දේශපාලන නාටක වෙනුවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය විමර්ශනයක් කළ හැක්කේ කෙසේද?

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවූයේ 2019 අප්‍රේල් 21දා ය. ඒ, මීට වසර පහකට පෙර ය. එම ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර, වරින්-වර එහි මහ මොළකරුවන් බව පවසමින් විවිධ චරිත පිළිබඳව මාධ්‍ය වාර්තා පළ විය. කෙසේ වෙතත් ජනතාව අතර මෙහි විමර්ශන පිළිබඳව සැකයක් ඇති වූයේ දේශපාලන වාසි වෙනුවෙන් විවිධ අදහස් සමාජගත කිරීමේ ව්‍යාපෘති නිසා ය.

දැන් යළිත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කතාබහක් ඇති වී තිබෙන්නේ ප්‍රධාන මැතිවරණයක් නැතහොත් රටේ රාජ්‍ය නායකයා තෝරාගැනීමේ මැතිවරණය පැවැත්වීමට නියමිත පසුබිමක ය. සමාජ හා සාමයික කේන්ද්‍රය වැනි පාර්ශ්ව ජනාධිපති ධුර අපේක්ෂකයන්ට මේ ප්‍රහාරය පිළිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කොට ඇත. ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ ප්‍රහාරයේ විමර්ශන සහ ඉදිරි කටයුතු පිළිබඳ තමන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුළත් කරන ලෙසයි.

2024 අගෝස්තු 21දා, එනම් තවත් 21 වැනිදාවක් වූ ඊයේ මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් වැරදිකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ වින්දිතයන්ට වන්දි ගෙවන ලෙසයි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට ගෙවන ලෙස නියෝග කළ රුපියල් මිලියන 100ක වන්දිය ඔහු විසින් ගෙවා අවසන් කර තිබේ. මීට පෙර නඩු වාරයේදී එම වන්දිය ගෙවීමට හිටපු ජනාධිපතිවරයා විසින් යම් කාලයක් ඉල්ලා සිටියද, අධිකරණයෙන් ඊට අවස්ථාව ලබාදුන්නේ නැත. අධිකරණය නියෝග කළේ 31දාට පෙර එම වන්දි ගෙවා අවසන් කළ යුතු බවයි.

අදාළ පාර්ශ්ව විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ මුලින්ම දැක්වෙන්නේ එම ප්‍රහාරය පිළිබඳ සිදු කළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කරන ලෙසයි. ඔවුන් විමර්ශන වාර්තා ලෙස මෙහි සඳහන් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළ වාර්තා නොවේ. එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටු සහ කොමිෂන් සභා වාර්තා ය. එසේ පත්කළ කමිටු සහ කොමිෂන් සභා 03කි. විජිත් මලල්ගොඩ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව, ජනක් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යනු එසේ ඔවුන් විසින් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සිටින වාර්තා වේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අදාළ සාක්ෂි සහ අවසන් වාර්තාව ද ඇතුළත් සියලු වෙළුම් මේ වන විටත් සැලකිය යුතු අන්දමින් ප්‍රකාශයට පත්කර තිබේ. එහෙත් ඒවායෙහි සඳහන් වන්නේ මොනවාද යන්න ජනතාව දන්නේද යන්න සහ ජනතාවට එම වාර්තා පහසුවෙන් පරිශීලනය කළ හැකිද යන්න ගැන වෙන ම සංවාදයක් අවශ්‍ය වේ. විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ප්‍රසිද්ධ කර තිබේ. එහෙත් එහි සාක්ෂි, සටහන් ඇතුළු අනෙකුත් වෙළුම් ප්‍රසිද්ධ කර නැත. අත්‍යවශ්‍ය ඇතැම් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබානොගැනීම ඇතුළු සාක්ෂි ලැයිස්තුවේ සිටි පිරිස් අත්හැරීම පිළිබඳ දැනටමත් චෝදනා එල්ල වී තිබේ. එහි කොටසක් හැර ඉතිරි කොටස් පාර්ලිමේන්තුවට ලබාදුන් බව ප්‍රසිද්ධ කෙරුණද, ඒවා පරිශීලනය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කීදෙනෙකු ද යන්න ගැටලුවකි. පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති එම වෙළුම් පරීක්ෂා කිරීමට පිටස්තර පුද්ගලයන්ට අවසර නැත.

අදාළ පාර්ශ්ව විසින් ජනාධිපති ධුර අපේක්ෂකයන්ට ලබාදී ඇති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ යෝජනා මාලාවේ ඇති තවත් කරුණක් වන්නේ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට පූර්ණ බලැති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කිරීමයි. කමිටු සහ පරීක්ෂණ කොමිෂන් සභා 03කින් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද මේ පිළිබඳ විමර්ශන සිදු කළත්, මගහැරුණු කරුණු රැසක් ඇතැයි අදාළ පාර්ශ්ව ජනාධිපති ධුර අපේක්ෂකයන්ට පෙන්වා දී තිබේ. ඔවුන් එහිදී විශේෂයෙන් සඳහන් කර ඇති කරුණු අතර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී සාක්ෂි මගින් අනාවරණය වූ ඇතැම් වැදගත් කරුණු අවසාන වාර්තාවේ සඳහන් නොවීමත්, නවුෆර් මවුලවි වැනි වැදගත් සහ මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු ඇමැති සරත් වීරසේකර විසින් ප්‍රහාරයේ මහ මොළකරුවකු ලෙස හැඳීන්වූ පුද්ගලයන්ගෙන් ද සාක්ෂි ලබාගෙන නොමැති යැයි වාර්තාවීමත් තිබේ.

මේ හේතු නිසා අනාවරණය වී ඇති නව කරුණු සහ අනෙකුත් අඩුපාඩු මගහරිමින් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා පූර්ණ බලැති කොමිෂන් සභාවක් පත්කරන බව ජනාධිපති ධුර අපේක්ෂකයන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුළත් කළ යුතු යැයි අදාළ පාර්ශ්ව යෝජනා කර ඇත. එය තවත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් වුවහොත්, නැවතත් එහි වාර්තාව ලබාදෙනු ලබන්නේ ජනාධිපතිවරයාට ය. ඉන්පසු ඊට අදාළ ව කටයුතු කිරීමේ උපදෙස් ජනාධිපතිවරයා විසින් ය, නීතිපතිවරයා වෙත ලබාදිය යුත්තේ. තැනට පවතින නීතියට අනුව එවැනි තත්ත්වයකදී යළිත් විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවිය හැකි යැයි ඔවුහු පෙන්වා දෙති.

එම නිසා දේශීය සහ විදේශීය විශේෂඥයන්, අපක්ෂපාතී විනිසුරුවරුන්, නීති විශාරදයන්, පළපුරුදු විමර්ශකයන් ඇතුළත් කර, නීති සංශෝධන මගින් ඊට අදාළ බලතල පවරන ලද කොමිෂන් සභාවකට මෙහි පරීක්ෂණ බාරදිය යුතුයැයි යන්න ඔවුන්ගේ මතයයි. මේ විමර්ශන පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇතිවීමට මේ කරුණ අතිශයින් වැදගත් ය. දැනටමත් ජනතාව අතර ඇති වී තිබෙන මතය වන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීම කිසිදිනෙක කළ නොහැකි වැඩක් බවයි. හැකි සෑම අවස්ථාවකදී ම මේ සාක්ෂි විමසීම් ජනතාවට සජීවී ව දැකගත හැකි ආකාරයට සිදු කිරීමේ වැදගත්කම ද ජනාධිපති ධුර අපේක්ෂකයන්ට අවධාරණය කර ඇත. එහිදී රහසිගත සහ සජීවී ව විකාශය කළ නොහැකි සාක්ෂි සැඟවිය හැකිය. එහෙත් ඒවාට ද හේතු කී විට ජනතාවට පිළිගැනීමට සිදු වේ. විනිවිදභාවය යනු එයයි.

මේ ප්‍රහාරයේ විමර්ශන කටයුතු සඳහා ස්ථිර විමර්ශන කාර්යාලයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද ඔවුන් විසින් අවධාරණය කර ඇත. දෙහිවල ට්‍රොපිකල් ඉන් බෝම්බය හැර අනෙකුත් සියලු බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. එම විමර්ශන මුලින්ම ආරම්භ කළේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරයි.

දෙහිවල බෝම්බය පිළිබඳ විමර්ශන සිදු කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයයි. ඉන්පසු අදාළ නිලධාරීන් දෙදෙනා ඇතුළු මූලික විමර්ශන සිදු කළ සියලු නිලධාරීන් ප්‍රහාරයේ විමර්ශනවලින් ඉවත් කෙරිණි. මේ වන විට ප්‍රහාරය සම්බන්ධයෙන් මහාධිකරණවල සැකකරුවන් 90කට අධික පිරිසකට නඩු 41ක් පවරා ඇත. එම නඩු සහ චෝදනා පිළිබඳ ව නැවත සමාලෝචනයක් කළ යුතුයැයි ද අදාළ පාර්ශ්ව ජනාධිපති ධුර අපේක්ෂකයන්ට යෝජනා කර සිටී.
මීළඟට ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති වැදගත්ම කරුණක් වන්නේ වින්දිතයන්ට සාධාරණ ලෙස සහන සැලසිය යුතු බවයි. එය ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුළත් කළ යුතු බවයි. එම සහන සැලසීම ආර්ථික, සමාජයීය සහ මානසික යන ක්ෂේත්‍ර 03ට ම අදාළ විය යුතුය. වින්දිතයන්ට සහන සැලසීමේදී හානි පූර්ණ කාර්යාල පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති මාර්ගෝපදේශත්, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතත් යොදාගත හැකි බවත්, ඊට අවශ්‍ය නීති ප්‍රතිපාදන මේ පනත් දෙකේ ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මීට අමතරව ප්‍රහාරය සිදුකරන අවස්ථාවේදී වගකීම් පැහැර හරින ලද නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම, විධිමත් විමර්ශන මගින් අනාවරණය වන සියලු සැකකරුවන්ට කඩිනමින් නඩු පැවරීම, නඩු විභාග කාර්යක්ෂම වීම, වින්දිත නිලධාරීන්ට යුක්තිය ඉටුකිරීම, දේශපාලන හේතු මත අත්අඩංගුවට ගත් සහ වින්දිත බවට පත්වූ පිරිස්වලට සහන සැලසීම, විමර්ශන සහ සාක්ෂි යටපත් කළ සහ යටපත් කිරීමට උත්සාහ කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රහාරයට අදාළ සියලු කරුණු අවසානයේදී ජනතාවට විවෘත ව පැවසීම යන කරුණු ද ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුළත් කරන්නැයි මේ පාර්ශ්ව යෝජනා කර තිබේ.

ප්‍රහාරයෙන් වසර 05කට පසුව හෝ දේශපාලන වාසි වෙනුවෙන් නොව, අවංක වුවමනාවකින් මෙහි මහ මොළකරුවන් සෙවීමේ නිශ්චිත පොරොන්දු ලබාදීමට ජනාධිපති ධුර අපේක්ෂකයන්ට හැකිවන්නේ නම්, අනෙක් පුරවැසියන් කාට නැතත්, ප්‍රහාරයේ වින්දිතයන්ට, එම පවුල්වලට එමගින් යම් සැනසිල්ලක් හෝ ලැබෙනු ඇත.

  • ශාලික විමලසේන

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...