‘බොහෝ කවි ලියවුණේ ඔබටය’ – රංගනී ගීතිකා ප්‍රනාන්දු

Share post:

මිනිස් හදවත් වෙලන, සනහන එමෙන්ම අවුලුවා ලන ගුණය කවියෙහි කැපී පෙනෙනා පාර්ශවයකි. එහෙයින්ම එය බෙහෙවින් පරෙස්සම් සහගත ව්‍යායාමයක්ද විය යුතුය. මේ ව්‍යායාමයෙහිදී කවියෙහි සාර්ථකත්වය තීරණය වනුයේ කවියාගේ ප්‍රකාශනය තුළ දක්නට ලැබෙනා ඉවසිලිවන්තබව, පරිණත බව මෙන්ම දැක්මද මගිනි. අද වන විට අප සිටිනුයේ කවියෙහි ගැඹුර විමසා බලන්නට තරම් වන සරු කවි අස්වැන්නක්ද සමගිනි.

රංගනීගේ කවිය ස්නේහ චාරිකාවක් වැනිය. ඇය තම කවියට විෂය කරගනුයේ ප්‍රේමයේ නෙක පැහැයන්ය. එහිදී ඇගේ බස සංයමයෙන් යුක්තය. විටෙක එය සියුම් සංවේදනයන් දනවන අතර විටෙක පෙම සහ විරහව අතරවන කලාපයේ රසිකයා රඳවා ගනියි. මේ ඇය ප්‍රේමය සහ එහි ඇති බැරෑරුම්බව විමසන ආකාරයයි.

ඇතැම් මල් වෙති
තනිව ආ සේම තනිව නික්ම යන
ලැබීමක තරම මේ යයි දැන හැඳින
ගිලිහෙද්දීත් ප්‍රේමයෙන්ම හිත පුරවාගත්

ප්‍රේමය දෙනු මිසක
ලබන උරුමය නොලද…..

එක් පසෙක සොබා දහමෙහි අසිරියත් ඒ සමගම මනුෂ්‍ය දිවියෙහි බැඳීම් හී සංකීර්ණ බවත් කැටි කරගන්නා මේ කව ජීවිතය දෙස හෙලන සංයමයෙන් යුත් බැල්මක අගය අපට ඉතිරි කරයි.

ඇගේ ඇතැම් කවියකින් වහනය වනුයේ සොබා දහමෙහි අපූර්වත්වය හමුවේ තම තමන්ගේ ආත්මයන්හී පත්ලම ස්පර්ශ කරමින් ආශ්වාදනීය නිමේෂයක අසීමිත වින්දනයක් අත් විඳිනා හදවතෙක පොපියා නැගෙන චමත්කාරයයි. අපි විතරමයි යන්න එවන් කවියකි. එහෙත් ඒ අතර ඇය මදකට සිය මගින් බැහැරව වෙනත් ඉසවුවක්ද තරණය කරයි. එහෙත් එහිද කැටිව ඇත්තේ ආදරයේම තවත් පාර්ශවයකි. අම්මා යනු කවියට වස්තු විෂය බවට පත් අති සුලබ මාතෘකාවකි. සෑම කවි පොතකම පාහේ අම්මා සහ තාත්තා ගැන කවියක් දක්නට ලැබෙයි. එසෙම ඒ කවි නොයෙක් විට එකම කෝණයකින් රචනා වෙන කවි හෙයින් කවියට තිබිය යුතුම අපූර්වත්වයෙන් හීනය. කවියා හට අභියෝගය ඇත්තේද එහිමය. රංගනා අම්මා ගැන ලියන කවිය පරිකල්පනයෙන් පොහොසත් කිවිඳියක ගැන ඉඟියක් සපයයි.

අම්මා බුදුවී දැයි ඇසුවොත්
බදු වී බොහෝ කල් බව පවසමි

කෙලෙස කොහේදැයි ඇසුවොත්
‘ලෝකයම නිවන් යන දිනක් ගැන
පාරමිතා දරනා…..

අවලෝකිතේශ්වර බුදුන් පෙන්වමි

අද අප ජීවත්වනුයේ පාරිභෝජනය හඅර අන් කිසිවක් ගැන සිතන්නට ඉඩක් නැති යාන්ත්‍රික ලෝකයකය. අපේ ජීවිතවල ගෙවෙනා සෑම මොහොතක්ම ගැට ගැසී ඇත්තේ තරගය සමගිනි. අපට එක් මොහොතකට හෝ ඉන් බැහැරවීමට නොහැකිය. ඒ එසේ අපට මගහැරෙනා නිමේෂය විසින් අපට ජීවිතයේ විශාල පදාසයක් අහිමිකරලනු අතැයි අප ත=ළ වන බිය ඉතා දරුනු හෙයිනි. එහෙයින් අපේ සෑම වෑයමක්ම යොමු වනුයේ දිගින් දිගටම පරාජය උරුම වන තරගයකට ගොදුරු බවට පත්වීමටය. රංගනා මේ මිනිසුන් ගැන මෙසේ කියන්නීය.

අපි කුහුඹු මිනිසුන් ය
පමණට වැඩි බර උහුලන
බිඳී කැබලි වූ
කුඩා ප්‍රීතිවීම් අහුලන

ඇය විශ්වාස කරනා ප්‍රේමය යනු බැඳීම වෙනුවට අනෙකාගේ ස්වාධීනත්වය ගරු කරනා අවබෝධාත්මක එළඹුමකි. ඒ පෙම තුළ එකිනෙකාට තම තමන් ලෙස පවතිමින් පෙම් කළ හැකියයි ඇය යෝජනා කරන්නීය. මෙය ප්‍රේමය සම්බන්ධයෙන් ගත් කළ ආකර්ශණීය නොවේ. සැම විටම ප්‍රේමය අනෙකාගේ කැපවීම, යටත්වීම ඉල්ලා සිටින බැවිනි. ප්‍රේමය තුළ තමන් දියව යමින් අනෙකාගේ පැවැත්ම වෙනුවෙන් තම නිදහස බිලිදීම ඉල්ලා සිටින බැවිනි. මේ
රංගනාගේ ප්‍රේමයයි.

ඔබට ඔබ වෙන්න
මට මං වෙන්න
හැකි තැනෙක
අපිට පුළුවන් නවතින්න…..

අහිමි වීමෙහි සංතාපයෙන් දැවෙන්නියකද අපට රංගනාගේ කවි තුළ හමුවෙයි. නමුදු විශේෂත්වය වනුයේ ඇය ඒ අහිමිවීමේ සංතාපය කවියට නගන්නට දක්වන සමත්කමයි. ඇය ඒ වෙනුවෙන් යශෝදරා සහ සිදුහත් අප අභිමුවට කැඳවාගෙන එයි. ඇය යශෝදරාගේ වියෝ දුක සහ වත්මන් දැවෙන්නියගේ දුක සසඳන අයුරු කදිමය.

ඉපදුන හැම ආත්මයකම
සිදුහත්ම පතා ඔහුවම ලබා
සැනසුනු වාර ගණන කොතරම්ද
ඒවාත් ඇති යශෝදරාට
හදාගන්න නම් හිත

නමුදු වත්මනෙහි සියල්ලම අහිමිව ගිය සෙනෙහෙවන්තිය යශෝදරා මෙන් නොවේ.

ඒ වගේද මම

ඉපදුන හැම භවයකම
ඔහු හා එක්ව එක මගක ආ මුත්
එකම එක වරක්වත්
ඔහු හිමි නොවුනකොට
ඇති තරම් සිප ගන්න බැරි වුනකොට

බොහෝ විට ප්‍රේමය යනු ප්‍රදර්ශනයෙන් උත්කර්ෂයට නංවන්නකි. තමන්ගේ ප්‍රේමය අන් අයගේ ඇස් හමුවෙහි තැබීමේ ආශාව වර්තමානය වන විට විවිධ ආකාරයෙන් දිස්වන අතරම එය පෙරලා ධනෝපායන මාර්ගයක් බවටද පත්ව තිබේ. ප්‍රී ෂූට් සංකල්පය මෙහි එක් කූඨයකි. එය මේ වන විට මෝස්තරයක් , තරගයක් මෙන්ම ඇදහිල්ලක් තරම් වන දුරක් ගොසිනි. මේ පෙම් ප්‍රදර්ශන උන්මාදය නූතන තාක්ෂණ ලොවෙහි ඉතා වේගයෙන් අලෙවි වන භාණ්ඩයකි. එහෙත් පෙම යනු එයමද? එහි බර සහ ගැඹුර වටහා ගන්නට තරම් සමාජය පොහොසත්ද?

ප්‍රේමයෙනි කියා පාන්නට
පුබුදුවන්නට ඕනමද මල්?
හිතක යට කොයි තරමද
තදින් බැඳුනාවු මුල්

රංගනා ගේ ස්නේහ චාරිකාවෙහි නතරව කියවන්නට සිත් දෙන නැවතුම් පොලවල් ගණනාවකි. විටෙක ඒ එක් නැවතුම් පලක් අපට ගැඹුරු චින්තාවන්ට

එළඹෙන්නට මගක් සලසයි.
බලමි මම මා දෙසම
අසමි එක් පැනයක්
කෝ
කොහෙද තොටියෙක්?
විනා තනිවුන ඔරුවක්

බොහෝ කවි ලියවුනෙ ඔබටය යනු රංගනාගේ ආදර වන්දනාවේ සිහින් විඳුම් හී දෝංකාරයයි. නිදැල්ලේ වදන් ගලා යන කවි මග වෙනුවට ඇය විශ්වාසය තබන්නී සංක්ෂිප්ත කවි මාර්ගයටය. දැන් ඇය මේ කවි මගෙහි වෙනත් ඉසවු කරාද පිය නැගිය යුතු කාලයයි. ඇගේ කවියෙහි සාර්ථකත්වයට ඒ වෙනස් ඉසවු තරණය කිරීමට ඇති උනන්දුව අත්‍යාවශ්‍ය ය.

චූලානන්ද සමරනායක

Related articles

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...