මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතිවිරෝධී සහ ද්වේශ සහගත ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කරලා නෑ – අභියාචනාධිකරණයෙන් තීන්දුවක් !

Share post:

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මීට වසර 12 කට පෙර ලබා දුන් අධිකරණ තීන්දුවක් අනුව ක්‍රියා නොකිරීම අත්තනෝමතික, නීති විරෝධී, අසාධාරණ සහ ද්වේශ සහගත ක්‍රියාවක් බව තින්දු කළ අභියාචනාධිකරණය, මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරිට දැඩිව දෝශාරෝපණය කළේය.

2020 වසරේදී මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා විසින් පුද්ගලයන් 41 දෙනෙකුගේ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් එම පුද්ගලයන් අභියාචනාධිකරණය හමුවේ පවරන ලද නඩුවක තින්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් අද (02) මෙසේ පැවසීය.

පිටු 14කින් යුතු මේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා නියෝග කළේ එම වාහන ඔක්තෝබර් මස 31දාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසයි. එම පෙත්සමේ 17 වන වගඋත්තරකරු වන මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද අභියාචනාධිකරණය නියෝග කළේය.

සිය එකලස් කරන ලද වාහන ලියාපදිංචි නොකිරීම සම්බන්ධයෙන් ආර්.එස්.ජමිල් ඇතුළු පුද්ගලයන් 41 දෙනෙකු එවකට හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ ඇතුළු වගඋත්තරකරුවන් 20 දෙනෙකු නම් කරමින් මේ පෙත්සම 2020 වසරේදී ගොනු කර තිබිණි.

පෙත්සම්කරුවන් පවසා ඇත්තේ එකලස් කරන ලද වාහන ලියාපදිංචි කරන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී ඇති අතර, එවැනි වාහන ලියාපදිංචි කිරීම සඳහා 2016 වසරේ නොවැම්බර් මස 09 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයක් ද ගෙන තිබූ බවයි.

එවැනි නීතිමය පසුබිමක් තුළ තම වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් සඳහන් කර තිබිණි.

එහෙත් එම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙන්නේ එකලස් කරන ලද වාහන 2,250ක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පමණක් බවත් ඒ යටතේ මෙම නඩුකරයට පාදක වන වාහන ලියාපදිංචි කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් ය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා අත්තනෝමතික සහ අනීතික ලෙස අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පෙත්සම්කරුවන්ගේ නීතිමය අපේක්ෂාවන් උල්ලංඝනය වී ඇති බවයි.

එසේම අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වී ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ වාහන ඔක්තෝබර් මස 31දාට පෙර ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට විනිසුරුවරයා නියෝග කළේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ලක්මාල් සූරියගොඩ සමග නීතිඥ සඳමල් රාජපක්ෂ පෙනීසිටියහ.

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...