ලාබදායී නොවන කෘෂිකර්මයෙන් තරුණ පරපුර ඈත්වෙමින් සිටී. ඔවුන්ගේ වැඩිහිටි පරපුර පුරුද්දට කළත්, දිගින්-දිගටම ලබන පාඩුව නිසා ඇතැම් වගා බිම් පාළුවෙමින් තිබේ. කැඳ ටිකක් බොන්න හෝ කියමින් වගාකරනවා වෙනුවට කැඳ ටිකක් ගන්න පුළුවන් නේදැයි කියමින් කුලී වැඩවලට යන පිරිස් ද දැකගත හැකිය. කාලයක් තිස්සේ මුල්බැසගත් මේ මතවාද වෙනස් කිරීම පහසු කාර්යයක් නොවේ. එසේ ම කෘෂිකර්මය ලාබදායී කළ හැකි පාරවල් සොයා ගොස්, ඒ ඔස්සේ කෘෂිකර්මය පිළිබඳ ජනතා විශ්වාසය ගොඩනැගීම ද කළ යුතුය. වවන්නෝ දිනන්නෝ කිව්වාට, වැවීමෙන් දිනුවේ මුදලාලි පමණක් යැයි කතාවක් ඇති වී තිබෙන්නේ ද මෙවැනි පසුබිමක ය.
මෙය සමස්ත රටේ අනාගතයට බලපාන ප්‍රශ්නයකි. එම නිසා ගොවිතැන ලාබදායී මට්ටමට පත්කිරීමට හැකි ක්‍රමවේද පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතුය. දැනට ක්‍රියාත්මක වන එවැනි ක්‍රමවේද වඩාත් වේගවත් කළ යුතුය.
අනෙක් පැත්තෙන් පාරිභෝගිකයන් ය. කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල ඇතැම් අවස්ථාවලදී දරාගත නොහැකි මට්ටමට ඉහළ යයි. තවත් කාලයකදී වට්ටක්කා මිල අවම අගයක් ගනී. දෙහි මිල ඉහළ ම අගයක් ගනී. මේවා සමබර කරන්නට, එක් මට්ටමක පවත්වාගන්නට සමත් වී නැත. ගොවියා, පාරිභෝගිකය මෙන්ම අතරමැදි වෙළෙන්දා ද තෘප්තිමත් කළ හැකි ක්‍රමවේදයක් අවශ්‍ය ය. එසේ නොවුණහොත් සිදුවන්නේ ගොවිතැන අතහැරීම ය. ආනයනය වඩා හොඳ යැයි තීරණය කරන තැනට යෑම ය.
පසු අස්වනු හානිය කොතරම් බරපතළ ද?
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ පසු අස්වනු හානි ය. ‘කුණු වෙන ඒවටත් අල්ලන්න එපැයි. කිලෝ සීයක් ගෙනාවොත් කිලෝ තිහක් නම් අයින් කරන්නම වෙනවා.‘ එළවළු සහ පළතුරු අලෙවිකරුවෝ සාමාන්‍යෙයන් කියන කතාවකි, මේ. පසු අස්වනු හානිය යනුවෙන් අදහස් කරන්නේ යම් බෝගයක අස්වනු නෙළීමේ සිට එම අස්වැන්න පාරිභෝගිකයා අතට පත්වීම දක්වා සිදුවන හානියයි. ගණනය කිරීම්වලට අනුව ලංකාවේ සමස්ත එළවළු සහ පළතුරු අස්වැන්නෙන් සියයට තිහත් – හතළිහත් අතර ප්‍රමාණයක් පරිභෝජනයට ගැනීමට නොහැකි වීම නිසා ඉවත් දැමීමට සිදු වේ. මේ හානිය ගුණාත්මක වශයෙන් මෙන්ම ප්‍රමාණාත්මක වශයෙන් ද සිදු වේ. සීරීම්, තැළීම්, ක්ෂුද්‍ර ජීවී ආසාදන නිසා කුණු වී වියළී යෑම්, කෘමි හානිවලට ලක්වීම් ආදිය මෙසේ පසු අස්වනු හානි ලෙස සුලබව දැකිය හැකිය. එසේ ම අස්වැන්න ප්‍රවාහනයේදී ද සිදු වන හානිය සුළුපටු නොවේ. මේ නිසා ගොවියා, අලෙවිකරුවන් මෙන්ම පාරිභෝගිකයන් ද අනවශ්‍ය පීඩාවකට මැදි වේ. ගොවියාට මිලක් නැත. අලෙවිකරුවා තමන් මිලදීගෙන නරක් වූ තොගවලටත් පාරිභෝගිකයාගෙන් අය කළ යුතු වේ. පාරිභෝගිකයා අමතර වැය බරක් දරයි.
මේ තත්ත්වයන් වෙනස් කරගන්නේ කෙසේද? පිරිවැය අවම කරගනිමින්, අස්වනු හානිය අවම කරගනිමින්, සාධාරණ මිලක් ගොවියාටත්, සාධාරණ මිලකට එළවළු – පළතුරු පාරිභෝගිකයාටත් ලබාදෙන්නේ කෙසේද?
ගොවීන්ට වන්දි දීම උගුලක් !

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසන්නේ මූලික වශයෙන්ම අස්වැන්න හානි වූ පසු ගොවීන්ට වන්දි ලබාදීමේ උගුලෙන් මිදිය යුතු බවයි. කෘෂිකර්මයට විධිමත් සැලසුමක් සකස් කළ යුතු බව පෙන්වා දෙන මහාචාර්යවරයා, එක ම බෝගය වැවීමට ඉඩදී ඉල්ලුම්-සැපයුම් න්‍යාය අක්‍රමවත් වීම මගහැරවීමට රජය මැදිහත් විය යුතු බව ද අවධාරණය කරයි.
‘මේක එකපාරටම කරන්න බැරි වැඩක්. ඒක මුලින්ම අපි පිළිගන්න ඕනෙ. ඒත් කොතැනින් හරි පටන්ගන්න ඕනෙ. කෘෂිකර්මය වෙනුවෙන් පිහිටුවලා තියෙන පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනය ඇතුළු සියලු ආයතන මැදිහත් වෙලා, නව ප්‍රභේද හඳුන්වා දිය යුතුයි. ඒ වගේම ප්‍රායෝගික සැලසුම් හදන්න ඕනෙ.‘
පසුගිය කාලයේදී කෘෂිකර්මය ඉහළ ආදායම් ලබන තත්ත්වයකට ගෙනඒමට සකස් කළ න්‍යායාත්මක විසඳුම් සාර්ථක වූයේ නැත. මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ඒ බොහෝ සැලසුම් ප්‍රාෙයා්ගික නොවූ බවයි.
රාජ්‍ය – පෞද්ගලික හවුලක් අවශ්‍යයි
‘අස්වැන්නේ අතිරික්තයට අගය එකතු කරලා ගබඩා කරන්න පුළුවන්. ඒක ගොවියාට කරන්න බෑ. ඒකට පෞද්ගලික අංශය මැදිහත් කරගන්න ඕනෙ. මුල් වටයේදී පෞද්ගලික අංශයෙත් යම් ප්‍රාග්ධන ශක්තියක් තියෙන අය තමයි එකතු කරගන්න වෙන්නෙ. එතකොට උදාහරණයක් විදිහට විසිකරන වට්ටක්කා මිලට අරගෙන, ඒවගෙන් ඊළඟ නිෂ්පාදනයකට යන්න පුළුවන්. අනෙකුත් බෝගත් එහෙමයි. මේ වගේ නිෂ්පාදනවලට එකක්වර විශාල වෙළෙඳපොළක් හැදෙන්නෙ නෑ. ඒක නිසා රජයෙන් ණය පහසුකම් වගේ දිරිගැන්වීම් කරන්න වෙනවා.‘
දිළිඳු පුද්ගලයකු ගොවියකු කොට, ඔහුට ආදායමක් ලැබීමේ – පවුලේ ආහාර අවශ්‍යතාව සපුරාගැනීමට ඉඩ සැලැස්වීමේ, ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමේ ක්‍රමය අතිශය වැදගත් වුවද, ගොවියා දිළින්දකු කිරීම රටකට බරපතළ ලෙස බලපාන කරුණකි. දෙවැනි කරුණ සිදුවුවහොත්, එය රටේ සමස්ත ආර්ථිකයට මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට ද සෘජුව බලපායි.
ඩිජිටල්කරණයේ වාසිය ගැනීම
මහාචාර්ය බුද්ධි මාරඹේ පෙන්වාදෙන්නේ මූලික වශයෙන් බෝග වර්ග 03ක් කේන්ද්‍ර කරගනිමින් ආරම්භක සැලසුමක් සකස් කළ යුතුව ඇති බවයි. මිනිසාගේ ආහාර වෙනුවෙන් වී, සතුන්ගේ ආහාර වෙනුවෙන් බඩඉරිඟු සහ ප්‍රධාන අපනයන බෝගය ලෙස තේ යනු මේ බෝග 03 වේ. ඩිජිටල්කරණයේ වාසි ලබාගනිමින් මේ වගාවන් පිළිබඳ නිශ්චිත දත්ත ලබාගත හැකි බවත්, ඉන්පසු ඒවා රාජ්‍ය – පෞද්ගලික මැදිහත්වීමක් මගින් කළමනාකරණය කළ හැකි බවත් මහාචාර්යවරයා අවධාරණය කරයි.
දකුණු ආසියානු කලාපයේ වී වගාව අතින් ලංකාව සෑහෙන තරම් ඉදිරියෙන් සිටී. එහෙත් ඉන්දියාව, බංග්ලාදේශය වැනි කලාපීය රටවලට සාපේක්ෂව ලංකාව පසු අස්වනු තාක්ෂණය අතින් සිටින්නේ සෑහෙන පසුපසින් ය. එම නිසා අවශ්‍ය පර්යේෂණ සඳහා කඩිනමින් යොමුවීම රජයේ වගකීමක් වේ.
‘අපේ පර්යේෂණ ප්‍රමාණවත්‘

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්යවරයකු වූ, වර්තමානයේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්. අබේවික්‍රම මහතාගෙන් අපි මේ පිළිබඳව විමසීමු. මන්ත්‍රීවරයා පවසන්නේ ලංකාවේ කෘෂිකර්මය ඉහළට එසවීමට ප්‍රමාණවත් තරම් පර්යේෂණ විශ්වවිද්‍යාල සහ කෘෂි පර්යේෂණ ආයතන තුළ සිදුවන බවයි. එහෙත් ඒවා ජනතාව අතරට නොපැමිණෙන බවත්, පර්යේෂණ පත්‍රිකාවකින් හෝ ලිපි කිහිපයකින් ඒවා නවතින බවත් ඔහු පෙන්වා දෙයි.
‘මේ පර්යේෂණ ගැන ජනතාව වේගයෙන් දැනුවත් කරන්න ඕනෙ. රූපවාහිනී වැඩසටහන් මගින්, පුවත්පත් ලිපි මගින්, සමාජමාධ්‍ය මගින් නව බෝග ප්‍රභේද, පසු අස්වනු තාක්ෂණය, අගය එකතු කරමින් ගොවියාට වැඩි මිලක් ලබාගත හැකි ක්‍රම ප්‍රචලිත කරන්න ඕනෙ. විශ්වවිද්‍යාල මට්ටමෙන් ආහාර විද්‍යාව ඉතා දියුණු තැනකට යමින් තියෙනවා. ඒ විෂය හදාරන දරුවන්ගෙන් මේවට අදාළ සේවා ලබාගන්න පුළුවන්. මේ දවස්වල අඩු මිලට විකිණෙන වට්ටක්කා ගත්තොත්, වට්ටක්කාවලින් කරන්න පුළුවන් මොනවද කියලා වෙනම පර්යේෂණ කරලා තියෙනවා. වට්ටක්කා පිටි දැනටමත් හදන අය ඉන්නවා. ඒවගෙ පෝෂණ ගුණයත් ඉහළයි. ඒ වගේම ඒවගෙන් විවිධ වෙනස් ආහාර සකස් කරන්නත් පුළුවන්. මේ වගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන්න ඕනෙ. ඒවට අදාළ යන්ත්‍රසූත්‍ර ගෙන්වන්න රජය මැදිහත් වෙන්න ඕනෙ.‘
වියට්නාමයෙන් ඉගෙන ගනිමු
ආණ්ඩුව නියෝජනය කරන, විෂය පිළිබඳ දැනුවත් අබේවික්‍රම මහතා පෙන්වා දෙන්නේ කෘෂි තාක්ෂණය ඉහළ නැංවිය හැකි මානව සම්පතක් ලංකාව සතු බවයි. එම නිසා එම මානව සම්පත් කළමනාකරණය කරගැනීම රජයේ වගකීමක් බව ද අවධාරණය කරන ඔහු, දැනටමත් ඒ සඳහා අවධානය යොමු කර ඇති බව ද පෙන්වා දෙයි.
‘වියට්නාමයේ, ඉරානයේ කෘෂි තාක්ෂණය අපි ලංකාවට ගේන්න ඕනෙ. ඉන්දියාව ඔවුන්ගේ ආහාර සංස්කෘතිය වෙනස් කරගනිමින් ඉන්නවා. ඒ හරහා ඔවුන් ආහාර අපතේ යෑම අඩු කරගන්නවා. වියට්නාමයේ වී හෙක්ටයාරයකින් ආසන්න වශයෙන් කිලෝ නවදාහකට වැඩි අස්වැන්නක් ගන්නවා. අපි හෙක්ටයාරයකින් ගන්නෙ කිලෝ පන්දාහටත් අඩු අස්වැන්නක්. ගොවිතැනින් විතරක් ජීවත්වෙන්න නම් හෙක්ටයාර් තුනක්වත් වගාකරන්න ඕනෙ. එහෙම තියෙන්නෙ කීදෙනෙකුට විතරද? බොහෝ තැන්වල තේ අක්කරයකින් කඩන්නෙ දලු කිලෝ පන්සීයක් විතර. මේක අටසීය, දාහ දක්වා ගෙනයන්න අවශ්‍යයි. ඒකට පර්යේෂණ ඕනෙ. හරි ඉලක්කයකට ඒ පර්යේෂණ සිදු කරන්න ඕනෙ.‘
නැති වූ විශ්වාසය ගොඩනගන්නේ කෙසේද?
අබේවික්‍රම මහතා පවසන නිවැරදි ඉලක්කය පිළිබඳ කතාව තේ අස්වනු නෙළීමට ද ගැලපිය හැකිය. තේ දලු නෙළීමට අවශ්‍ය මානව සම්පත අවම වීම නිසා යන්ත්‍රයක් ඇතැම් තැන්වල ඒ සඳහා යොදාගනී. එහෙත් ගොවීන් පවසන්නේ එම යන්ත්‍රයෙන් තේ දලු නෙළූ පසු, මාසයක් පමණ යනතුරු නැවත දලු නෙළිය නොහැකි බවයි. ඊට හේතුව ප්‍රමාණවත් තරම් මෝරා නොමැති දලු ද යන්ත්‍රයෙන් කැපීයෑමයි. සාමාන්‍යෙයන් බොහෝ තැන්වල දින දහයකට හෝ සති දෙකකට වරක් තේ දලු කැඩීම සිදු කරයි. එම නිසා තාක්ෂණය නිවැරදිව, ඉලක්කයකට භාවිත කිරීම ද අත්‍යවශ්‍ය ය.
මේ සියල්ල පිළිබඳව කොතරම් සාකච්ඡා කළ ද, වැදගත් ම කරුණ වන්නේ ගොවීන් තුළ අවම වී ඇති විශ්වාසය යළිත් ගොඩනැගීමයි. ගොවිතැනින් ජීවත් විය හැකි බව ඒත්තු ගැන්වීමයි. කෘෂිකාර්මික – ස්වයංපෝෂිත රටක් ලෙස ලංකාව යන නම පොත්වල තිබුණාට ප්‍රමාණවත් නැත. හෙට දවසට අවශ්‍ය වන්නේ ඒ නිෂ්පාදන ආර්ථිකය මේ මහ පොළොවේ පැළ කිරීම ය.
- ශාලික විමලසේන

