මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතිවිරෝධී සහ ද්වේශ සහගත ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කරලා නෑ – අභියාචනාධිකරණයෙන් තීන්දුවක් !

Share post:

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මීට වසර 12 කට පෙර ලබා දුන් අධිකරණ තීන්දුවක් අනුව ක්‍රියා නොකිරීම අත්තනෝමතික, නීති විරෝධී, අසාධාරණ සහ ද්වේශ සහගත ක්‍රියාවක් බව තින්දු කළ අභියාචනාධිකරණය, මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරිට දැඩිව දෝශාරෝපණය කළේය.

2020 වසරේදී මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා විසින් පුද්ගලයන් 41 දෙනෙකුගේ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් එම පුද්ගලයන් අභියාචනාධිකරණය හමුවේ පවරන ලද නඩුවක තින්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් අද (02) මෙසේ පැවසීය.

පිටු 14කින් යුතු මේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා නියෝග කළේ එම වාහන ඔක්තෝබර් මස 31දාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසයි. එම පෙත්සමේ 17 වන වගඋත්තරකරු වන මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද අභියාචනාධිකරණය නියෝග කළේය.

සිය එකලස් කරන ලද වාහන ලියාපදිංචි නොකිරීම සම්බන්ධයෙන් ආර්.එස්.ජමිල් ඇතුළු පුද්ගලයන් 41 දෙනෙකු එවකට හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ ඇතුළු වගඋත්තරකරුවන් 20 දෙනෙකු නම් කරමින් මේ පෙත්සම 2020 වසරේදී ගොනු කර තිබිණි.

පෙත්සම්කරුවන් පවසා ඇත්තේ එකලස් කරන ලද වාහන ලියාපදිංචි කරන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී ඇති අතර, එවැනි වාහන ලියාපදිංචි කිරීම සඳහා 2016 වසරේ නොවැම්බර් මස 09 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයක් ද ගෙන තිබූ බවයි.

එවැනි නීතිමය පසුබිමක් තුළ තම වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් සඳහන් කර තිබිණි.

එහෙත් එම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙන්නේ එකලස් කරන ලද වාහන 2,250ක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පමණක් බවත් ඒ යටතේ මෙම නඩුකරයට පාදක වන වාහන ලියාපදිංචි කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් ය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා අත්තනෝමතික සහ අනීතික ලෙස අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පෙත්සම්කරුවන්ගේ නීතිමය අපේක්ෂාවන් උල්ලංඝනය වී ඇති බවයි.

එසේම අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වී ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ වාහන ඔක්තෝබර් මස 31දාට පෙර ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට විනිසුරුවරයා නියෝග කළේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ලක්මාල් සූරියගොඩ සමග නීතිඥ සඳමල් රාජපක්ෂ පෙනීසිටියහ.

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...