‘ගැහැනු හිත් කියවන මව්වත් හදවත්’

Share post:

”මව්වත් හදවත්’ ඩිල්ශානි චතුරිකා දාබරේ

ඩිල්ශානිගේ පලමුවන ස්වතන්ත්‍ර නවකතාවයි ‘මව්වත් හදවත්’. මේ නවකතාවේ මතුපිටින් තියෙන්නෙ සරල කතාවක්. පරම්පරා තුනක ගැහැණු මුහුණ දෙන සිද්ධි. කතාවේ ආච්චි, අම්මා, අම්මගෙ නංගි පුංචි, සහ අම්මගෙ දුව ඈ කියන ගැහැණු චරිත ජීවත් වෙනවා. සීයා සහ තාත්තා කියන පිරිමි චරිත දෙකෙන් දයාන්විතව ඉස්මතු වෙන්නේ සීයා පමණයි. තාත්තා කියන්නේ ‘කළු’ චරිතයක්.

සීයාත් ආච්චිත් ප්‍රේමණීයව විසුවත්, ඔවුන්ගේ දුහිතෲන් වන අම්මාටත්, පුංචිටත් ඒ වාසනාව හිමි නෑ. ඔවුන් දෙදෙනාම ප්‍රේමය නිසා හිත රිද්දවා ගන්නවා. එක්කෙනෙක් ගෙදරින් යන්න යනවා, අනිත් එක්කෙනා ජීවිතෙන් යන්න ගිහින් බේරෙනවා. මේ සිතුවිලි, සංසිද්ධි ඔක්කොම බලන් ඉන්න චරිතයක් ඉන්නවා, එයා මනුශ්‍යයෙක් නෙමෙයි, ගසක්,හරියටම කීවොතින් දෙල් ගසක්. අම්මගෙත්, පුංචිගෙත් පොදු ලතැවුල් වලට දුවත් අසු වුනත්, ඈ ඒකෙන් බේරෙනවා. බේරෙනවට වඩා බේරාගන්නවා දෙල් ගස විසින්. දෙල්ගසට උදව්වට එන්නේ විෂ ලතාවක තුඩු ඇනිලා පිහාටු බිඳිච්ච කණාමැදිරියෙක්.
මේ පොතේ කිසිම චරිතයකට නමක් නෑ. සීයා, ආච්චි, අම්මා, පුංචි සහ ඇය. ඒ තුලින් ඩිල්ශානි මතුකරන්නේ පොදු මහත් ගැහැණු සංහතිය. අපේ පරම්පරාවේ ගොඩක් අයට ආදරණීය රසට කෑම උයන, පෙරැත්ත කර කර කවන ආච්චි අම්මලා ඉන්නවා. ඒත් අපේ පරම්පරාවෙ හෝ අපේ දෙමාපිය පරම්පරාවෙ එහෙම ආච්චි අම්මලා බිහිවෙනව අඩුයි. පොත ඒ ආකාරයෙන් බැලූ විට මේ පොත ගැහැණු පොතක්. ගැහැණු හිත් ගැන කතා වෙන පොතක්. ගැහැණු හිත් කියවන පොතක්. ගැහැණු විලවුන් සුවද, පිච්ච සුවඳ, තාන් රෙදි, කපුරු බෝල, සැවැන්දරා සුවඳ හමන පොතක්.

“තමන් ඇසුරු කරන අය වෙනුවෙන් ගැහැණු අය තමන්ගේ හිතෙන් ලකුණු දෙන ක්‍රමයක් තියනවා. ඒ අය මුලින්ම කරන්නේ සම්පූර්ණ ලකුණු දෙන එක. ඉහලම ලකුණු පිරිනමන එක. ඒ මිනිස්සු කරන කියන දේවල් අනුව, ඒ ලකුණු අඩු වැඩි කරන්නෙ ඉන් පස්සෙ. ලකුණු අඩුවෙන්න වෙන්න ගැහණු ගැහැණු අයට ඔවුන් ගැන තියෙන හැඟීම අඩුවෙනවා”

ඇත්තටම මේ කාරණේ තේරුම් බේරුම් කරගෙන ඉන්නෙ කීයෙන් කී දෙනාද?
‘මව්වත් හදවත්’ භාෂා රටාව කාව්‍යමයි. ඒ තුලින් ගැහැණු හිත් වල තියෙන කාව්‍යමය සහ තැවරෙන, ලතවෙන, රැඳෙන ගතිය ඉස්මතු වෙනවාය කියල මට හිතෙනවා.
“සීත කුස්සියෙ සීත දෙපා තිය තිය සීත සිතුවිලි එක්ක ඉන්න හැම වෙලාවෙම, ඇයට ආච්චි දැනුනේ අම්මගෙ කුසේ ඉන්නව වගේ උණුහුමට”
“මේ කතාවේ එන අවකාශ, ආච්චිගේ සීත කුස්සිය, අම්මගේ කාමරය, පුංචිගෙ කාමරය සහ ඇගේ කාමරය, ඇත්තටම කාමර නෙමේ, ඔවුන්ගේ මවුවත් හදවත් කියල මට දැණුනා.

ස්වභාවධර්මයට පොත තුලින් දීලා තියෙන තැන විශේෂයි. දෙල් ගස සහ ලිඳ අතර තියෙන ප්‍රේම සම්බන්ධය, රබර් වත්තෙ කෙලවරට එන මුව රංචු, කණාමැදිරියාගේ අවසන් ගමන ආදී වශයෙන් චරිත එකතුවට නව මානයක් කතුවරිය මේ පොත තුලින් ගෙන එනවා. දෙල් ගස පොතේ ප්‍රධාන චරිතයද හිතෙන තරමට එය කතන්දරය තුල විහිදී තියනවා.මිනිස් කටහඬ ඇසෙන මානයේ තියෙන තැඹිලි ගස් වල, අඹ ගස් වල ඵල දැරීම වැඩියි කියන දේ ග්‍රාමීයව අත් දකින දෙයක්. ඉතින්, ඊටත් එහා සම්බන්ධතාවයක් මානවයා සහ ගස් වැල් අතර තිබිය නොහැකිද? අපේ ලෝකයත් පැන්ඩෝරාවක් විය නොහැකිද?
මට මේ පොත කියවද්දි මතක් උන කෘතීන් කිහිපයක් තියනව. එකක් කාංචනා අමිලානිගේ ගම්මිරිස් කුරුල්ලා කෙටිකතා පොතේ එන ඇතැම් කතා, දෙවනුව සිබිල් වෙත්තසිංහගේ චිත්‍ර, තෙවනුව සමර විජේසිංහගේ එක කවිය සියවරක් පොතෙහි කවරය. කාංචනාගේ පොත මතක් වෙන්නෙ කතා වල මිනිස්සුන්ට අමතරව සොබාදහමේ සිටින සතුන් චරිත ලෙස යොදාගැනීම නිසා, සිබිල් වෙත්තසිංහගෙ චිත්‍රවල ඉන්න ආදරණීය ආච්චිලා දුවලා මේ පොත තුලින් මුණ ගැසීම නිසා. අන්තිමට මම කියූ පොතේ කවරයේ තියෙන්නෙ ගැහැණු යට සායක්. දිල්ශානිත් මේ කතාවෙ කියන්නේ බීරළු කොට්ටයකින් ගොතන බීරලු රේන්ද වගේ ලෝකයට නොපෙනෙන ගැහැණු සිතුවිලි.

රසික වික්‍රමනායක

2025.11.13

Related articles

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යතාර්ථවාදී ද?

මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය...

Kangaroo Cabs මගීන් සමග එක් වී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවයි !

පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි....

2026 අයවැය : ආණ්ඩුව ලණුවක් කාලා –  ගොවීන්ට උගුලක් අටවලා : චින්තක රාජපක්ෂ, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

2026 අයවැය ගොවි ජනතාවට ඇටවූ උගුලක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි. කොළඹ අද (11) පැවති මාධ්‍ය...

රුසියානු සාහිත්‍ය ගැන කෙටි විපරමක්

අපරාධය සහ දඬුවම.. ඇනා කැරනිනා.. කරමාසොව් සහෝදරයෝ.. ඩොක්ටර් ශිවාගෝ.. පීටර්ස්බර්ග්.. අම්මා… මේ විදිහට නම් සිය ගණනක් අපිට මතක්වෙනවා...