අනුර කුමාර දිසානායක සහෝදරයාට ‘ජයවේවා !’ කියන අතරේම, ලියන්නට හිතුණා

Share post:

ජාත්‍යන්තර වාම දේශපාලන ඉතිහාසය තුළ ඉතා දුර්ලභ වන ඓතිහාසික අවස්ථාවක් ලංකාවේ අප ඉදිරියේ තිබේ. එය මග නොහරිමු.
ජාජබ නායක ලංකාවේ 9 ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ‘ජයවේවා !’ කියන අතරේම, ලියන්නට හිතුණු , එහෙත් බොහෝ කලක් තිස්සේ කල්පනා කරන ලද, යම් අදහසකට ඉඩක් දෙන්න. ජාජබ සහ ජවිපෙ නායකත්ව මණ්ඩලවල හෝ ඒ ආශ්‍රිත මම දන්නා කියන කීපදෙනා සහෝදරත්වයෙන් මතක් කරමින් …..

ලංකාවේ ඉදිරිගාමී සමාජ සංවර්ධනය උදෙසා කළ යුතු වැඩ බොහෝ ඇති බව අපි හැමෝම (සමාන අන්දමට නොවුනත්) යම් යම් ආකාරයෙන් දනිමු. ආණ්ඩුවකට එම දෙන ලද සංදර්භය තුළ කළ හැකි වැඩ ඇත. එහෙත් කළ නොහැකි වැඩද ඇත. සම්ප්‍රදායික වාම දේශපාලන චින්තනයට මෙකී නොකළ හැකි ඉතා තීරණාත්මක වැඩ ගැන සාංකාවක අදහසක් හෝ නොමැති බව හොඳාකාරව දනිමි. ඔවුන්ගේ මුළු දේශපාලනය කැරකැවෙන්නේ හුදෙක් රාජ්‍ය බලය කේන්ද්‍ර කරගෙනය.

මහජන විඥානය සහ සාමුහික පරිකල්පනය පරිවර්තනය කිරීමේ සැබෑ – ගැඹුරු ලෙස – විප්ලවකාරී වැඩභාරය සමාජ ජීවිතයේ සූක්ෂම තලයේ වැඩ කළ හැකි දියුණු ව්‍යාපාරයන්ට අයිති කටයුත්තකි. ඊට රාජ්‍ය බලය අත්‍යවශ්‍යම නැත.

කෙසේ නමුත් රාජ්‍ය බලය හා සමාජ පරිවර්තනය (මහජන විඥානය පරිවර්තනය ) අතර වූ මේ ඓතිහාසික ගැටය සෝවියට් ආණ්ඩුවට හා බෝල්ෂේවික් පක්ෂයට ලිහා ගන්නට නොහැකි විය. මන්ද යත් ඒ කාලයේ (19-20 සියවස්වල මාක්ස්වාදී දේශපාලන සිතීමට අනුව) ඊට උදව් කරන න්‍යායික ප්‍රවේශයක් තිබුණේ නැති බැවිනි. ( මේ අවිද්‍යාවේ ප්‍රතිඵල වශයෙන්, එහි පුරවැසි සමාජය විනාශ විය. මහජනයාගේ නිර්මාණශීලී සමාජ -දේශපාලන ක්‍රියාකාරිත්වය නැති භංග විය. අවසානයේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය සතුව නිතරඟ රාජ්‍යබලය තිබුනද, සෝවියට් දේශය වසර 70 කින් අනතුරුව කිසිදු ප්‍රතිරෝධයකින් තොරව බිඳ වැටින.

තවමත් රුසියානු සමාජය මෙන්ම අවශේෂ පැරණි සෝවියට් කලාපයේ සමාජ සාමකාමී සමාජ සංවර්ධන මාවතින් දුරස්ය. කොටින්ම රුසියාව හා උක්‍රයීනය සහෝදර ඝාතක යුද්ධයක අද කරවටක් ගිලීයන තරමට සිදුවූ විනාශය බැරෑරුම්ය . )

21 සියවසේ නව විප්ලවකාරී සිතීම්වලට අනුව වාම දේශපාලනය හිරවී ඇති අර ඓතිහාසික දේශපාලන ගැටය කැපිය හැකිය. ඊට න්‍යායක් තිබේ. එය මා නම් කරන්නේ සාමකාමී සමාජ සංවර්ධනය නම් කුරුල්ලාගේ තටු දෙකේ න්‍යාය කියායි. එය භාවිතා කිරීමට ප්‍රශස්ත අවස්ථාවක් ලංකාවේ උදාවී තිබේ..ඒ ජාජබ සහ ජවිපෙ නම් එකිනෙක හා බැඳුණු පක්ෂ සංවිධාන දෙකක් කරළියට ඒම නිසාය.. මීට වඩා යමක් මේ ගැන කීමට තැන මේ නොවේ… මා හිතනවා වත්මන් ජවිපෙ නායකත්වයට එය ගැන යම් අවබෝධයක් තිබෙනවා කියා. ඒ කිව්වෙ අර තටු දෙකම එකිනෙකින් යම් පමණින් ස්වායත්තව මෙන්ම දෙකම දෙවිදිහකට සක්‍රියව තබාගන්නට නුවණක් ඔවුන් අනිවාර්‍යයෙන් පාදා ගනී කියා…., අඩු තරමින් තමන් ඉදිරියේ ඇති දේශපාලන අභියෝගය ගැන ඔවුන් මනා සේ දැනුවත් කියා විශ්වාස කරමි.

සුනිල් විජේසිරිවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...