‘ගැහැනු හිත් කියවන මව්වත් හදවත්’

Share post:

”මව්වත් හදවත්’ ඩිල්ශානි චතුරිකා දාබරේ

ඩිල්ශානිගේ පලමුවන ස්වතන්ත්‍ර නවකතාවයි ‘මව්වත් හදවත්’. මේ නවකතාවේ මතුපිටින් තියෙන්නෙ සරල කතාවක්. පරම්පරා තුනක ගැහැණු මුහුණ දෙන සිද්ධි. කතාවේ ආච්චි, අම්මා, අම්මගෙ නංගි පුංචි, සහ අම්මගෙ දුව ඈ කියන ගැහැණු චරිත ජීවත් වෙනවා. සීයා සහ තාත්තා කියන පිරිමි චරිත දෙකෙන් දයාන්විතව ඉස්මතු වෙන්නේ සීයා පමණයි. තාත්තා කියන්නේ ‘කළු’ චරිතයක්.

සීයාත් ආච්චිත් ප්‍රේමණීයව විසුවත්, ඔවුන්ගේ දුහිතෲන් වන අම්මාටත්, පුංචිටත් ඒ වාසනාව හිමි නෑ. ඔවුන් දෙදෙනාම ප්‍රේමය නිසා හිත රිද්දවා ගන්නවා. එක්කෙනෙක් ගෙදරින් යන්න යනවා, අනිත් එක්කෙනා ජීවිතෙන් යන්න ගිහින් බේරෙනවා. මේ සිතුවිලි, සංසිද්ධි ඔක්කොම බලන් ඉන්න චරිතයක් ඉන්නවා, එයා මනුශ්‍යයෙක් නෙමෙයි, ගසක්,හරියටම කීවොතින් දෙල් ගසක්. අම්මගෙත්, පුංචිගෙත් පොදු ලතැවුල් වලට දුවත් අසු වුනත්, ඈ ඒකෙන් බේරෙනවා. බේරෙනවට වඩා බේරාගන්නවා දෙල් ගස විසින්. දෙල්ගසට උදව්වට එන්නේ විෂ ලතාවක තුඩු ඇනිලා පිහාටු බිඳිච්ච කණාමැදිරියෙක්.
මේ පොතේ කිසිම චරිතයකට නමක් නෑ. සීයා, ආච්චි, අම්මා, පුංචි සහ ඇය. ඒ තුලින් ඩිල්ශානි මතුකරන්නේ පොදු මහත් ගැහැණු සංහතිය. අපේ පරම්පරාවේ ගොඩක් අයට ආදරණීය රසට කෑම උයන, පෙරැත්ත කර කර කවන ආච්චි අම්මලා ඉන්නවා. ඒත් අපේ පරම්පරාවෙ හෝ අපේ දෙමාපිය පරම්පරාවෙ එහෙම ආච්චි අම්මලා බිහිවෙනව අඩුයි. පොත ඒ ආකාරයෙන් බැලූ විට මේ පොත ගැහැණු පොතක්. ගැහැණු හිත් ගැන කතා වෙන පොතක්. ගැහැණු හිත් කියවන පොතක්. ගැහැණු විලවුන් සුවද, පිච්ච සුවඳ, තාන් රෙදි, කපුරු බෝල, සැවැන්දරා සුවඳ හමන පොතක්.

“තමන් ඇසුරු කරන අය වෙනුවෙන් ගැහැණු අය තමන්ගේ හිතෙන් ලකුණු දෙන ක්‍රමයක් තියනවා. ඒ අය මුලින්ම කරන්නේ සම්පූර්ණ ලකුණු දෙන එක. ඉහලම ලකුණු පිරිනමන එක. ඒ මිනිස්සු කරන කියන දේවල් අනුව, ඒ ලකුණු අඩු වැඩි කරන්නෙ ඉන් පස්සෙ. ලකුණු අඩුවෙන්න වෙන්න ගැහණු ගැහැණු අයට ඔවුන් ගැන තියෙන හැඟීම අඩුවෙනවා”

ඇත්තටම මේ කාරණේ තේරුම් බේරුම් කරගෙන ඉන්නෙ කීයෙන් කී දෙනාද?
‘මව්වත් හදවත්’ භාෂා රටාව කාව්‍යමයි. ඒ තුලින් ගැහැණු හිත් වල තියෙන කාව්‍යමය සහ තැවරෙන, ලතවෙන, රැඳෙන ගතිය ඉස්මතු වෙනවාය කියල මට හිතෙනවා.
“සීත කුස්සියෙ සීත දෙපා තිය තිය සීත සිතුවිලි එක්ක ඉන්න හැම වෙලාවෙම, ඇයට ආච්චි දැනුනේ අම්මගෙ කුසේ ඉන්නව වගේ උණුහුමට”
“මේ කතාවේ එන අවකාශ, ආච්චිගේ සීත කුස්සිය, අම්මගේ කාමරය, පුංචිගෙ කාමරය සහ ඇගේ කාමරය, ඇත්තටම කාමර නෙමේ, ඔවුන්ගේ මවුවත් හදවත් කියල මට දැණුනා.

ස්වභාවධර්මයට පොත තුලින් දීලා තියෙන තැන විශේෂයි. දෙල් ගස සහ ලිඳ අතර තියෙන ප්‍රේම සම්බන්ධය, රබර් වත්තෙ කෙලවරට එන මුව රංචු, කණාමැදිරියාගේ අවසන් ගමන ආදී වශයෙන් චරිත එකතුවට නව මානයක් කතුවරිය මේ පොත තුලින් ගෙන එනවා. දෙල් ගස පොතේ ප්‍රධාන චරිතයද හිතෙන තරමට එය කතන්දරය තුල විහිදී තියනවා.මිනිස් කටහඬ ඇසෙන මානයේ තියෙන තැඹිලි ගස් වල, අඹ ගස් වල ඵල දැරීම වැඩියි කියන දේ ග්‍රාමීයව අත් දකින දෙයක්. ඉතින්, ඊටත් එහා සම්බන්ධතාවයක් මානවයා සහ ගස් වැල් අතර තිබිය නොහැකිද? අපේ ලෝකයත් පැන්ඩෝරාවක් විය නොහැකිද?
මට මේ පොත කියවද්දි මතක් උන කෘතීන් කිහිපයක් තියනව. එකක් කාංචනා අමිලානිගේ ගම්මිරිස් කුරුල්ලා කෙටිකතා පොතේ එන ඇතැම් කතා, දෙවනුව සිබිල් වෙත්තසිංහගේ චිත්‍ර, තෙවනුව සමර විජේසිංහගේ එක කවිය සියවරක් පොතෙහි කවරය. කාංචනාගේ පොත මතක් වෙන්නෙ කතා වල මිනිස්සුන්ට අමතරව සොබාදහමේ සිටින සතුන් චරිත ලෙස යොදාගැනීම නිසා, සිබිල් වෙත්තසිංහගෙ චිත්‍රවල ඉන්න ආදරණීය ආච්චිලා දුවලා මේ පොත තුලින් මුණ ගැසීම නිසා. අන්තිමට මම කියූ පොතේ කවරයේ තියෙන්නෙ ගැහැණු යට සායක්. දිල්ශානිත් මේ කතාවෙ කියන්නේ බීරළු කොට්ටයකින් ගොතන බීරලු රේන්ද වගේ ලෝකයට නොපෙනෙන ගැහැණු සිතුවිලි.

රසික වික්‍රමනායක

2025.11.13

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...