ජේ.ආර්.ගේ උපන් දිනයේ සිට ගෝඨාගේ පළායෑම දක්වා ජනාධිපතිවරණ ඉතිහාසයේ වෙනස් තැන් !

Share post:

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1982 ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවූයේ ඔහුගේ උපන් දිනය දවසේ ය. ඒ, සැප්තැම්බර් 17දා ය. නියමිත කාලයට වසර 02කට පෙර කැඳවූ මේ මැතිවරණයෙන් ජේ.ආර්. උඩින්ම දිනුවේය. ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනප්‍රිය අපේක්ෂකයා වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇය ගෙදර තබා ය, ජේ.ආර්. ඡන්දය කළේ.

1988 ජනාධිපතිවරණය පැවැත්වූයේ ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කිරීමෙන් පසුව ය. මේ මැතිවරණයේදී ඡන්ද පොළවල් 207ක ඡන්ද පෙට්ටි එක ඡන්ද පත්‍රිකාවක් හෝ නොමැතිව ආපසු එවා තිබූ බව එවකට මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාවක දැක්වේ. පැවැති භීෂණ තත්ත්වය නිසා ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්දය පැවැත්වීමට නොහැකි විය.

1994 ජනාධිපතිවරණයට නොම යෝජනා බාරගත්තේ ඔක්තෝබර් 07දා ය. එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බාරදුන් ගාමිණී දිසානායක කොළඹ, තොටලග පැවැති රැළියකදී ඔක්තෝබර් 24දා ඝාතනය කෙරිණි. ඒ වෙනුවට ඔහුගේ බිරිඳ ශ්‍රීමතී දිසානායක අපේක්ෂකයා කෙරිණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග තරග කළේ ශ්‍රීමතී ය. 2024 ජනාධිපතිවරණයට ලංකා ඉතිහාසයේ වැඩිම ජනාධිපති ධුර අපේක්ෂකයන් සංඛ්‍යාව ඉදිරිපත් වී තිබේ. ඒ ගණන 39කි. එහෙත් එහි එක් කාන්තාවක් හෝ නැත.

1999 දෙසැම්බර් 19දා කොළඹ නගර සභා පිටියේ පැවැති අවසාන ප්‍රචාරක රැළියේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ දකුණු ඇසට සහ හිසට තුවාල සිදු විය. දෙසැම්බර් 21දා පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා ජයග්‍රහණය කළාය.

මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර තරගයක් වූ 2005 ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්ද තීරණාත්මක සාධකය විය. උතුරේ ඡන්ද නොවැටුණු නිසා මහින්ද ජයග්‍රහණය කළ අතර, 2010 වසරේදී සරත් ෆොන්සේකා සහ මහින්ද රාජපක්ෂ අතර තරගයෙන් ද මහින්ද ජයග්‍රහණය කළේය. ඒ මැතිවරණය හැඳීන්වූයේ කොම්පියුටර් ජිල්මාට් මැතිවරණය ලෙසයි. ඊට හේතු වූයේ එහි ප්‍රතිඵල පරිගණක ආධාරයෙන් වෙනස් කළ බවට සමාජයේ ඇති වූ මතයයි.

2015 වසරේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රිපාල සිරිසේන කිව්වේ තමන් මහින්ද රාජපක්ෂ සමග පෙර දිනයේ ආප්ප කා කෝපි බී පැමිණි බවයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෛත්‍රී ආප්පයකට රුපියල් 10ක මිලක් නියම කළේය. එහි තිබූ තවත් විශේෂත්වයක් වූයේ මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් මෛත්‍රිපාල සිරිසේනගේ හැඩරුව ඇති පුද්ගලයකු තමන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදාගැනීමයි. කෙසේ වෙතත් එකට ආප්ප කෑ මහින්ද ව 2018 ඔක්තෝබර් 26දා අගමැති කරන්නට ද මෛත්‍රී කටයුතු කළේය. එවකට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පැවසුවේ මෙය 2018 මාර්තු මාසයේ කරන්නට උත්සාහ කළද, තමන් ඇතුළු කිහිපදෙනෙකුගේ බලකිරීම මත එය වැළකුණු බවයි. වැඩේ සිදු වන විට ඔස්ටින් සිටියේ ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් ය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය 2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපෑවේය. ජනතාවට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ අනතුරක් ඇති වූ බවක් පෙනෙන්නට තිබූ අතර, ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 05කට පසු ගෝඨාභය රාජපක්ෂ රොයිටර් පුවත් සේවයට පැවසුවේ තමන් ජනාධිපතිවරණයට තරග කරන බවයි. ගෝඨාභයගේ ජනාධිපති ධුර කාලය 2022 ජූලි 14 වැනිදායින් අවසන් වූ අතර, අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්වූයේ රනිල් වික්‍රමසිංහ ය.

Related articles

‘ශ්‍රී ලංකාවේ අභිවහන කවි කලාව’ – රන්දික රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ අභිවහන කවි කලාවේ ඉතිහාසය හා වර්තමාන භාවිතය නම් මේ කෘතිය අද මා අතට පත් වුණා. ඒ...

ඡායාරූප ශිල්පී යූසුෆ් කාර්ෂ් ගේ වින්ස්ටන් චර්චිල් හෙවත් ”ගොරවන සිංහයා” නැවත හමුවේ

⁣කොවිඩ් වසංගත සමය පැවති 2022 අගෝස්තු මාසයේදී, කැනඩාවේ ඔටාවා හි ෆෙයාර්මොන්ට් චැටෝ ලෝරියර් හෝටලයේ ආලින්දයෙන් සොරකම් කළ බවට...

සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය අහිමි කරලා – අභියාචනාධිකරණයෙන් වසර 5ක් සිරදඬුවම් විඳි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරයි !

සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා පුරවැසියකුට ඇති අයිතිය කඩකරමින් කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම...

‘බොහෝ කවි ලියවුණේ ඔබටය’ – රංගනී ගීතිකා ප්‍රනාන්දු

මිනිස් හදවත් වෙලන, සනහන එමෙන්ම අවුලුවා ලන ගුණය කවියෙහි කැපී පෙනෙනා පාර්ශවයකි. එහෙයින්ම එය බෙහෙවින් පරෙස්සම් සහගත ව්‍යායාමයක්ද...