හැකියාව ගැන සලකමින් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් ද ඊට එකඟ වී තිබිණි.
එහෙත් මැතිවරණ කොමිසම ඒ තීරණයට විරෝධය දැක්වීය. විරෝධය දැක්වුවද, මැතිවරණ කොමිසම කිසිවක් කරන්නට ගියේ නැත. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ට අනුව කළ කාර්යයේ නොව ගැටලුව ඇත්තේ එය සිදු කළ ආකාරයේ ය. මැතිවරණ කොමිසමට බලය ඇති තත්ත්වයක් තුළ මෙවැනි තීරණයක් කොමිසම මගින් ගත යුතුව තිබියදී, ඊට ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයකුට නිශ්චිතව සහාය දුන් ඇමැතිවරයකු මැදිහත් වීම ඔවුන් මතුකරන ගැටලුවයි.

දෙවැනි මනාපය ගණනය කිරීමට සිදු වූ පළමු ජනාධිපතිවරණය 2024 ජනාධිපතිවරණයයි. පළමු මනාපයෙන් අනුර කුමාර දිසානායකට හිමි වූයේ සියයට 42.32ක ඡන්ද ප්‍රතිශතයකි. සජිත් ප්‍රේමදාසට හිමි වූයේ සියයට 32.76ක ඡන්ද ප්‍රතිශතයකි. කෙසේ වෙතත් ජයග්‍රහණයට ළංව සිටි අපේක්ෂකයන් දෙදෙනා වන ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යා අතර වෙනස පළමු ගණනයේදී ලක්ෂ 13කට ආසන්න විය. දෙවැනි මනාපය සලකුණු කිරීම අවම වශයෙන් සිදුවූ මේ මැතිවරණයේ ප්‍රතිඵලයේ වෙනසක් සිදු වූයේ නැත.
මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වූයේ අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රම් ය. එසේ හැඳීන්වීමට හේතුව වන්නේ මේ එක්-එක් අපේක්ෂකයන් වෙනස් අපේක්ෂා සහ වෙනස් කණ්ඩායම් ආමන්ත්‍රණය කිරීමයි. 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ සමග තරග කළ ප්‍රධාන අපේක්ෂකයා වූයේ සජිත් ප්‍රේමදාස ය. ඔහුට රනිල් වික්‍රමසිංහගේ සහායත් හිමි විය. උතුරේ වෙනත් අපේක්ෂකයකු නොමැති තත්ත්වයක් යටතේ දෙමළ ජාතික සන්ධානය කළ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල වාසියත් හිමි විය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ඡන්ද ලක්ෂ 69ක් ලබාගත්තේය. සජිත්ට ලබාගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 55 කි. එනම් මෙවර අනුර කුමාර දිසානායකට වඩා ඡන්ද ලක්ෂයක් අඩුවෙනි.

2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස සමග සිටි ඇතැම් තීරණාත්මක චරිත 2024 ජනාධිපතිවරණයේදී සිටියේ රනිල් වික්‍රමසිංහ සමග ය. ඊට හොඳම උදාහරණයකි, තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය. 2019 ජනාධිපතිවරණයේදී තලතා අතුකෝරාල සිටි කණ්ඩායමේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස තැපැල් ඡන්ද 7,340ක් ලබාගත්තේය. ඔහු මෙවර ජනාධිපතිවරණයේදී ලබාගත්තේ තැපැල් ඡන්ද 4,675කි. තැපැල් ඡන්ද 3,265ක් යනු සැලකිය යුතු අඩුවීමකි. එසේ ම රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයේ රත්නපුර තැපැල් ඡන්දවලින් 6,640ක් ලබාගත්තේය. රනිල් වික්‍රමසිංහ මීට පෙර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ 2005 වසරේදී ය. එහිදී ඔහු ලබාගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 3,800කි. කාලයත් සමග ඡන්ද ප්‍රමාණයේ වැඩිවීමක් තිබුණත්, රනිල් වික්‍රමසිංහ ලබාගත් ඡන්දවල වර්ධනයක් ඇත. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ලබාගත්තේ තැපැල් ඡන්ද 6,675කි.

මේ ප්‍රතිඵලය පිළිබඳව සාකච්ඡා කිරීමට තවත් හේතුවක් වන්නේ රනිල් වික්‍රමසිංහ සමීපයට පැමිණ නාමල් රාජපක්ෂ ළඟට ගිය ප්‍රේමලාල් ජයසේකර ද එහි සිටීමයි. නාමල් රාජපක්ෂ මෙහිදී ලබාගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 500කි. 2015 – 2019 කාලයේ සිටි කැබිනට් ඇමැතිවරියක වූ තලතා අතුකෝරාලට දිගටම එල්ල වූ චෝදනාවක් වූයේ හිතවතුන්ගෙන් රාජ්‍ය සේවය පිරවීමයි. තැපැල් ඡන්ද යනු රාජ්‍ය සේවකයන් ඡන්ද අයිතිය භුක්ති විඳීන ආකාරයකි. රත්නපුර දිස්ත්‍රික්කය ඇඹිලිපිටිය, කොලොන්න දක්වා විහිදී තිබේ. මැණික් ව්‍යාපාරිකයන් බහුල ය.
මේ ගැන විශේෂයෙන් අවධානය යොමුකිරීමට හේතුව වන්නේ ජනාධිපතිවරණයට පෙර කරන ලද සමීක්ෂණ කිහිපයකදී ම අනාවරණය වී තිබුණේ මෙවර ස්වාධීන ලෙස ඡන්දය දැමීමට බොහෝ පිරිසක් සූදානම් බවකි. එහෙත් එය රත්නපුරයේදී සිදු වීද?

හම්බන්තොටදී, මාතරදී ඒ හැසිරීම වෙනස් විය. නාමල් රාජපක්ෂට මෙන්ම සජිත් ප්‍රේමදාසට ද හම්බන්තොට දිස්ත්‍රික්කයේදී ලැබුණේ අවම ඡන්ද සංඛ්‍යාවකි. මාතරදී ද එසේම ය. නාමල් රාජපක්ෂට එසේ හම්බන්තොට ජනතාවගෙන් සැලකුම් ලැබුණේ පියා මහින්ද රාජපක්ෂ සහ බාප්පා ගෝඨාභය රාජපක්ෂ, ලොකු තාත්තා චමල් රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් ඒ ජනතාව වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ සේවය කර තිබියදී ය. සජිත් ප්‍රේමදාසට ද එසේම ය. වසර දෙක-තුනකට පෙර පාර්ලිමේන්තුවේ ප්‍රකට කතාවක් වූයේ සජිත් පාර්ලිමේන්තුවෙදි කතා කරන්නෙ හම්බන්තොට ගැන විතරයි යන්න ය. එය පසුව සජිත් ප්‍රේමදාස විසින් වෙනස් කර ගත් අතර, ඔහුගේ ඇතැම් කතා වැදගත් තොරතුරුවලින් පිරී තිබිණි. එහෙත් ජනතාව සැලකුවේ නාමල්ට බෙදූ හැන්දෙන්ම ය.
මාතරදී ද එසේම ය. නාමල් රාජපක්ෂගේ මාතර ප්‍රධාන සංවිධායක වූයේ ඔහුගේ පියාගේ නැගණිය වූ ගාන්ධනී රාජපක්ෂගේ පුත් නිපුණ රණවක ය. ඔහු වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. නිපුණ රණවක 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එවකට මහින්ද රාජපක්ෂලා සමග සිටි ඩලස් අලහප්පෙරෙැම ඒ ගැන දැඩි විවේචනයක් කර තිබිණි. එහෙත් ඔහු ඡන්දෙට දැමුවා පමණක් නොව දෙවැනියට වැඩි ම මනාප ගනිමින් දිනුවේය. ඒ සැලකූ ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී ඔහුට නාමල් රාජපක්ෂගේ රැස්වීම් සංවිධානය කිරීමට පවා එතරම් සහායක් ලබානොදුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

බරපතළ ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා ලෙස තමන්ට පැවරුණු බලතල අයුතු ලෙස භාවිත කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස හැසිරුණේය. ජනතාවට අල්ලස් දෙමින්, පොදු දේපොළ භාවිත කරමින් කටයුතු කළ ඔහු ජනතාව විසින් තුන්වැනි තැනට ඇද දැමුවේය. තැපැල් ඡන්ද අනුව රනිල් වික්‍රමසිංහ දෙවැනි තැනට පත්වන බවට ඉඟි පළවුවද, පසුව ඔහුට ඡන්ද ලක්ෂ 22කින් සෑහීමට පත්වීමට සිදු විය.
එහෙත් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික සැලසුම්වලට, බදු වැඩි කිරීම්වලට, සුළු පිරිසකගේ වරප්‍රසාද සඳහා සිදු කළ නීතිමය වෙනස්කම්වලට, නීතිවිරෝධී කටයුතුවලට එරෙහිව ජනතාව අතර තිබූ දැඩි විරෝධය ජනාධිපතිවරණයේදී ප්‍රකට නොවීය. පූර්ව මැතිවරණ සමීක්ෂණවලදී අනාවැකි පළවූයේ රනිල් වික්‍රමසිංහට ඡන්ද ලක්ෂ 10කට වඩා ගත නොහැකි බවට ය. ඔහු ලක්ෂ 22ක් ඡන්ද ලබාගත්තේය. එහෙත් මේ විරෝධය ගියේ නාමල් රාජපක්ෂගේ පිටින් ය. ඔහුට ලබාගත හැකි වූයේ ඡන්ද 342,781කි.

අනුර කුමාර දිසානායක සියයට 3ක ඡන්ද ප්‍රතිශතය සියයට 42ක් දක්වා ඉහළ දමාගැනීම ඔහුගේ විරුද්ධවාදීන් අතර හාස්‍යයට ලක්විය. එහෙත් එය සිදු විය. දේශපාලනය යනු ඉලක්කම් නොව සමාජ විද්‍යාවක් බව පැහැදිලි කරමින් අනුර රැල්ල සාර්ථකව ඉදිරියට ආවේය. අනුරගේ ඡන්ද පදනම සම්පූර්ණයෙන්ම දකුණේ දිස්ත්‍රික්කවලින් ඉදිරියට ආවේය. ඔහු උතුරේ සහ නැගෙනහිර ද සැලකිය යුතු ප්‍රචාරක කටයුතු රැසක් සිදු කළද, ඒවාට ජනතාව ප්‍රතිචාර දක්වා තිබුණේ අවම වශයෙනි. එහෙත් 2019 ජනාධිපතිවරණයේදී අනුර කුමාරට සැලකුවාට වඩා මෙවර එම පළාත් දෙකේ ජනතාව ද අනුරට සලකා තිබිණි.
උතුරු පළාතේදී මෙවර ජනාධිපතිවරණයේ කැපීපෙනුණු විශේෂ තත්ත්වයන් කිහිපයක් විය. දෙමළ ජාතික සන්ධානය විධිමත් ප්‍රචාරක කටයුතු කිසිවක් සිදුනොකිරීම, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් ඡන්ද වර්ජනයක් සඳහා ජනතාව පෙළඹවීම එම කරුණු විය. 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ පරාජයට හේතු වූයේ උතුරේ ඡන්ද නියමිත පරිදි නොවැටීම ය. එම නිසා මහින්ද රාජපක්ෂ යාන්තමින් දිනුවේය. ඒ සියයට 50.29ක ප්‍රතිශතයකිනි. 2019දී එම ඡන්ද නොමැතිව ගෝඨාභය රාජපක්ෂ දිනුවේය. ඒ බව කිව්වේය. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රචාරක කටයුතු හේතුවෙන් සජිත් ප්‍රේමදාසට එහිදී සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලැබිණි.
2024 ජනාධිපතිවරණයේදී අඩු ම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වූයේ උතුරු පළාතෙන් ය. එය සියයට 65 මට්ටමේ විය. ඒ වැටුණු ඡන්ද තීරණාත්මක ලෙස බෙදී ගොස් තිබුණේ සජිත් ප්‍රේමදාස සහ පී. අරියනේත්‍රම් පොදු අපේක්ෂකයා අතර ය. ඡන්දය ප්‍රකාශ කිරීම අවම වීම යනු ගජේන්ද්‍ර කුමාර්ලාගේ මෙහෙයුමත් සාර්ථක වී තිබේ. විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ ද උතුර ඉලක්ක කරගනිමින් මැතිවරණ මෙහෙයුම් කටයුතු විශාල සංඛ්‍යාවක් සිදු කළේය. එහෙත් ඊට සාපේක්ෂව ඔහුට උතුරෙන් ප්‍රතිචාර ලැබුණේ නැත. රනිල් වික්‍රමසිංහ විසින් උතුරේ ජනතාවගේ ප්‍රමුඛතම ඉල්ලීමක් වූ රජයේ ආරක්ෂක අංශ බාරයේ තිබූ පෞද්ගලික ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කළේය. එහෙත් ඔහු ගැන ද උතුරේ ජනතාව සලකා බලා තිබුණේ අඩුවෙනි.

වතුකරයේ මලයග දෙමළ ප්‍රජාව සජිත් ප්‍රේමදාසට වැඩි ම ඡන්ද ප්‍රමාණයක් ලබාදී තිබිණි. මේ ප්‍රජාව නියෝජනය කරන දිගම්බරම්, වඩිවේල් සුරේෂ් ප්‍රමුඛ කණ්ඩායම සිටියේ සජිත් සමග ය. ජීවන් තොණ්ඩමාන්, සෙන්දිල් තොණ්ඩමාන් ප්‍රමුඛ කණ්ඩායම සිටියේ රනිල් වික්‍රමසිංහ සමග ය. පෙරදී මෙන් තොණ්ඩමාන්ලාට රනිල්ගේ පැත්තට වැඩි ඡන්ද ප්‍රමාණයක් හැරවීමට හැකියාවක් ලැබී තිබුණේ නැත. රජුන් තනන්නකු ලෙස ප්‍රකට සිටි සෞම්‍යමූර්ති තෝණ්ඩමාන් සහ ඔහුගේ පුත්‍රයා වූ ආරුමුගම් තොණ්ඩමාන්ගේ භූමිකාව දැන් අවසන් බව ජනතාව මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්වා දී තිබේ. හැටන් ප්‍රදේශය මූලික කරගනිමින් අනුර කුමාර දිසානායක මලයග ජන ප්‍රජාව ආමන්ත්‍රණය කිරීම ඇරඹූ අතර, 2019ට සාපේක්ෂව ඔහුට ඉහළ ප්‍රතිචාරයක් දැක්වීමට ජනතාව කටයුතු කර තිබිණි.
අනුර කුමාර දිසානායක සියයට 62ක වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ මැතිවරණ කොට්ඨාසයෙනි. රෙජී රණතුංගගේ සිට ප්‍රසන්න රණතුංග දක්වා ගම්පහ පැවැති ආධිපත්‍යයත්, බැසිල් රාජපක්ෂ විසින් පසුව ගොඩනගන ලද ආධිපත්‍යයත් මෙවර අනුර කුමාර අතට ගත්තේය. කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලට සාපේක්ෂව අනුර කුමාරට පොළොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ලැබී තිබුණු ප්‍රතිචාරය අඩු විය. රාජ්‍ය සේවකයන් ඔහුගේ ප්‍රවේශය දැඩි ව අගය කළ බව පෙනෙන්නට තිබුණද, දුෂ්කර ජීවිත ගතකරන ඇතැම් ප්‍රජාවන් තවදුරටත් ඔහුට ආමන්ත්‍රණය කිරීමට සිදු වන බව මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන්නට තිබේ.
ප්‍රධාන අපේක්ෂකයන්ට අමතරව ජන අරගල ව්‍යාපාරයේ අපේක්ෂකයා වූ නීතිඥ නුවන් බෝපගේ ඡන්ද 11,000ක් ලබාගෙන තිබූ අතර, එම කණ්ඩායම නියෝජනය කරමින් 2019දී ඉදිරිපත් වූ දුමින්ද නාගමුව ලබාගත්තේ ඡන්ද 8,000ක ප්‍රමාණයකි. 2022 තීරණාත්මක ජන අරගලයේදී අත්අඩංගුවට පත්වූ හෝ නඩු පැවරුණු හෝ මර්දනයට ලක්වූ හෝ දහසකට ආසන්න වින්දිතයන් ප්‍රමාණයක් වෙනුවෙන් නුවන් බෝපගේ පෙනීසිට තිබිණි. එහෙත් ජනාධිපතිවරණයකදී ඔහු තෝරාගන්නට ජනතාව දක්වා තිබුණේ අවම කැමැත්තකි.

ඩමි අපේක්ෂකයන් හෙවත් විවිධ ප්‍රධාන අපේක්ෂකයන්ගේ සහාය සඳහා ජනාධිපති ධුර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කෙරුණු පිරිස අතරින් වැඩි ම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණේ කේ.කේ. පියදාස ය. ඔහු දීර්ඝ කාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකි. ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කළ බව ද මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. ඔහුට රට වටෙන්ම සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලැබී තිබිණි. ඊට නිශ්චිත හේතුවක් පෙනෙන්නට තිබුණේ ද නැත. එහෙත් සමගි ජන බලවේගයේ දුරකතනය ලකුණත්, කේ.කේ. පියදාසගේ කැල්කියුලේටරය ලකුණත් ඇතැමකුට සමාන ලෙස පෙනෙන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය.
සාපේක්ෂව ගත් විට මානව හිමිකම් පිළිබඳ ප්‍රකට නීතිඥයකු වන නාමල් රාජපක්ෂට සහ දිලිත් ජයවීරට ද ජනතාවගෙන් අවම ප්‍රතිචාරයක් ලැබී තිබිණි. දිලිත් ජයවීර, මහින්ද රාජපක්ෂගේ පුත්‍ර නාමල් රාජපක්ෂ සමග කරට-කර තරගයක් දීමට සමත් වී ඇති බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනේ. එසේ ම මේ මැතිවරණයේ තවත් වැදගත් කරුණක් වන්නේ එක දිගට ජනාධිපතිවරණ ගණනාවකට තරග කළ සිරිතුංග ජයසූරියයි. විශේෂයෙන්ම ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථිර අදහසක දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන, ප්‍රකට පුද්ගලයකු වන ඔහුට කිසිදු ජනාධිපතිවරණයකදී ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබී නැත. ඔහුට ලැබෙන ප්‍රතිචාරයේ වැඩීවමක් ද දැකිය නොහැකිය.

මැතිවරණයට පෙර සිදුකරන ලද සමීක්ෂණවලදී හෙළි වී තිබූ වැදගත් කරුණක් වූයේ ජනතාව ආර්ථිකය, නීතියේ ආධිපත්‍යය යන කරුණු සම්බන්ධයෙන් වැඩියෙන් අවධානය යොමුකරන බවයි. එසේම ජනතාවගෙන් බහුතරය තවදුරටත් අන්තවාදී අදහස් දැරීම අනුමත නොකරන බව ද එම සමීක්ෂණවලදී ලැබුණු කරුණු අතර කැපී පෙනිණි. මේ සියලු අභිලාෂයන් ඉටුකරවා ගැනීම සඳහා ජනතාව තම නායකයා ලෙස තෝරාගෙන ඇත්තේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ය. ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය ලබාදී ඇති ආකාරයෙන් ඔවුන් සාම්ප්‍රදායික පවුල් දේශපාලනය වැනි කරුණු අත්හරිමින් වෙනස් වීමට සූදානම් බවට ඉඟියක් ලබාදී තිබේ.
මෑත කාලීන ජනාධිපතිවරණ ගත් විට 2015 ජනාධිපතිවරණයේදී ජනතාවගෙන් බහුතරය ඡන්දය ලබාදුන්නේ ඒ වන විට පැවැති සුදු වෑන් ඇතුළු භීතිය අවසන් කරගැනීමේ අරමුණකිනි. 2019දී එය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පැතිරවූ ත්‍රස්තවාදී භීෂණයෙන් මිදීම බවට පරිවර්තනය විය. 2024 ජනාධිපතිවරණයේදී ජනතාවගේ අභිලාෂය වූයේ ආර්ථිකයයි.
එහිදී රනිල් වික්‍රමසිංහ ගමන් කළ පාර වැරදි බවට ජනතාව තීරණය කර තිබේ. සජිත් ප්‍රේමදාස යෝජනා කළ ආර්ථික විසඳූම්වලට එකඟ විය නොහැකි බව ඔවුන් පවසා ඇත. අනුර කුමාර දිසානයකට ජනතාව අවස්ථාවක් ලබාදී තිබේ.

  • ශාලික විමලසේන

Related articles

රේගුවේ දේශපාලන බලපෑම්වලට මුහුණ දුන් සනත් ජනාධිපති ලේකම් – හමුදා කඳවුරුවලට ඇතුළු වීම තහනම් වූ සම්පත්ට ආරක්ෂක අමාත්‍යංශය – පොලිසිය පාස්කු විමර්ශන බාරව සිටි...

ශ්‍රී ලංකා රේගුවේ යුක්තිගරුක ලෙස කටයුතු කිරීම නිසා නිරන්තරයෙන් බාධා එල්ල වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නන්දික සනත් කුමානායක...

ධුරයේ බලතල අවභාවිත කළ රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ශ්‍රීනාත් පෙරේරා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ධුරයේ බලතල අවභාවිත කරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත...

අනුර කුමාර දිසානායක සහෝදරයාට ‘ජයවේවා !’ කියන අතරේම, ලියන්නට හිතුණා

ජාත්‍යන්තර වාම දේශපාලන ඉතිහාසය තුළ ඉතා දුර්ලභ වන ඓතිහාසික අවස්ථාවක් ලංකාවේ අප ඉදිරියේ තිබේ. එය මග නොහරිමු.ජාජබ නායක...

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දිව්රුම්දීමේ කතාවේ හරය දෙස බලමු !

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය දිවුරුම් දීමේ උත්සවයේ දී කළ කතාව තුල ඔහු, ශ්‍රී ලංකාව මුහුණ...