රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා : මැතිවරණ කොමිසමට පුංචි ඡන්දය තියන්න සැලසුමක් තිබිලා නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි !

Share post:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට අත්තනෝමතික සහ නීතිවිරෝධී ලෙස කටයුතු කිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළේය.

ජනාධිපතිවරයාට අමතරව එවකට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ව සිටි නිමල් පුංචිහේවා ඇතුළු එම කොමිසමේ සාමාජිකයන් ද මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත්, ඔවුන්ට මැතිවරණය පැවැත්වීමට සැලසුමක් තිබී නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

2023 මාර්තු 09දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ ඡන්ද බලය ද අයත් අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම ඇතුළු අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන්නැයි පෙත්සම් 04ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබිණි. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳූන්නෙත්ති, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මේ පෙත්සම් ගොනුකර ඇත.

මේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි. එසේම පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 බැගින් වන්දි ගෙවන ලෙස ද තීන්දුව මගින් රජයට නියෝග කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) යටතේ සහ 12(1) යටතේ ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් විධායකය නියෝජනය කරන නීතිපතිවරයා ද වගකිවයුතු බව සිය තීන්දුව මගින් දක්වා ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ බවට කරුණු කිසිවක් නොමැති නිසා භාණ්ඩාගාර ලේකම්වරයා මීට වගකිවයුතු නැතැයි ද තීන්දු කර තිබේ. ලේකම්වරයා කටයුතු කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ සහ මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් අනුව බව ද එහි දැක්වේ.

එසේ ම ඇමැති මණ්ඩලය, පොලිස්පතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපතිවරයා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අනෙකුත් වගඋත්තරකරුවන් මැතිවරණය නොපැවැත්වීමට වගකිව යුතු නැතැයි ද තීන්දුවේ සඳහන් ය.

සමගි ජන බලවේගය වෙනුවෙන් නීතිඥ නිහාල් ප්‍රනාන්දු සහ නීතිඥ ලක්මාල් සූරියගොඩ සමග ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මෙහිදී පෙනීසිටි අතර, ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැච් පෙනීසිටියේය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයාත්, පැෆ්රල් සංවිධානය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ හස්තික දේවේන්ද්‍රත් පෙනීසිටි අතර, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් වෙනුවෙන් නීතිඥ අංජන රත්නසිරි ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනීසිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් මෙහිදී රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර සමග අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරීන් පුල්ලේ පෙනීසිටියේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...