Marlon Brando අම්මා මට කියාදුන් ගී

Share post:

ඇමරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ඕමාහා නගරයේ ගොවිපළක් සහිත කුඩා නිවසක, ඉතා සාමාන්‍ය මාපිය යුවළකට දාව, සහෝදරියන් දෙදෙනෙකුට පසුව උපන් එක් කොලුගැටයෙකු සිටියා. කුඩාකාලෙ පටන් තිබුණු හිතුවක්කාරී ගති ගුණ නිසා මේ කුඩා කොලුවා දැඩි විනයක් සහිත හමුදා පාසලකට ඇතුළත් කරන්න ඔහුගේ මාපියන් තීරණය කරනවා. නමුත් එතැන කොහෙත්ම ඔහුට ගැළපෙන තැනක් වුණේ නෑ. ඒ නිසා එතනිනුත් ඔහුව පිටමං කෙරෙනවා. ජීවිතේ යෞවනත්වයට පත්වීම එක්ක ඔහු නිව්යෝක් රංගන පාසලට ඇතුළත් වෙන්නෙ ලොකු බලාපොරොත්තුවක් නැති ව. නමුත් ඔහු අවසානෙ නතරවෙන්නෙ ලොව මෙතෙක් බිහිවුණු අග්‍රගන්‍යම නළුවෙකු බවට පත්වෙමින්. ඔහු තමා මාලන් බ්‍රැන්ඩෝ. Songs my mother taught me කියන්නෙ බ්‍රැන්ඩෝ ගේ ජීවිත පුවත ඇතුළත් ඔහුගෙ චරිතාපදානය. එය සිංහලට පරිවර්තනය වෙන්නෙ “අම්මා මට කියාදුන් ගී” නමින්. පරිවර්තනය සිදුකරන්නෙ ලංකාවේ සිටින විශිෂ්ටතම කැමරා ශිල්පියෙකු විදිහට සැලකෙන එම්. ඩී. මහින්දපාල මහත්මයා විසින්. පොත කියවා බලද්දී වැටහෙන දෙය තමා මාලන් බ්‍රැන්ඩෝ කියන්නෙ හුදෙක්ම නළුවෙකුට එහා යන වටිනාකමක් ඇති සුවිශේෂ මිනිසෙක් බව.

රඟපෑම කියන්නෙ කොයිතරම් දුෂ්කර වෙහෙසකාරී කටයුත්තක් ද කියන දේ ගැන ඊට සම්බන්ධ නොවුණු, අඩුවශයෙන් පිරිසක් ඉස්සරයක් යම් ඉදිරිපත් කිරීමක් නොකළ කෙනෙකුට වටහාගන්න හැකියාවක් නැහැ. මාලන් බ්‍රැන්ඩෝ තම චරිතාපදානයෙදි ඒ ගැන සඳහන් කරමින් කියන්නෙ A Streetcar Named Desire නාට්‍යයෙදි දවසට කීපවතාවක්ම එකම වේදිකාවේ නැවත නැවතත් පිඟන් කෝප්ප පොළවේ ගසමින් ආවේගශීලීව රඟපෑමට සිදුවීමෙන් හට ගත්ත භාවමය වෙහෙස නිසා මානසිකව පීඩාවට පත් ව වෛද්‍ය ප්‍රතිකාර ගන්න පවා තමන්ට සිදුවුණු බව. බ්‍රැන්ඩෝ අනුගමනය කළ Method Acting නැති නම් චරිතාංග රංගන ක්‍රමය මෙවැනි ආකාරයෙ බොහොම මානසික ශ්‍රමයක් කැප කළ යුතු දුෂ්කර ව්‍යායාමයක් බවයි ප්‍රකට. බ්‍රැන්ඩෝ රංගනයට පිවිසෙන 1940 යුගයේදි මේ රංග ක්‍රමය ඒ තරම් සාර්ථක යමක් විදිහට සැලකුණේ නෑ. ඒ යුගයේදි රඟපෑම විදිහට සැලකුණේ නළුවෙක් හෝ නිළියක් තම පෞරුෂත්වය භාවිත කරමින් කරන ඉදිරිපත් කිරීමට මිස ඔහු හෝ ඇය මුළුමනින්ම අදාළ චරිතයට අනුගතවීම නොවෙයි. ඒ සමයේ දි නිව්යෝක් රංගන පාසලට ඇතුළත් වුණු මාලන් බ්‍රැන්ඩෝ නම් යෞවනයාට චරිතාංග රංගනය හදාරන්නට ලැබෙන්නෙ ස්ටෙලා ඇඩ්ලර් නම් ගුරුවරිය හරහායි. ස්ටෙලා යුරෝපයේ ස්ටැනිස්ලොව්ස්කි වැනි නාට්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් යටතේ පුහුණුව ලැබූ තැනැත්තියක්. ඇය ඇමරිකාවට පැමිණ තමන් උගත් ශිල්පය එහි නාට්‍ය කලාව හදාරන තරණ තරුණියන්ට කියාදුන්නා. පසුව ඇමරිකානු සිනමාවේ විශාල වෙනසක් සිදුවෙන්න ඇගේ මැදිහත් වීම බලපෑමක් කළ බව බ්‍රැන්ඩෝ කියනවා. බ්‍රැන්ඩෝ නිව්යෝර්ක් රංගන පාසැල විසින් බිහිකළ දීප්තිමත්ම ශිෂ්‍යයෙක් වුණා. ඔහුගෙ මුල් යුගයේ On the Waterfront වැනි චිත්‍රපටියක කළ රඟපෑම කොයිතරම් විශිෂ්ට එකක් ද කියනවා නම් චරිතාංග රංගනය හඳුන්වාදෙන්න එය උදාහරණයක් ලෙස භාවිතයට ගැනෙනවා. (පොතේ කවරයේ තිබෙන පින්තූරය). මේ අනුව මාලන් බ්‍රැන්ඩෝ එක්තරා ආකාරයට කලාවේ යුග පුරුෂයෙක් සහ අද ඇමරිකානු සිනමාවෙ ඉහලින්ම ඉන්නා ලියනාඩො ඩිකැප්‍රියෝ, වකීන් ෆීනික්ස්, ක්‍රිස්ටියන් බේල් වැනි අයගෙ ආදි පීතෘවරයෙක් විදිහටත් සැලකිය හැකියි.

නමුත් මාලන් බ්‍රැන්ඩෝ ගෙ කාර්‍යභාරය රංග භූමියට පමණක් සීමාවුණු එකක් වුණේ නෑ. සමාජ ක්‍රියාකාරිකයෙක්, සමාජයෙ පීඩාවට ලක්වූ ජනකොටස් වල මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණු පුද්ගලයෙක් විදිහට ඔහු වැඩිපුර හැදෑරීමට ලක්විය යුතු චරිතයක්. විශේෂයෙන්ම ඇමරිකාව තුළ රතු ඉන්දියානුවන්ට, කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණ කම් වලදී ඔහු එම ජනකොටස් වෙනුවෙන් පෙනී සිටියා. මාටින් ලූතර් කිං ඔහුගෙ සුප්‍රකට I have a dream නම් කතාව සිදුකරන විට ලූතර් කිං ට පසෙකින් සිටියේ මාලන් බ්‍රැන්ඩෝ. නමුත් පසුව ලූතර් කිං ට වෙඩි තබා මරා දැමුණා. ඇමරිකාව ජර්මනියෙ නාසි වාදීන්ගේ යුදෙව් සංහාරයන්‍ට එරෙහිව, වියට්නාමයෙ කොමියුනිස්ට් පාලනයට එරෙහිව යුධ වැදුනත් ඔවුන් තමන්ගෙ භූමියෙ සැබෑ උරුමක්කාරයන් වුණු රතු ඉන්දියානුවන් ආගම නොඅදහන ම්ලේච්ඡයන් යයි සලකා ඔවුන් විනාශ කර දමා ඔවුන්ගෙ ඉඩම් අත්පත් කර ගත්තා. ඒ අනුව නාසිවාදය කරපින්නා ගත් ජර්මන් ජාතිකයන් සහ දේව ධර්මය පෙරට දමාගෙන ඉඩම් කොල්ලකාගත් ඇමරිකානුවන් යනු එකම කාසියක දෙපැත්තක් මිස වෙනත් යමක් නොවන බව හොඳාකාරවම පැහැදිලි වෙනවා. බ්‍රැන්ඩෝ ඇමරිකානුවන්ගෙ මේ කෲර කම් විවේචනය කළා. ඉන්දියානුවන් ආයුධ අතට ගෙන ඇමරිකානු රජය හා ගැටෙද්දි බ්‍රැන්ඩෝ ඉන්දියානුවන්ගෙ පැත්තෙන් හිටගත්තා. බ්‍රැන්ඩෝ සම්බන්ධ වඩාත් ම ප්‍රකට සිදුවීම වුණේ Godfather චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලැබුණු විට ඔහු එය ප්‍රතික්ෂේප කරීම. මේ සිද්ධිය වෙනම ලිවිය යුතු යමක් නිසා ඒ ගැන පසුවට කියන්නම්. කොහොමත් ඔහු මේ සම්මාන සැනකෙළි වලින් බැහැරව සිටි කෙනෙක් වුණා. ජනප්‍රිය හොලිවුඩ් සිනමාව ඔහු තදින්ම විවේචනය කළා. ජීවිතේ සැඳෑ සමය ළංවෙදී ඔහු වඩාත් ප්‍රිය කළේ පැසිෆික් සාගරයේ තහිටි නම් දූපත් සමූහය අතරින් ඔහු මිලදී ගත් එක දූපතකට ව සොබාදහමට කිට්ටුව නිහඬ නිසංසල ජීවිතයක් ගතකරන්න. බ්‍රැන්ඩෝ මධ්‍යවේදි රොබට් ලින්ඩ්සේ ගෙ සහය ඇති ව රචනා කළ ඔහුගෙ චරිතාපදානය ලියවෙන්නෙ බ්‍රැන්ඩො ගෙ ජීවිතේ අවසන් දශකය කිට්ටුවෙදි. නෙබ්‍රස්කා හි කුඩා දරුවෙකු විදිහට ඇති දැඩි වූ යුගයේ පටන් නිව්‍ යෝක් නගරයට පැමිණ රංගශිල්පියෙකු වීම, ඉන්පසු ජනප්‍රියත්වයට පත්වීම, කාන්තාවන් සමග තිබූ සමහර සම්බන්ධකම්, වැදගත් සමාජ මැදහත්වීම් වැනි දේ ගැන මේ කෘතියෙ හරහා මාලන් බ්‍රැන්ඩෝ ලෝකයට ප්‍රකාශ කරනවා. තමන් නියැලුණු කලාවේ අග්‍රස්ථානයට පැමිණි පුද්ගලයෙක් විදිහටත් සමාජයෙ ලෝකයෙ යහපත වෙනුවෙන් තමන්ට හැකි පමණින් යමක් කරන්න දිවිය පුරා වෙර දැරූ මනුෂ්‍යයෙකු විදිහටත් ඔහුගෙ සිතුවිලි අප හැම කෙනෙකුම කියවා බලන්න වටින බව මම හිතනවා. විශේශයෙන් මේ පහතින් උපුටා දක්වන, පොත අවසානය වෙද්දී ඔහු පළ කරන අදහස් අප හැමෝටම අප ගෙවනා ජීවිත ගැන හිතාබලන්න යමක් ඉතිරි කරනවා.

“ජීවන දැක්ම අතින් මම වඩාත් සමීපතාවක් දැක්වූයේ ඇමරිකානු රතු ඉන්දියානුවන්ටයි. මම ඔවුන්ට අනුකම්පා කළෙමි. මම ඔවුන්ගේ සංස්කෘතිය අගය කළ අතර ඔවුන්ගෙන් බොහෝ දේ උගත්තෙමි. යුදෙව්වන් නිසා මනස විවෘත කර ගැනීමටත්, දැනුම සහ ඉගෙනීමේ අගය අවබෝධ කර ගැනීමටත් මට හැකිවිය. එසේම කළු ජාතිකයින්ගෙන් මම බොහෝ දේ ඉගෙනගත්තෙමි. ඒ සියල්ලන්ටම වඩා පොලිනීසියානුවෝ මගේ ජීවිතයට බොහෝදේ එක් කළෝය. ඒ ඔවුන් ජීවත් වූ සරල ක්‍රමවේදය නිසයි…

මුල්වරට ෂැටූක් පුස්තකාලයේ දී National Geographic සඟරාවේ පිටු පෙරළද්දී තහිටි දූපත් පිළිබඳව මගේ අවධානය යොමු වූයේ එහි ජීවත්වූ වැසියන්ගේ මුහුණුවල තිබූ අපූරු පිළිබිඹුව නිසයි. ඒ සියල්ල සතුටු මුහුණු ය. එහි ජීවත්වීම හරහා මා අවබෝධකොට ගත්තේ ඔවුන් මේ මිහිපිට ජීවත්වන ප්‍රීතිමත්ම ජනකොට්ඨාසය බවයි..

අපට සුවිසල් ගෙවල්, යානවාහන, හොඳ වෛද්‍ය පහසුකම්, ජෙට් යානා, දුම්රිය හා මොන්රෝල් යානා ද ඇත. එසේම පරිඝණක, යන්ත්‍ර සූත්‍ර, සන්නිවේදන පහසුකම් වැනි කොතෙක් සුඛෝභෝගී පහසුකම් ද ඇත. එහෙත් සාර්ථක සමාජයක් නම් ප්‍රීතිමත් මිනිසුන් බිහිකළ යුතු වේ. මගේ අදහසේ හැටියට අපේ රටේ ජීවත්වන්නේ මහ පොළොව මත සිටින අවාසනාවන්තම ජන කොට්ඨාසයයි. මම ලෝකයේ බොහෝ රටවලට ගොස් ඇත්තෙමි. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ තරම් අසතුටින් ජීවත්වන ජනකායක් මම වෙනත් කිසිදු රටක දැක නැත්තෙමි. අපට බොහෝ දේ ඇත. එහෙත් අප තුළ කිසිවක් ඉතිරිව නැත. එබැවින් නිතරම අපට තවත් දේ අවශ්‍යවේ. ප්‍රීතිමත් මිනිසුන් බිහිකිරීමට අපි අසමත් වී සිටිමු. අපේ ජීවත්වීමේ පරමාදර්ශය බවට පත්ව ඇත්තේ භෞතික සම්පත් එක්‍ රැස් කිරීම මිසක ජීවත්වීමේ ආස්වාදය නොවේ….

ඇතැම් උදවිය මා පිළිබඳව කියන කතාවක් නම්, “ඇයි මාලන් ඇමරිකාව මේ තරම් පහත්කොට කතා කරන්නේ? ඔයාට මේ රටේ දි නරකක් වෙලා නැහැ නේද?” යන්නයි.

ඔව් ඇමරිකාව මට හොඳක් කර තිබෙන බව ඇත්ත. එහෙත් එය මට බන්දේසියක තබා ලබා දුන් දෙයක් නොවේ. ඒ සියල්ල මා ලැබුවේ දහදුක් විඳිමින්, මගේ දහඩිය මහන්සිය හා ශ්‍රමය කැපකිරීමෙනි…. නිවැරදි අවස්ථාවන් මට හමු නොවිනි නම්, මට වාසනාවක් නොතිබුණි නම් මා කවරෙකු වීමට ඉඩ තිබුණේදැයි මම නොදැනිමි…. එසේ නොවූවා නම් කර්මාන්ත ශාලාවක කම්කරුවෙකු සේ ඒකාකාරී ජීවිතයක් ගෙවීමට මට සිදුවනු ඇත. එසේ වී නම් දරු තිදෙනෙකුගේ පියෙකු වීමෙන් පසු අවුරුදු 50 හෝ 55 පමණ වන විට පෙරදින එකතු කළ කුණු මල්ලක් සේ මා ඉවතට විසිකර දමනු නියත ය. මෑත යුගයේදි බොහො ඇමරිකානුවන්ට සිදුවූයේ එයයි. එවැන්නක් තහිටිවල සිදුවන්නේ නැත. එයට හේතුව එය පන්ති විරහිත සමාජයක් වීම නිසයි.”

  • Songs my Mother Taught Me
  • Marlon Brando
  • අම්මා මට කියාදුන් ගී
  • පරිවර්තනය : එම්. ඩී. මහින්දපාල
  • ප්‍රකාශනය : සේරි ප්‍රකාශන

Hashan Randika Dias

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...