බටහිර යුරෝපයේ .. ඇමරිකානු කලාපයේ මෙන්ම ආසියාවේත් ලේඛකයාගේ ප්‍රධාන සතුරා මුදල් හා ජනප්‍රියත්වය .මේ දෙකට මැදිවන ලේඛකයා තමන්ගෙ ලේඛන කලාවත් පුද්ගලිකත්වයත් සිල්ලර කාසිවලට අලෙවිකරනවා. ඔවුන් වැඩිදෙනෙක් වෙළඳ ලෝකයේ කුඩා ඉත්තන් පමණයි.
නමුත් රුසියානු ලේඛකයගේ ප්‍රධාන සතුරා ඕතඩොක්ස් ආගමික පාලනය හා දේශපාලන අධිකාරිය.
ඔවුන්ට සිදුවෙනවා මරණයත් ජීවිතයත් අතර ඇති සියුම් ඉඩෙන් රිංගා ගොස් තමන්ගෙ සිතිවිලි අකුරු බවට හරවන්න.
දිගු කාලයක් තුල දේශපාලන පීඩනයට හා අසාධාරණයට ලක්වූ ලංකාව වගේ රටක පාඨකයාට මේ පීඩනය හා වේදනාව තේරුම් ගන්න පුළුවන්.
බිරියෝසා ගස් හා දේවදාර ගස් හෙවණැලි තුල ඇති අඳුර හා දුක කියවන්නාට වැටහීම අරුමයක් නෙවෙයි.
දිමිත්‍රි ගුරෝව්ට තරුණ ඇනා සර්ගෙයෙව්නා මුණගැහෙන්නෙ යාල්ටාවේ නිවාඩුවකදී. දිමිත්‍රි වගේම ඇනාත් විවාහකයි.
විවාහක තරුණියකට පුළුවන්ද තවත් විවාහක පිරිමියෙක් එක්ක ආදරෙයෙන් බැඳෙන්න.? විවාහය තීරණය කරන්නෙ දෙවියන් විසින්.. ඒ නිසා පල්ලියේ අවසර ලැබෙන්නෙ නැහැ දික් කසාද වීමට හෝ විවාහයෙන් පිට සම්භන්ධයක් ඇතිකරගන්න.
ඒත් ඇනා සහ දිමිත්‍රිගේ ආදරයට කිසිදු රුසියානු පාඨකයෙක් විරුද්ධ වෙන්නෙ නැහැ.
දිමිත්‍රි ගුරෝව්ගේ කුඩා දියණිය ගැන … ස්ලව්‍යාන්ස්කි බසාර් හෝටලය ගැන.. ගීශා රඟ දක්වන නාට්‍ය ශාලාව ගැන මතකයන් කොයි වගේද?
දැන් දෙවියන් සහ ඕතඩොක්ස් පල්ලිය මොකද මේ ගැන කියන්නෙ?
බල්ලා කැටුව යන කාන්තාව- ඇන්ටන් චෙකොෆ්.
මේ ලිපියේ පලමු කොටසින් අපි සාකච්ඡා කලේ වසර 1720 – 1880 කාලය තුල රුසියානු සාහිත්‍ය ලෝකයේ කතාබහට ලක්වන මට්ටමට ලඟාවන්නේ කොහොමද කියන කාරණය. රුසියානු ග්‍රාමීය ජනප්‍රවාද හා මතවාද බටහිර යුරෝපයේ අදහස් සමග සංකලණය වෙද්දි යුරෝපයට අළුත් නැවුම් ලේඛන කලාවක් රුසියාවෙන් බිහිවෙනවා.
උතුරු කොරියාවත් නෝර්වේ රාජ්‍යයත් අතර ඇති එකම රට රුසියාව. මේ තරම් විශාල භූමියකට පොදු සාධකයක් තියෙනවා නම් ඒ අපි මේ කතාකරන 1890 වර්ශයේ ඉදිකරන්න පටන් ගන්නා ට්‍රාන්ස් සයිබීරියන් දුම් රියමාර්ගය විතරයි.
කම්ශෙට්කා වැසියන්ට පීටර්ස්බර්ග් නුවර ගැන දැනුමක් නැහැ. බයිකාල් විල කිට්ටුව ජීවත්වෙන මොන්ගෝලියානු ජනතාව කළු මුහුද ගැන දන්නෙ නෑ.
කොටින්ම ක්‍රෙම්ලිනය හෝ මොස්කව් නීති රීති.. සම්ප්‍රදායන් නැගෙනහිර වැසියන්ට අදාලම නැහැ.
ආගමික හා දේශපාලන බල අධිකාරිය මගින් දැඩිව පාලනයවන ලේඛණ කලාව තුල ලේඛකයා කොහොමද තමන්ගෙ කතාව හා අදහස් ලියන්නෙ? මෙන්න මේ ප්‍රශ්ණයට පිළිතුරු සොයායාම තුලයි ඉතාම සංවේදී හා අපූරු ලේඛන රටාවක් බිහිවන්නේ.
1900 වර්ශයට කිට්ටුවෙනකොට පුවත්පත් කලාව හෙමින් සැරේ බටහිර යුරෝපයේත් නැගෙනහිර යුරෝපයේත් එකවගේ ජනප්‍රිය වෙන්න ගන්නවා. ඒ නිසාම විශාල සම්භාව්‍ය ග්‍රන්ථ ලියමින් සිටින රුසියානු ලේඛකයන් හෙමින් සැරේ කෙටි කතා හා කුඩා පොත් ලියන්න පෙළඹෙන ආකාරය දකින්න පුළුවන්. අමතක කරන්න බැහැ මේ වෙනකොට දරඬු ට්සාර් පාලනයට හා ආගමික අධිකාරියට එරෙහිව රුසියානුවන් හෙමින් සැරේ අරගල කරමින් ඉන්න බව.
රුසියානු සාහිත්‍යයේ කෙටි කතාංදර කීමේ පුරෝගාමියා වූ ඇන්ටන් චෙකොෆ් බිහිවෙන්නෙ මෙන්න මේ කාලයේදීයි.
බල්ලා කැටුව යන කාන්තාව.. වාන්කා.. කාශ්තාන්කා.. නිනී වගේ එකිනෙකට වෙනස් කතාංදර රාශියක් කියන චෙකොෆ් ඉතාම ඉක්මනින් රුසියානු පාටකයාගේ ආදරය දිනාගන්නවා. ටෝල්ස්ටෝයිට හා ඩොස්තොඑව්ස්කිට පසුව ජාත්‍යන්තර සාහිත්‍යට එකතුවන මුල්ම ලේඛකයා චෙකොෆ්. නමුත් චෙකොෆ් දැඩිව ප්‍රතික්ශේපකරනවා අළුත් යුගයේ ප්‍රමුඛතම ලේඛකයා ලෙස තමන්ව හදුන්වනවාට. ඩොස්තොඑව්ස්කිගේ කතාංදර ඉතාම බලවත් ඛේදජනක සිද්ධීන්ගෙ බහුලයි. තෝල්ස්තෝයි ලියන්නෙ උසස් සමාජය හා මධ්‍යම පාන්තිකයන් මුහුණ දෙන ගැටළු හා සිද්ධීන් සියුම්ව විග්‍රහ කරන ආකාරයකින්.
ඇන්ටන් චෙකොෆ් මේ ප්‍රවාහ දෙක අතර රැඳෙමින් ව්‍යංගව ඉදිරිපත්කරනවා කතාංදර රාශියක්.
විප්ලව ගැන.. ප්‍රථිසංස්කරණ ගැන.. වෙනස්කම් ගැන.. උද්ඝෝශණ ගැන කතාබහ ඇතිවෙන මේ කාල පරිච්ඡේදය රුසියානුවන්ට විශේෂයි. මේ දේශපාලන ප්‍රවාහයේ පුරෝගාමියෙක් හෝ ශාස්තෲවරයෙක් වීම චෙකොෆ් ප්‍රථික්ශේප කරනවා.
නමුත් චෙකොෆ්ගේ සමකාලීනයෙක්වන මැක්සිම් ගෝර්කිට හැකියාවක් ලැබෙන්නෙ නැහැ දේශපාලන බලපෑමෙන් මිදිලා ස්වාධීන වෙන්න.
බොල්ශෙවික් පක්ශයේ හා කොමියුනිස්ට් බල ප්‍රවාහයේ ගුරු එහෙමත් නැත්තං ශාස්තෲවරයා බවට පත්වෙන්න ගෝර්කි තීරණය කරනවද .. නැත්තං ඉබේම ඔහු ඒ තත්වයට පත්වෙනවාද කියන ප්‍රශ්ණය සංකීර්ණයි.
කෙසේ වූවත් ගෝර්කි විප්ලවයේ ලේඛකයාගේ චරිතයට කදිමට පණ පොවනවා.
1907 වර්ශයේදී ගෝර්කි විසින් අම්මා නවකතාව ලියන්නෙ ඉංගීසි භාශාවෙන්. ඒ ඇමරිකා එක්සත් ජනපදයේදී.
Socialist Realism අදහස් නිර්මාණය කරන ගෝර්කි සාහිත්‍ය හා දේශපාලනය සම්භන්ධ කරන ලේඛකයාද .. සාහිත්‍ය හා දේශපාලනය පටලවාගත් ලේඛකයාද කියන ප්‍රශ්ණයත් ඒ වගේම වැදගත්. කෙසේවෙතත් ප්‍රමුඛතම ලේඛකයා හෝ මගපෙන්වන්නා කියන චරිතයට ගෝර්කි බොහොම කැමති බව දකින්න පුළුවන්.
සමාජවාදී දේශපාලන ලේඛන කලාව ගෝර්කි බිහිකරපු බව ඇත්ත. නමුත් ඒ හරහා.. පසුකාලීනව ජෝශප් ස්ටාලින් විසින් ස්ථාපිත කරන්නෙ පැවතිය යුතු එකම ලේඛන කලාව කොමියුනිස්ට් හා සමාජවාදී විය යුතු ලෙසයි.
1900 -1925 අතර කාලය රුසියානු සාහිත්‍යයේ වැදගත් යුගයක්.
නිදහස පිලිබඳ කතා කරන රුසියානුවන් දේශපාලන විප්ලවයක් සිදුකරනවා.
පල්ලියේ හා ට්සාර් පාලනයේ නීතිරීති වලින් මිදෙන ලේඛකයන් විවාහයෙන් පිට ආදර සබඳතා.. දෙවියන්ගේ කැමැත්තෙන් තොර ලිංගික සබඳතා ගැන.. තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවන ආදරය ගැන ලියන්න පටන්ගනවා.
මිකායිල් කුකුශ්කින්.. ව්‍යාශෙස්ලාව් ඉවානොව් .. යෙව්ගෙනි සම්‍යාටින් වැනි ලේඛකයන් මේ සඳහා දියහැකි හොඳම උදාහරණ.
1906 වසරේදී කුකුශ්කින් විසින් ලියන ලද වින්ග්ස් නවකතාවේ වාන්‍යා ස්මුරොව්ගේ චරිතය රුසියානු සාහිත්‍යයේ කඩ ඉමක් ලෙසයි හැඳින්වෙන්නේ. ව්‍යාශෙස්ලාව් ඉවානොව් විසින් හඳුන්වන සෙන්ට් පීටර්ස්බර්ග් සැලොන් ටවර් මේ ආකාරයේම වැදගත් සන්ධිස්තානයක්. මෙහිදී සැලොන් ලෙස හැඳින්වෙන්නේ ඉහල සමාජයේ බුද්ධිමත් පිරිමින් එකිනෙකා රහසේ හමුවීමට යොදාගන්න ස්ථානය.
ලෙනින්ගෙන් පසු බලය ලබාගන්නා ජෝශප් ස්ටාලින් රුසියානු සාහිත්‍යයේ ඝාතකයා ලෙස හැඳින්වූවාට වරදක් නැහැ.
මැක්සිම් ගෝර්කිගේ අදහස් ඉතාම දරුණුලෙස දේශපාලනයට යොදාගන්නා ස්ටාලින් The writer is the engineer of the human soul කියන වාක්‍ය නිතරම භාවිතා කරනවා. ස්ටාලින්ට අනුව විකල්ප දේශපාලන අදහස් ඇති ලේඛකයන් බිහිවෙන්න හෝ පවතින්න බැහැ.
ස්ටාලින්ගේ පාලනය යටතේ ලේඛකයන්ට සිදුවෙනවා මරණය හා ලිවීම අතර ඉතා පටු පාරක් තෝරාගන්න.
ස්ටාලින්ගේ අදහසක් අනුව සෝවියට් ලේඛකයන් හා ලේඛිකාවන්ට ග්ලාව්ලිට් හඳුන්වාදෙනවා. ( Glavlit & State Censorship)
සියළුම පොත් පත් හා ලේඛන ග්ලාව්ලිට් සංගමය මගින් අනුමත කරන්න ඕනෙ. රජය හෝ බොල්ශෙවික් පක්ශය විවේචනය කරන කිසිම පොතක් මේ සංගමයෙන් අනුමත කරන්නෙ නැහැ. 1991 වසරේ සෝවියට් පාලනය බිඳවැටෙන තෙක් මෙම ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. වසර හැත්තෑවක් පුරා මේ දඬු අඬුවට යටත්වයි රුසියානු ලේඛකයන්ට ලියන්නට සිදුවන්නේ. කොයිතරම් නම් විශිෂ්ට නිර්මාණ සංඛ්‍යාවක් ලෝකයට අහිමිවෙන්න ඇතිද?
සියළුම ටයිප් රයිටර් හෙවත් යතුරු ලියන රජයේ ලියාපදිංචි විය යුතු අතර සියළුම ලේඛණ රහස් පොලීසියේ අධීක්ශණයට යටත්වෙනවා. තව විදිහකට කීවොත් පල්ලියේ හා ට්සාර් පාලනයේ පීඩනයටත් වඩා දැඩි කෲර පාලනයකුයි ස්ටාලින් විසින් ස්ථාපිත කරන්නෙ.
ස්ටාලින් පාලනයට බියෙන් රුසියානු ලේඛකයා පහු බහිනවද? නැහැ.. කවියන්.. ලේඛකයන්.. දාර්ශණිකයන් අධික පීඩනයක් යටතේ තමන්ගේ අපේක්ශාභංගත්වය ගැන.. දුක ගැන .. විරෝධය ගැන ලියනවා.
ලියොන් ට්‍රොට්ස්කි.. නිකොලායි බුකාරින්.. වැස්ලි ග්‍රොස්මන් ආදී විශිෂ්ට ලේඛකයන්ගේ පොත් තහණම් වෙනවා.
ලොලීටා ලියන ව්ලැඩිමීර් නබෝකොව් වගේම එයුජින් සමියාටින්.. ඇල්ඩූස් හක්ස්ලි.. ෆ්‍රාන්ස් කෆ්කා වැනි ලේඛකයන්ගේ පොත් රුසියානුවන්ට තහණම්.
මාස්ටර් හා මාගරීටා.. ඩොක්ටර් ශිවාගෝ වැනි කෘතීන් රහසේම ලියවෙන්නෙ මේ දරදඬු පාලන යටතේයි.
ලේඛකයන්.. කවීන් විශාල සංඛ්‍යාවක් අත් අඩංගුවට ගන්නවා. බොහෝ දෙනෙක්ව සයිබීරියානු සිර කඳවුරුවලට ගාල් කෙරෙනවා.
නමුත් විප්ලවය හා රජය ගැන ප්‍රශංසා ලියන ලේඛකයන්ට සම්මාන පිරිනැමෙනවා පමණක් නොවෙයි ඔවුන්ගේ පොත් විදෙස් භාශාවන්ට පරිවර්තනය කරන්නත් මොස්කව් පාලනය පියවර ගන්නවා.
රුසියානු කවියෙක් වූ ඔසිප් මන්දෙල්ස්තාම්ගේ වැකියක් මෙහිදී සටහන් කිරීම වටිනවා.
කවියන් හා කවි සංකල්පනා මේ රටේ තරම් වෙන කිසිම රටක ගෞරවයට පාත්‍ර වන්නේ නැහැ. ඒ කොයිතරම්ද කියනවා නම් කවි ලිවීම නිසා කවියන් මේ තරම් මරාදමන වෙන කිසිම රටක් මේ ලොකයේ නැහැ.
Osip Mandelstam – 1891 -1938
මන්දෙල්ස්තාම් එක්ක තවත් කවියන් හා ලේඛකයන් 1600 ක ප්‍රමාණය පිටුවහල් කෙරෙනවා සයිබීරියාවේ සිර කඳවුරුවලට.
මේ පීඩනය යටතේ කන්ඩායම් තුනකට බෙදිය හැකි ලේඛක ලේඛිකාවන් රුසියාවෙන් බිහිවෙනවා.
පලමු කොටස රජය ගැන විප්ලවය ගැන ප්‍රශස්ති ලියන කන්ඩායම.
දෙවැන්න පීඩනයට හා මරණයට බිය නැතිව සෘජුවම සත්‍ය ලියන කොටස.
තුන්වැන්න අවධානම තේරුම් ගෙන ව්‍යාංගයෙන් මේ අසාධාරණය ගැන ලියන පිරිස.
මෙන්න මේ තුන්වැනි කොටසටයි චිංගීස් අයිතමාතෙව් වැනි ලේඛකයන් අයිතිවන්නේ.
ක්‍රෙමිලිනයෙන් උදුරාගන යන ගමේ සම්පත් ගැන.. තුවක්කුවක් බලෙන් අතට දී යුද්ධයට යැවූ ගුරුවරයා ගැන අයිතමාතෙව් ලියනවා.
මධ්‍යම ආසියාවට අයිති සංස්කෘතිය හා බැඳීම අහිමිකිරීම ගැන ගුල්සාරි හරහා අපිට කියවන්න පුළුවන්.
The First Teacher- 1965
Farewell, Gyulsary – 1966
The White Ship – 1970
The Place of the Skull 1981 කෘති හරහා අයිතමාතෙව් ඉතාම සියුම්වත් දරුණුවටත් මොස්කව් පාලනය විවේචනය කරනවා.
විශේෂයෙන්ම මධ්‍යම ආසියානු රටවලට අහිමිකරන ලද නිදහස ගැන දුක්වීම මේ පොත් හරහා අපිට දැනෙනවා.
ඇලෙක්සැන්ඩ්‍ර සොල්ස්හෙනිස්ටින් ගැන අපිට නැවත නැවත කතාකරන්න පුළුවන්.
රුසියානු සාහිත්‍යයේ සංහාරය හා භීශණය ගැන අපිට කියන ප්‍රධානම මිනිසා සොල්හෙනිස්ටින්.
Aleksandr Solzhenitsyn 1918 -2008
කමියුනිස්ට් සමාජයට අනුගතවන.. එහි නිෂ්පාදනයක්වන තරුණ ඇලෙක්සැන්ඩ්‍රව ස්ටාලින් පාලනය යටතේ අත් අඩංගුවට අරගෙන සයිබීරියාවේ සිර කඳවුරකට යවන්නෙ තවත් සිය ගණනක් තරුණ ලේඛකයන් එක්ක. 1945 දී සිරගතවන සොල්ස්හෙනිස්ටින් වසර අටකට පස්සෙ නිදහස ලබන්නේ ස්ටාලින්ගේ මරණයත් එක්ක.
අසාධාරණ චෝදනා.. අවනීතික අත් අඩංගුවට ගැනීම්.. පහර දීම්.. සයිබීරියාවේ සිර ගෙදර අමානුශික දඬුවම්.. ඝාතන ගැන ඇලෙක්සැන්ඩ්‍ර සොල්ස්හෙනිස්ටින් ලියන්න පටන් ගන්නවා.
ස්ටාලින් පාලනය ගැන සෝවියට් ජනයා තුල කලකිරීමක් ඇතිකිරීමේ උවමනාවෙන් නිකිතා කෘශ්චෙව් විසින් මේ පොත් පත් යොදාගන්නේ ඉතාම උපක්‍රමශීලී ලෙස. කෘශ්චෙව් කියන්නෙ ස්ටාලින් කවයේ විකටයා හෝ මෝඩයා ලෙස හැඳින්වූ පුද්ගලයා.
ස්ටාලින් සෙවනැල්ලෙන් මිදීමට කෘශ්චෙව් විසින් යොදාගන්නේ ස්ටාලින්ගේ දරුණු කාල පරිච්ඡේදය ගැන ලියවුනු පොත් පත් සමහරක්.
කෘශ්චෙව්ට වඩා සොල්ස්හෙනිස්ටින් බුද්ධිමත්. ස්ටාලින් පාලනය වගේම කෘශ්චෙව් පාලනයත් විවේචනය කරන සොල්ස්හෙනිස්ටින් රුසියාවෙන් පිටත තමන්ගෙ කෘති පලකරන්න පියවර ගන්නවා. 1974 දී නොබෙල් ත්‍යාගය ලබාගන්නා සොල්ස්හෙනිස්ටින්ට ජීවත්වන්නට සිදුවන්නේ රටින් පිටුවහල්ව.
The Gulag Archipelago – 1973
One Day in the Life of Ivan Denisovich – 1962
Cancer Ward – 1966 මේ පොත් අතරින් ප්‍රධානයි.
ස්ටාලින් විසින් හඳුන්වාදෙන සෝවියට් ගුලාග් කඳවුරු ගැන භාහිර ලෝකය දැනගන්නේ මේ හරහායි.
මිලියන 18ක ජනතාවක් ගුලාග් කඳවුරු තුලට ගාල් කෙරෙද්දි මින් කී දෙනෙක් ජීවත්වුනාද කී දෙනෙක් මියෑදුනාද කියන්න කිසිවෙකුට හැකියාවක් නැහැ.
සිය ගණන් ලේඛකයන්.. කවීන් හා දාර්ශණිකයන් සිරගත වෙද්දි තවත් සිය දාස් ගාණක් දෙනා රුසියාවෙන් පලායනවා.
සර්ජෙයි යෙසෙනින් ( Sergei Yesenin) හිරගෙදර ඇතුලෙම එල්ලිලා සියදිවි හානි කරගන්නවා.
ව්ලැඩිමීර් මායාකොව්ස්කි (Vladimir Mayakovsky ) ජීවිතයෙන් සමුගන්නෙ වෙඩි තියාගෙන.
ඔසිප් මන්දෙල්ස්ට්‍රාම් හිරගෙදර ඇතුලෙදිම සීතලේ මිය යනව. (Osip Mandelstam)
ඉසාක් බාබෙල්ට ( Isaak Babel ) වෙඩි තියල ඝාතනය කෙරෙද්දි මරීනා ට්ස්වෙයායේවා බාල්කයේ එල්ලෙනව. ( Marina Tsvetayeva)
මේ හැමෝම අති දක්ශ කවියන් හා ලේඛකයන්. නමුත් ස්ටාලින් පාලනය මගින් ඔවුන්ව සතුරන් බවට පත් කරද්දි ඒ අයගෙ පොත පත තහණම් වෙනව.
මේ සියල්ල සලකා බලද්දි දක්ශ ලේඛකයෙක්ට එරෙහිවෙන ප්‍රධාන බලවේග දෙකක් අපිට හඳුනාගන්න පුළුවන්. පලමුවැන්න ආගමික බලය. දෙවැන්න දේශපාලන බලවේග.
ගැලිලියෝ ගැලිලි.. ජෝර්දානෝ බෲනෝ වැනි බුද්ධිමතුන් හා ලේඛකයන් පුනරුදය කාලයේම ප්‍රහාරයන්ට ලක්වෙනවා.
බරුච් ස්පිනෝසා.. මිකායෙල් සර්වෙටුස් වැනි ලේඛකයන් මර්ධනය කරන්න මූලිකවෙන්නෙ ප්‍රොතෙස්තන්ත ආගම.
අද පවා ලේඛක ලේඛිකාවන් මර්ධනය කරන්න අන්තවාදී ඉස්ලාම් පාලනයන් පසුබට වෙන්නෙ නෑ.
අල්- මාරි.. ඉබ්න් රුශ්ඩි.. අල් ෆරාබි ..ඕමාර් කයියාම් වැනි ලේඛකයන් හා කවියන් ඉස්ලාම් ආගම්වාදීන්ගේ උදහසට ලක්වෙන්නෙ දැනට වසර දාහකට පමණ පෙර.
තස්ලිමා නස්‍රීන්.. සල්මන් රුශ්ඩි .. හමීඩ් අබු සහීඩ් වැනි ලේඛක ලේඛිකාවන් අද දවසේ පවා මර්ධනයට ප්‍රහාරයට ලක්වෙනවා.
රුසියාවේ ලේඛක ලේඛිකාවන්ට අද දවසේ නිදහසේ ලියන්න පුළුවන්ද? ඒක සංකීර්ණ ප්‍රශ්ණයක්.
ඊට සරිලන නිවැරැදිම උත්තරය අපිට ලැබේවි තවත් වසර විස්සකින් පමණ.
ආගමික හා දේශපාලන පීඩනය දැඩිවෙන තරමට.. කෲරවන තරමට විශිෂ්ඨ පොත පත බිහිවෙන බව අපිට පසක් කරන්නෙ රුසියානු ලේඛක ලේඛිකාවන් විසින්.
වසර දෙසීයක දෙසිය පණහක කාලය තුල බිහිවූ ආකර්ශණීය රුසියන් සාහිත්‍ය මගින් ඔවුන් අපිට කියාදෙනවා දේශපාලනික හෝ ආගමික බලයට නොහැකි බව ලේඛකයාගේ පෑන අභිබවා යන්න.
Malcolm Sang
පිංතූරය- චෙකොෆ්.. ගෝර්කි..අයිත්මාතෙව් සහ සොල්හෙයින්ස්ටින්.

