ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරය. ඇකඩමික් සම්මාන උළෙල 1972.
සම්මානය හිමිවන නළුවාගේ නම නිවේදකයා විසින් නිවේදනය කරනවා ගැඹුරු හඬකින්. චාලි චැප්ලින්.
මුළු ප්‍රේක්ශකාගාරයම අත්පොලසන් හඬින් පිරී යන්නෙ එක තත්පරයකින්.
එතන කිසිම පුදුමයක් නෑ. කවුද චාලි චැප්ලින්ව නොදන්නෙ?
අත්පුඩිවලින් නොනවතින ප්‍රේක්ශයන් අත්පුඩි ගහන ගමන්.. ප්‍රීතිය ප්‍රකාශ කරන ගමන් හෙමින් සැරේ නැගිටිනවා.
චැප්ලින් වේදිකාවට ගොඩවෙනකොටත්.. සම්මානය ලබාගන්නකොටත් අත්පොලසන් නවතින්නෙ නෑ.
විනාඩියක් දෙකක් නෙවෙයි විනාඩි පහක් එක දිගට අත්පොලසන් දෙන ප්‍රේක්ශකයා තවමත් ඉන්නෙ හිටගත් ගමන්.
විනාඩි හත අට.. දහය නෙවෙයි විනාඩි දොලහක් එකදිගට නොනවත්වාම අත්පොලසන් ලැබෙනවා.
විනාඩි දොලහක නොනවතින අත් පොලසන්. මේ තමයි කලාකරුවෙකුට මෙතෙක් ලැබුණු දීර්ඝතම අත් පොලසන් නාදය. දාස් ගණන් ප්‍රේක්ශකයන්ගෙ මුහුණුවල තියෙන්නෙ අගයකිරීමක්.. ආදරයක්.. වගේම ස්තුතියි කීමක්.
ඒත් ඊට එහා ගිය හැඟීමක් මේ ප්රේක්ශයන්ගෙ මූණුවලින් ඉරියව්වලින් පේන්න තියෙනවා පැහැදිලිවම.
මේ අත්පොලසන් හඬ කියන්නෙ අපිට සමාවෙන්න කියලා.
අපිට සමාවෙන්න.. ඇයි එහෙම කියන්නෙ.?
ඊයෙ හවස ජිනීවා වැව අයිනෙ ඇවිදගෙන ගියේ මොන්ත්ර නගරයට ගිය අතරතුර. නිල්පාට වැව දිහා බලාගෙන ඉන්න චාලි චැප්ලින්ගෙ පිලිරුව ආකර්ශණීයයි. වැවේ වතුර නිල්පාටයි.. නමුත් ගැඹුරුයි. වැවට එහා පැත්තෙ ඈතින් පේන ඇල්ප්ස් කඳු ලස්සනයි.ඒත් ඒ වගේම බොහොම අමාරුයි ඒ හරහා යන්න. ජිනීවා වැවත්.. ඇල්ප්ස් කඳුත්.. වවේ නගරයේ සාමකාමී නගරවැසියනුත් චැප්ලින්ගෙ ආදරය දිනාගත් බවට සැක නැහැ.
චැප්ලින්ගෙ සොහොන තියෙන්නෙත් ජිනීවා වැව පේන මානෙ වවේ නගරයට අයිති බිම්කඩක.
කොහොමද චැප්ලින් මේ කුඩා නගරයට එන්නෙ?
චාර්ල්ස් ස්පෙන්සර් චැප්ලින් උපදින්නෙ 1889 අවුරුද්දෙ අප්‍රේල් මාසයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී.
තාත්තා රස්සාවක් නැති.. ඒ වගේම මත්පැන්වලට ඇබ්බැහිවුනු තරුණයෙක්. තව විදිහකට කීවොත් බේබද්දෙක්. චාර්ල්ස්ට වයස අවුරුද්දක් වෙද්දිම තාත්තා පවුල අතෑරලා යනවා. කුඩා චැප්ලින්ගේ දුප්පත් අම්මා රෝගී වෙනවා විතරක් නෙවෙයි මානසික ආබාධවලට ලක්වන්නේ චාලිවත් එයාගෙ වැඩිමල් සහෝදරයාවත් බඩගින්නෙ තියමින්.
වයස අවුරුදු හයේ සහ අවුරුදු හතරේ කුඩා දරුවන් දෙන්නෙක්ට පුළුවන්ද රෝගී මව බලාකියාගෙන ජීවත්වෙන්න.
දවස් ගණන් බඩගින්නෙ ඉන්න.. සීතලේ නිදියන්න සිද්ධවෙන කුඩා දරුවෙකුගේ ජීවිතය කොයිතරම් අමාරුද කියලා අමුතුවෙන් විස්තරකලයුතු නැහැ.
වයස අවුරුදු හතවෙද්දි කුඩා චැප්ලින් කර්මාන්තාශාලාවක කුඩා රැකියාවක් හොයාගන්නවා. එයින් ලැබෙන සුළු මුදල ප්‍රමාණවත් නැහැ තමන්ගෙ මවට සාත්තු කරන්න තියා ඇතිවෙන්න කෑම බීම මිළදීගන්නවත්.
තැනින් තැන කුණු බක්කි අවුස්සමින්.. පත්තර විකුණමින්.. සපත්තු ඔපදමමින් ජීවත්වෙන්න මේ කුඩා දරුවා උත්සාහ කරනවා.
කුඩා දරුවන්ට වෙන්වුනු ප්රාථිමික පාසැලෙන් පාසලට.. අනාථ නිවාසයකින් තවත් නවාතැනකට විදිහට තැනින් තැන ජීවත්වෙන චාර්ල්ස් වේදිකාවේ කුඩා චරිත රඟපාන්නෙ ඒ මගිනුත් ඔහුට යම් මුදලක් උපයාගත හැකි නිසයි. ඒ අතරෙ චාර්ල්ස්ගේ අම්මාගේ ජීවිතය මානසික රෝහලක් ඇතුලට සීමාවෙනවා.
අපි මේ කතා කරන්නෙ 1903 වර්ශය ගැන. මේ වෙනකොට ශර්ලොක් හෝම්ස් කතාංදර මුල්කරගත් වේදිකා නාට්‍ය ලන්ඩනයේ බොහොම ජනප්‍රියයි. මේ නාට්‍ය මාලාවක බිලී ද පේජ් බෝයි ( Billie the page boy) චරිතය චාර්ල්ස් චැප්ලින් කදිමට රඟ දක්වනවා.
ඒත් සති කීපයක් ඇතුලත චාර්ල්ස්ට රැකියාව අහිමිවෙන්නෙ මේ නාට්‍ය සමාගම වසා දමන හේතුවෙනුයි.
වසරින් වසර විවිධ කුඩා නාට්‍යවලත්.. සර්කස් සංදර්ශණවලත් රඟපාන චාර්ල්ස් ටිකෙන් ටික ඉගෙන ගන්නවා රඟපෑම ගැන.
1908 වසරේදී තමන්ගෙ වැඩිමහල් සහෝදරයාගේ උදව්වෙන් ෆ්‍රෙඩ් කාර්නෝ නාට්‍ය සමාගමේ සම්මුඛ පරීක්ශණයට පෙනී සිටින්න චාර්ල්ස් අවස්ථාවක් උදාකරගන්නෙ බොහොම මහන්සිවෙලා.
“විහිළුකාරී පෙනුමක් ඇති.. කෙසඟ.. කමකට නැති තරුණයෙක් .. කිසිම ජීවයක් නෑ මේ පෙනුමේ” .. සම්මුඛ පරීක්ශණයේදී ලැබෙන්නෙ මේ වගේ වචන. නමුත් එකම එක අවස්ථාවක් දෙන්න කාර්නෝ නාට්‍ය සමාගම එකඟවෙනවා. පුදුමයකට වගේ.
ලැබෙන එකම අවස්ථාව පුදුමාකාරයි. චාර්ල්ස් චැප්ලින් ලන්ඩන් කොලෝසියමේ ප්‍රේක්ශකයන් පුදුමකරන ආකාරයේ රඟපෑමක් ඉදිරිපත්කරනවා. ඒ එක්කම කාර්නෝ සමාගම එක්ක ගිවිසුමක් අත්සන් කරන්නත් මේ කුඩා නළුවාට හැකිවෙනවා.
1915 වර්ශය වන විට චාලි චැප්ලින් කියන්නෙ ලන්ඩනයේ නාට්‍ය ක්ශේස්ත්‍රයේ බොහෝම ජනප්‍රිය චරිතයක්.
හෙමින් සැරේ චිත්‍රපට කලාවට එකතුවෙන චාලි චැප්ලින් නළුවෙක් විදිහටත් චිත්‍රපට අධ්‍යක්ශක වරයෙක් ලෙසත් මුළු බ්‍රිතාන්‍ය පුරාම ජනප්‍රිය වෙනවා.
ජනප්‍රියත්වය හා මිළ මුදල් ගලා ආවත් ලොව පුරා ජනප්‍රියවන තරුවක් බවට පත්වන්නට නම් ඇමරිකානු සිනමාවට අවතීර්ණ වෙන්න ඕනෙ. 1916 වසරේ ඇමරිකා එක්සත් ජනපදයට ලඟාවෙන චැප්ලින් ලබන්නේ විශාල ජනප්‍රියත්වයක්.
චෝදනා හා ගැටුම් නැතුවාම නොවෙයි. නමුත් ඔහු විසින් අධ්‍යක්ශණය කරන ඔහුම රඟපාන චිත්‍රපට හරහා චාර්ලි චැප්ලින් ඇමරිකානුවන්ගේ ප්‍රියතම තරුව බවට පත්වන්නේ ඉතාම ඉක්මනින්. චාර්ලි චැප්ලින් නම් තරුව ගැන මුළු ලෝකයම කතා කරනවා.
මෙන්න මේ අතරෙ බ්‍රිතාන්‍ය මාධ්‍ය චාර්ලි චැප්ලින්ව බොහොම කර්කශ විදිහට විවේචනය කරන්න පටන් ගන්නවා. පලමු ලෝක යුද්ධය ඇවිලී යනවිට පුරවැසියෙකුගේ යුතුකම චාර්ලි චැප්ලින් විසින් පැහැර හරින බවටයි බ්‍රිතාන්‍ය පුවත්පත් චෝදනා කරන්නෙ. සොල්දාදුවෙකු ලෙස යුද්ධයට සහභාගිවීම පැහැර හැරීම සඳහා චැප්ලින් ඇමරිකාවට ගිය බව සඳහන් කරන ජන මාධ්‍යය ඒ සඳහා චැප්ලින් සමාව ගතයුතු බවත් සටහන් කරනවා.
මෙයින් බොහොම සිත් රිදවීමවට පත්වන චැප්ලින් කියන්නෙ බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු රජය තමන්ට යෝජනා කරානම් යුද්ධයට බැඳෙන්න, තමා ඊට කිසිවිටකත් පසුබට නොවන බවයි. කෙසේ වෙතත් යුරෝපයේත්.. ඇමරිකා එක්සත් ජනපදයේත් සියළුම හමුදා සෙබළුන් අතරේ චාර්ලී චැප්ලින් කියන්නෙ ඉතාම ජනප්‍රිය ආදරණීය චරිතයක්.
මේ ආකාරයේ චෝදනා හා සිත් රිදවීම් නිසාම නැවත බ්‍රිතාන්‍යයට නොයන චාර්ලි චැප්ලින් මුළු ලොව පුරාම එකම විදිහට ජනප්‍රියවන මුල්ම කලා කරුවා හෝ සිනමා තරුව බවට පත්වෙනවා ඊලඟ දශක දෙක තුලදී. ඒ ජනප්‍රියත්වය කොතරම්ද කියනවා නම් චාර්ලි චැප්ලින් නම නොදන්නා කිසිම දරුවෙක් යුරෝපයේ හෝ ඇමරිකාවේ නැති බවයි මාධ්‍ය සඳහන් කරන්නෙ.
1940 දශකයට ලෝකය අවතීර්ණ වෙනකොට දෙවන ලෝක යුද්ධයේ ගිනි දළු තැනින් තැන ඇවිලෙන්න පටන් ගන්නවා.
චාර්ලි චැප්ලින් වසර ගණනාවක් තිස්සෙ මහන්සි වෙනවා හිට්ලර් සම්භන්ධ විකට චිත්‍රපටයක් නිර්මාණය කරන්න.
The Great Dictator චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න පටන් ගන්නෙ 1940 අවුරුද්දේ.
මුලින් ඉතාම විශාල ජනප්‍රියත්වයක් අත් කරගන්න මෙම සිතුවම්පටය පසුව ඉතා තද විවේචනවලට ලක්වෙනවා.
නමුත් එයින් ලබන ආදායම අති විශාලයි.
විවිධ නඩු හබවලට.. විවාහ හා දික් කසාදවලට .. පවුල් සංස්ථාවේ ප්‍රශ්ණවලට මුහුන දුන්නත් චාර්ලි චැප්ලින් කියන්නෙ මුළු ලෝකයම දන්න අයිකොන් එකක්. අති විශාල මුදලක් හා ලොව පුරා එකවගේ ජනප්‍රිය වූ චරිතයක් ලෝක බලවතුන් දකින්නෙ කොයි අකාරයටද?
චාර්ලි චැප්ලින්ගේ දේශපාලන මතවාද ගැන ප්‍රශ්ණ කරන්න මාධ්‍ය පෙළඹෙන්නේ හේතුවක් නැතුව නෙවෙයි.
මීට ප්‍රධාන හේතුව වන්නේ FBI ආයතනයේ සැකය චැප්ලින් වෙත යොමුවීමයි.
එහි අධ්‍යක්ශක එඩ්ගා හූවර් චැප්ලින්ට චෝදනා කරන්නේ රාජ්‍ය බලය සඳහා කුමන්ත්රණවලට සහභාගිවන සැකකරුවෙකු ලෙස හඳුන්වමිනුයි. චැප්ලින් රහසේ කොමියුනිස්ට් සංවිධාන වලට සම්භන්ධයි.. ඔහුගේ නිර්මාණ හරහා ඔහු ජනතාව සමාජවාදයට යොමුකරනවා. මේ චෝදනාව ඉතා ඉක්මනින් ප්‍රසිද්ධ වන්නේ යුද්ධයෙන් පසුව ජනප්‍රියවන කොමියුනිස්ට් අදහස් ඇමරිකාවට ලඟාවන පසුබිමකයි. ඒ සඳහා අවශ්‍ය සාධක හෝ සාක්ශිනොමැති නිසා කාන්තාවන් සම්භන්ධවත්.. ලිංගික සම්භන්ධතා සඳහාත් චැප්ලින්ට චෝදනා එල්ලවෙනවා පමණක් නෙවෙයි නඩු පැවරෙනවා. නීතිය සහ බලය එක්පැත්තක දකින්න ලැබීම බොහොම භයානකයි.
චාර්ලි චැප්ලින්ට ඇමරිකානු පුරවැසිභාවය නොදිය යුතුයි.. ඔහුව නිරන්තර පරීක්ශාවට ලක්කල යුතුයි.
මේ උදෘත පාඨ අපිට දකින්න ලැබෙනවා පුවත්පත්වල. මේ අනුව කලා ලෝකයේත් චැප්ලින් ජීවත්වන සමාජයේත් ඇතිවෙන්නෙ ඉතා කර්කශ පීඩාකාරී තත්වයක්.
අද ලෝකය වුනත් එදා වගේමයි. ආගමක්.. පූජකයෙක්.. දේශපාලකයෙක් විවේචනය කලොත් ලැබෙන්නෙ අභූත විකාර චෝදනා.
විදේශ අත්.. එන් ජී සල්ලි.. සරනාගතයො.. කල්ලතෝනියො වගේ විවේචන සමාජ මාධ්‍යයේ අපි දිනපතා දකින්නෙ මේ විදිහටමයි.
මේ චෝදනා හා අපවාදවලින් චැප්ලින් බොහොම පීඩාවට පත්වෙනවා.
චැප්ලින්ගේ ලයිම් ලයිට් චිත්‍රපටිය තිරගතවන්න සූදානම් වන්නේ 1952 වසරෙදි. ඇමරිකාව තුල ලබන සිත් රිදවීම හා චෝදනා නිසා ඔහු තීරණය කරනවා ලන්ඩනයේදී මේ චිත්‍රපටය එලි දක්වන්න.
දවස 1952 සැප්තැම්බර් 18. චැප්ලින් හා ඔහුගේ පවුලේ සාමජිකයන් ක්වීන් එලිසබෙත් නෞකාවට ගොඩවෙන්නෙ ලන්ඩනය බලා යාත්‍රා කරන්න. නෞකාව අත්ලාන්තික් සාගරය හරහා හෙමින් සැරේ යාත්‍රා කරනවා. මේ අතරෙ යාත්‍රා ඇමරිකානු නීති බලධාරීන් නිවේදනයක් නිකුත් කරනවා චැප්ලින්ගේ නැවත ඇමරිකාවට ඇතුල්වීමේ අවසර පත්‍රය අවලංගුකරමින්.
චැප්ලින්ට නැවත ඇමරිකාවට ඇතුල්වීමට නම් විශේෂ අවසර ලබාගත යුතු බවත්.. ඒ සඳහා ඔහු පරීක්ශාවන්ට යටත්වන බවත් ඒ නිවේදනයේ සඳහන්. ලෝකයක්ම හඳුනන ලෝකයම ආදරය කරන චැප්ලින්ට එල්ලවන මේ චෝදනා ඉතාම බරපතලයි.
එක අතකින් තමන් උපන් රටවන බ්‍රිතාන්‍යයෙන් ලැබෙන විවේචන .. අනෙත් අතින් තමන් වසර විසි හතරක් පුරා ජීවත් වූ රටවන ඇමරිකා එක්සත ජනපදය විසින් එල්ලකරන චෝදනා.
මේ මොහොත වනවිට ක්වීන් එලිසබෙත් නෞකාව යාත්‍රා කරන්නෙ ඇමරිකා එක්ස්ත ජනපද හා බ්‍රිතාන්‍ය අතර මැද අත්ලාන්තික් සාගරයේයි.
වේදනාවටත් දුකටත් පත්වන චාර්ලි චැප්ලින් තීරණය කරනවා මේ රටවල් දෙකම වෙනුවට සාමකාමී භූමියක ජීවත්විය යුතුයි කියලා.
මෙන්න මේ ආකරයටයි චාර්ලි චැප්ලින් නම් අපූරු මිනිසා ස්විට්සර්ලන්තයේ ජිනීවා වැව අද්දර පිහිටි වවේ නගරයට ලඟාවන්නෙ.
” ඉතා බලවත් පුද්ගලයන්ගේ දෝශ දර්ශණයටත් චෝදනාවලටත් මට ලක්වන්න සිදුවුනා පසුගිය දශකය පුරාවටම.
මේ චෝදනා කරන බලවත් හා ධනවත් පුද්ගලයන්ට බාල ජන මාධ්‍යයෙන් ලැබුනේ විශාල සහයෝගයක්.
මේ දෙපිරිස එකතුව ගොඩ නගනු ලැබූ අඳුරු පීඩිත වටපිටාවක ජීවත්වීමට මගේ කැමැත්තක් නැහැ”
ස්විට්සර්ලන්තයේ සිට නිවේදනයක් නිකුත් කරමින් මෙහෙම කියන්නෙ චාර්ලි චැප්ලින් විසින්.
කොයි තරම් සැප පහසුව රැඳුනු තැනක් වුනත්.. තමන්ව ජනප්‍රිය කරවපු සමාජය වුනත් .. තමන් ඉපදුනු පවුල වුනත්..
තමන්ව ප්‍රථික්ශේප කරනවා නම් .. නිසි අගයක් නොදෙනවා නම් ඒ කිසිම තැනක රැඳිය යුතු නැහැ.
ඊ ලඟ වසර විස්ස තුල ඔහු ඇමරිකා එක්සත් ජනපදයට යාම ප්‍රථික්ශේප කරනවා.
කාලය ගතවෙනවා.. දේශපාලන රටාවන් වෙනස් වෙනවා.. බලවත් පුද්ගලයන් අභාවයට යනවා.. වෙනත් මතවාද ජනප්රියවෙනවා.. ඒක තමයි ස්වභාවය.
මෙන්න මේ අතරෙයි ඇමරිකානු මෝශන් පික්චර්ස් සමාගම හා ඇමරිකානු කලාකරුවන් විසින් චැප්ලින්ට ගෞරව සම්මානයක් දෙන්න තීරණය කරන්නෙ.
වසර විස්සකට පස්සෙ චැප්ලින් ලඟාවෙනවා තමන්ට සාර්ථකත්වය ලඟාකර දුන් ඇමරිකානු භූමියට.
ව්‍යාපාරිකයන්.. බලවත් දේශපාලකයන්.. අධ්‍යක්ශක වරියන්.. නිෂ්පාදකවරුන්.. නළු නිලියන් හැම දෙනාම එක විදිහටම නැගිටලා අත්පොලසන් දෙන්නේ මෙන්න මේ අවස්ථාවේයි.
අපි ඔබට චෝදනා කරා.. අපේ රට ඔබව ප්‍රථික්ශේප කරා.. අපිට සමාවෙන්න.. ඒ මූණුවල ලියවී තිබෙනවා.
වේදිකාවට ගොඩවුනු චාර්ලි චැප්ලින්ගේ ඇස්වල වගේම ප්‍රේක්ශකයන් සමහරෙක්ගෙත් ඇස්වල කඳුළු දිලිසෙන බව රහසක් නෙවෙයි.
ඒ වනවිට චැප්ලින්ගේ වයස අවුරුදු අසූ තුනක්.
තමන්ගෙ තීරණය වෙනස්කරමින් නැවත ඇමරිකානු භූමියට එන්න චැප්ලින්ගේ අදහසක් නෑ.
තමන්ට රැකවරණයත් සාමයත් ලබාදුන් ජිනීවා වැව අද්දර ජීවිතයේ ඉතුරු කාලයත් ගෙවන්න චැප්ලින් තීරණය කරපු එක පුදුමයක් නෙවෙයි. 1977 වසරේදී මිය යනතෙක්ම චාර්ලි චැප්ලින් ජීවත් වන්නේත් ඔහුව මිහිදන් කෙරෙන්නෙත් වැව අද්දර කුඩා වවේ නගරයේදීයි.
ලෝකයට හිනාවෙන්න කියලා දීපු ගොඩාක් මිනිස්සු බිහිවෙන්නෙ හිනාව අඩු.. දුක පුරුදු පවුල් පසුබිමක් තුල.
ඒ හිනාවට යටින් දිවෙන කතාවට කන් දෙන්න අපිට පුළුවන් නම් ඒ ජීවිත වටහාගන්න විනිශ්චයකින් තොරවම වටහා ගන්න අපිට අවස්ථාව ලැබෙනවා.
චැප්ලින්ව සිහිවෙන්න ඉදිකල පිලිරුව ඔහුට ආදරය කරපු රසිකයන්ගේත්.. සංචාරකයන්ගේත් නිරතුරු අවධානය දිනාගන්නා අපූරු සිහිවටනයක්.
Charlie Chaplin 1889 – 1977 .
Malcolm Sang ගේ FB පිටුවෙන්

