සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය අහිමි කරලා – අභියාචනාධිකරණයෙන් වසර 5ක් සිරදඬුවම් විඳි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරයි !

Share post:

සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා පුරවැසියකුට ඇති අයිතිය කඩකරමින් කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලද පුද්ගලයකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියෝග කළේය.

2013 අගෝස්තු 11 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් අමුකොටුවේ ගෙදර කමල් නිශාන්ත හෙවත් මහත්තයා නමැත්තකු මෙසේ නිදහස් කර ඇත. මත්කුඩු වර්ගයක් වන …. ග්රෑම් 4.03ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් 1984 අංක 13 දරන විෂ මත්ද්‍රව්‍ය, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

2019 ජුනි 17දා ඔහුට අධිකරණයෙන් ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇති අතර, ඊට එරෙහිව ඔහු අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. මහාධිකරණයේදී පොලිසිය ලබාදුන් සාක්ෂි සහ අභියාචනය ඉදිරිපත් කරන ලද පුද්ගලයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද සාක්ෂි අතර තිබූ බරපතළ පරස්පරතාත්, එහිදී සාක්ෂි සඳහා කැඳවන ලද සිදුවීම වන අවස්ථාව වන විට අවුරුදු 6ක් වූ දැරියකගෙන් මහාධිකරණ විනිසුරුවරයා සිදු කළ ප්‍රශ්න කිරීමත් පිළිබඳව අභියාචනාධිකරණ තීන්දුවේ දීර්ඝ ව විස්තර කර තිබේ. ‘අධිකරණය ඉදිරියේ මේ කතාන්දරය කියන්න කියලා කවුද කිව්වෙ?’ යනුවෙන් විනිසුරුවරයා දැරියගෙන් විමසා ඇති බවත්, කිසිවකු එසේ නොකියූ බව දැරිය පැවසුවද, විනිසුරුවරයා ඇයගෙන් තවදුරටත් ඒ ගැන ප්‍රශ්න කර ඇති බවත් අදාළ තීන්දුවේ සඳහන් ය.

විනිසුරුවරයාගේ ක්‍රියාකාරිත්වය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (3) වගන්තිය මගින් අභියාචකට ලැබී ඇති අයිතිය උල්ලංඝනය කර ඇතැයි ද තීන්දුවේ වැඩිදුරටත් දැක්වේ. එම වගන්තිය මෙසේ ය.

‘වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේද, ඒ තැනැත්තාට නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයකදී පෞද්ගලිකවම හෝ නීතිඥවරයකු මගින් කරුණු කියාපෑමට හිමිකම් ඇත්තේය.’

සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව නැවත නඩු විභාගයක් පැවැත්වීම සඳහා මහාධිකරණයට යොමුනොකරන බවයි. 2013 වසරේදී සිදු වී ඇති මේ සිදුවීමට අදාළ ව 2019 වසරේදී ලබාදුන් තීන්දුවෙන් පසු අභියාචක දැනටමත් වසර 5ක් සිරදඬුවම් විඳ තිබීම ද සැලකිල්ලට ගනිමින්, ඉහත සියලු හේතු මත ඔහු නිදොස් කොට නිදහස් කරන බව තීන්දුවේ දැක්වේ.

Related articles

පරාජිතයා ජයග්‍රාහකයාට හූ කීම!

තමන්ගේ සමස්ත ප්‍රභූ දේශපාලන කඳවුරටම එල්ලවූ මාරාන්තික ප්‍රහාරයෙන් වියරු වැටී හිස හැරුණු අත දුවන, කැඩී බිඳී ගිය දේශපාලන...

සමාජ මාධ්‍ය දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ කුණාටු මැද නොරැවටී සිටීමේ අභියෝගය ජයගැනීම !

තවත් මැතිවරණයක් ඊයේ අවසන් විය.පුළුල් අර්ථයෙන් මැතිවරණයේ නිදහස් සහ සාධාරණ බව සහ සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය හැසිරීමේ හොඳ...

ඡන්ද ප්‍රතිඵලයේ උගත් පාඩම් 01 : NPP ජයග්‍රාහකයකු ලෙස හැසිරිය යුතුය !

වසර හතකට පසුව පැවැති පළාත් පාලන මැතිවරණය අවසන් වූයේ වෙනස් සංවාදයකට අවස්ථාව විවර කරමින් ය. රටේ ප්‍රධාන ම...

තෙලිජ්ජවිල තරුණයකුට වධහිංසා කිරීම : පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනා නීතිපති ඉවත් කරගනී !

තරුණයකුට වධහිංසා කිරීමේ සිදුවීමකට අදාළ ව පොලිස් නිලධාරීන් සිව්දෙනකුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා නැවත පැවරීමට යටත්ව ඉවත් කරගන්නා...