‘අපේක්ෂකයෙක් නොවුණොත් රනිල්ට දිගටම මේ වැඩ කරගෙන යන්න පුළුවන්’ – නීතිඥ ඩී.එම්. දිසානායක

Share post:

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම සහ මැතිවරණ කොමිසමට බලය ලැබීම පිළිබඳ විවිධ සංවාද මතුවී තිබේ. මැතිවරණ නිරීක්ෂකයකු ලෙස දීර්ඝ කාලීන අත්දැකීම් සහිත, මැතිවරණ නීතිය පිළිබඳ විශාරදයකු ලෙස හඳූන්වන නීතිඥ ඩී.එම්. දිසානායක සමග අප මේ සංවාදය සිදු කළේ ඒ පිළිබඳව ය.

ජනාධිපතිවරණය නවත්වන්න, වළක්වන්න තවමත් මොනවා හෝ විදිහක් ඉතුරු වෙලා තියෙනවද කියලා මුලින්ම පැහැදිලි කරගමු, මොකද එහෙම නම් මේ කතා මොකුත් වැඩක් නෑනෙ…?

ජනාධිපතිවරණය නවත්තන්න නීතියෙන් කිසිම ඉඩක් නෑ. නීතිමය නොවන මොනවා හෝ උපක්‍රමයක් භාවිත කරලා එහෙම කරන්න උත්සාහ කරන බවකුත් පේන්න තියෙනවා. අපි දකින විදිහට ඒකටත් කිසිම ඉඩක් විවෘත බවක් පේන්නෙ නෑ.

තවමත් ජනතාවට පොඩි සැකයක් තියෙනවා, මොනවා හරි ගේමක් ගහයි ද කියලා…?

ඒකට හේතුව වැරදි අත්දැකීමක් තියෙන එකනෙ. පළාත් පාලන මැතිවරණවලට කරපු දේ ගැන මම කියන්නෙ. ඒක නිසා මිනිස්සුන්ට සැකයක් තියෙනවා. ඒ සැකය සාධාරණයි. ජනමතයට බය මිනිස්සු ජනමතයෙන් ගැලවෙන්න කරන්න පුළුවන් හැමදේම කරනවා.

එහෙම මොනවා හෝ දෙයක් ආවොත් නීතිමය වශයෙන් මොනවද කරන්න පුළුවන්…?

දැන් මේකෙ සම්පූර්ණ වගකීම තියෙන්නෙ මැතිවරණ කොමිසම අතේ. පහුගිය 17 වැනිදා ඉඳලා ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනයක් නිකුත් කරන්න මැතිවරණ කොමිසමට පුළුවන්. ඊටපස්සෙ නාම යෝජනා එකකට වැඩි ගාණක් ආවොත් මැතිවරණයක් පැවැත්වීම සඳහා දිනයක් තීරණය කිරීමේ ඉඩ කොමිසමට තියෙනවා. මැතිවරණ කොමිසම හැකිතරම් ඉක්මනින් ක්‍රියාත්මක වෙලා, මැතිවරණ නිවේදනය නිකුත් කරලා, නාමයෝජනා කැඳවීම කරන එක තමයි වඩාත් සුදුසු පියවර වෙන්නෙ. එතකොට විධායකයට හෝ වෙනත් පාර්ශ්වයකට මේකට බලපෑම් කරන්න තියෙන ඉඩ අවම කරගන්න පුළුවන්.

17න් පස්සෙ, තවත් දින කිහිපයක් මේ නිවේදනය ප්‍රකාශයට පත්කිරීම මැතිවරණ කොමිසම පස්සට දාලා තියෙන්නෙ විශේෂ හේතුවක් මත ද…?

ඔවුන් පැහැදිලි හේතුවක් නම් කියලා නෑ. ඔවුන්ට කාලය තියෙනවා මැතිවරණ නිවේදනය නිකුත් කරන්න අගෝස්තු 20 වගේ වෙනකම්. ව්‍යවස්ථාවෙන් දක්වලා තියෙන විදිහට මැතිවරණයක් පවත්වන්න ඒ නිවේදනය 20 වගේ නිකුත් කළත් කාලය ප්‍රමාණවත්. නියමිත දිනයට කලින් අලුත් ජනාධිපතිවරයෙක් පත්කරගන්න ඒ විදිහට පුළුවන්. අනෙක් පැත්තෙන් මේකට අදාළ කටයුතු සකස් කරගන්නත් ඔවුන්ට යම් කාලයක් අවශ්‍යයි. ඒ ප්‍රායෝගික තත්ත්වයත් අපිට තේරෙනවා. මැතිවරණය කැඳවීම කළාට පස්සෙ නාම යෝජනා කැඳවන්න දෙන්න පුළුවන් උපරිම සති හයක කාලයක් විතරයි. මුද්‍රණ කටයුතු, නිලධාරීන් පුහුණු කිරීම්, අනෙකුත් යටිතල පහසුකම් සපයාගැනීම ඔවුන් කරගත යුතුයි.
මං හිතන්නෙ අපි කලින් ඉඳලා දැනගෙන හිටියා, ජනාධිපතිවරණය මේ දිනවල පවත්වන්න ඕනෙ කියලා. ඒක නිසා මේ කටයුතු සකස් කරගන්න මැතිවරණ කොමිසමට අවශ්‍ය තරම් කාලය තිබුණා. ඒ පැත්තත් බලන්න ඕනෙ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් මැතිවරණය කැඳවීම තමයි අනිවාර්යෙන්ම කළ යුතු වෙන්නෙ.

බලය ලැබුණා කිව්වට, ඇත්තටම ජූලි 17 වැනිදගෙන් පස්සෙ මැතිවරණ කොමිසමට නිශ්චිතව ලැබුණු බලතල මොනවද…?

දැනට මැතිවරණ කොමිසමට ලැබිලා තියෙන්නෙ මැතිවරණය ප්‍රකාශ කිරීමේ බලය. ඒ කියන්නෙ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා, ඒකට ඉදිරිපත් වෙන්න කැමැති අය නාමයෝජනා දෙන්න කියන නිවේදනය නිකුත් කරන්න. ඊට පස්සෙ ඒ නිවේදනය නිකුත් කිරීමෙන් පස්සෙ, නාමයෝජනා බාරගත් දවසෙ කොමිසම තීරණය කරනවා, ඡන්දයකට යනවද- නැද්ද කියලා. බැරිවෙලාවත් එක්කෙනෙක් නාමයෝජනා දුන්නොත් ඡන්දයකට යන්න අවශ්‍ය වෙන්නෙ නෑනෙ, එයා නිතරඟයෙන් ජනාධිපති වෙනවා. ඒක ව්‍යවස්ථාපිත තත්ත්වය. ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නෑ.
ඡන්දයක් පැවැත්විය යුතුයි කියලා ඒ තීරණය ගත්තට පස්සෙ තමයි මැතිවරණ කොමිසමට අවශ්‍ය බලය ලැබෙන්නෙ මැතිවරණයක් පැවැත්වීමේ පසුබිම නිර්මාණය කරන්න. ඒ යටතේ මැතිවරණ කාර්යයන් වෙනුවෙන් පොලිසියට නියෝග නිකුත් කිරීමේ බලය කොමිසමට ලැබෙනවා. පොලිස්පතිවරයා හරහා ඔවුන්ට පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුව තමන්ගේ කාර්යයන් සඳහා යොදවාගන්න. ඊට අමතරව අවශ්‍යතාවක් වුණොත් පමණක් ත්‍රිවිධ හමුදාපතිවරුන් විමසා ඔවුන්ගේ සහයෝගය ලබාගන්න පුළුවන්. ඒක අවශ්‍යතාව අනුව විතරයි, නැතුව හිතුමතේ කොමිසමට හමුදාව පාවිච්චි කරන්න බෑ. ඒකට හමුදාපතිවරුන්ගේ කැමැත්ත අත්‍යවශ්‍යයි.
අනෙක් පැත්තෙන් මැතිවරණ කොමිසමට මාධ්‍ය උපමාන නිකුත් කරන්න පුළුවන්, මැතිවරණ කාලයේදී මාධ්‍ය හැසිරිය යුත්තේ කොහොමද කියලා. අපක්ෂපාතීව තම වාර්තාකරණය කරන්නෙ කොහොමද කියලා ඔවුන්ට කියන්න පුළුවන්. ඉස්සර මේවා වලංගු වුණේ රාජ්‍ය මාධ්‍යයට පමණයි. ඒත් දැන් මේ මාධ්‍ය උපමාන රාජ්‍ය සහ පෞද්ගලික සියලු මාධ්‍යවලට අදාළයි.
ඒ වගේම මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා, රාජ්‍ය දේපොළ අවභාවිතය වළක්වන්න අවශ්‍ය නියෝග රාජ්‍ය ආයතනවලට නිකුත් කරන්න. එතැනදි අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීම් නිකුත් කරන්න මැතිවරණ කොමිසමට පුළුවන්. මැතිවරණ කාර්යයන් පහසු කරගැනීමට අවශ්‍ය පරිදි රජයේ පහසුකම් භාවිත කරන්නත් කොමිසමට පුළුවන්.

හමුදාපතිවරුන්ගේ කැමැත්ත විමසා කියන එක තව ටිකක් පැහැදිලි කරගත්තොත් හොඳයි, කොමිසමේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්න හෝ ඒ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමේ සීමා හදාගන්න හමුදාපතිවරුන්ට නීතියෙන් ඉඩක් තියෙනවද…?

බරපතළ ආරක්ෂක ගැටලුවක් ඇති වුණොත්, පොලිසියෙන් ඒක විසඳගන්න බෑ කියලා පැහැදිලිව පේන්න තිබුණොත් විතරයි, මැතිවරණ කොමිසමට හමුදාවෙන් මේ සහයෝගය ලබාගන්න පුළුවන්. ඒක ඇත්තටම සහයෝගයක් විතරයි. එහෙම නැතුව හිතුමතේ හමුදාව පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් නෑ. පොලිසියට අදාළ ව එහෙම නෙමෙයි. පොලිසියට සම්පූර්ණයෙන් නියෝග ලබාදීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙනවා.

එතකොට මේ සියල්ල ලැබෙන්නෙ නාමයෝජනා බාරගන්න දවසෙ ඉඳලා…?

ඔව්. නාමයෝජනා බාරගෙන ඡන්දයක් තියෙනවා කියන තීරණය ප්‍රකාශයට පත්කළ මොහොතේ සිට.

එතකොට ජූලි 17 වැනිදයි, නාමයෝජනා බාරගන්න දවසයි අතර කොමිසමට කිසිම බලයක් නැද්ද…?

නෑ. ඒ කාලය ඇතුළත විශේෂ බලයක් අවශ්‍ය වෙන්නෙත් නෑ. ප්‍රචාරක කාලය කියන එක පටන්ගන්නෙ නාමයෝජනා බාරගත් දිනයේ ඉඳලා.

එතකොට ඇස් පනාපිට පොදු දේපොළ ප්‍රචාරක කටයුතුවලට භාවිත කළත් කොමිසමට මොකුත් කරන්න බෑ…?

පොදු දේපොළ අවභාවිතය එක පැත්තකින් දූෂණය කියන වරද යටතටත් ගැනෙනවනෙ. ඒක නිසා අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කරන්න පොදු දේපොළ භාවිත කරනව නම්, රටේ නීතියට අනුව ඒවට මැදිහත් වෙන්න මැතිවරණ කොමිසමට පුළුවන්. ඒකට කිසිම බාධාවක් නෑ.

උදාහරණයක් ගත්තොත් ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වන උරුමය ඔප්පු වැඩසටහන වගේ එකක්…?

ජනාධිපතිවරයා ඒක පෙන්වාදෙන්නෙ සංවර්ධන වැඩසටහනක් විදිහටනෙ. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට තරග කරනවද, නැද්ද කියලා තවම නිල වශයෙන් ප්‍රකාශයට පත්කරලා නෑ. ඒක නිසා ඒක වරදක් කියලා නීතිමය පියවර ගන්න බෑ. නාමයෝජනා බාරදුන්නට පස්සෙ තමයි ඒ අදාළ පියවර ගන්න පුළුවන්. බැරිවෙලාවත් මේ ජනාධිපතිවරයා අපේක්ෂකයෙක් නොවුණොත්, මැතිවරණය පැවැත්වෙන කාලයෙදි වුණත් ඔහුට මේ වැඩ කරන්න පුළුවන්.

මේ පාර අලුත් තත්ත්වයක් තියෙනවා, ඒ තමයි මැතිවරණ වියදම් නියාමන නීතිය. මැතිවරණ කොමිසම පැත්තෙන් මේ ගැන දැනුවත් කිරීම් ටිකක් කළාට, ජනතාව ඒ ගැන දැනුවත් නැති බවයි පේන්න තියෙන්නෙ. ඒ ගැනත් පැහැදිලි කිරීම වැදගත්…?

මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමාකිරීමේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එක තීරණය වෙන්නෙම ජනතාව ඒකට ලබාදෙන සහයෝගය මත. ජනතාව අවදියෙන් සිටිය යුතුයි, එක-එක දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් කොයිතරම් වියදම් කරනවද කියලා. ඒකට හේතුව මේ වියදම් ගැන තොරතුරු එළියට එන්නෙ මැතිවරණය පවත්වලා අවසන් වුණාට පස්සෙ. මැතිවරණය පවත්වලා දින විසි එකක් ඇතුළත තමයි ඔවුන් තමන්ට ලැබුණු ආදායම් සහ වියදම් ගැන තොරතුරු මැතිවරණ කොමිසමට ලබාදිය යුතු වෙන්නෙ.
ඒක ලැබිලා දවස් දහයක් ඇතුළත මැතිවරණ කොමිසම කියනවා, අපිට මේ-මේ අපේක්ෂකයන්ගෙ වියදම් වාර්තා ලැබිලා තියෙනවා, කැමැති කෙනෙකුට ඇවිත් ඒවා පරීක්ෂා කරන්න පුළුවන් කියලා. එතකොට කාටහරි ගිහින් ඒවා පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නෙ, පරීක්ෂා කරලා ඉදිරියට යන්න පුළුවන් වෙන්නෙ ජනතාව ළඟ නිවැරදි තොරතුරු තියෙනව නම් විතරයි.
යම් අපේක්ෂකයෙක් කරපු වියදම් ගැන මට අවබෝධයක් නැත්නම්, මම ගිහින් ඒ වියදම් වාර්තා බැලුවා කියලා වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා මේ නීතිය සක්‍රීයව ක්‍රියාත්මක වෙන්න නම් ජනතාව අවදියෙන් ඉන්න ඕනෙ. එතකොට ඒ වාර්තා වැරදි නම් අපිට ඒ ගැන පැමිණිලි කරන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාම සංකීර්ණ තත්ත්වයක්. මේ නීතිය තිබුණත් මෙවර අපේක්ෂකයො අනිවාර්යෙන්ම මේ නීතිය අබිබවා වියදම් කරන බවක් තමයි පේන්න තියෙන්නෙ. කොහොම වුණත් අපි මේක කෙසේ හෝ බලාත්මක කරගත යුතුයි.

අවසාන වශයෙන් කියන්න, එහෙම වරදක් කරලා තියෙනවා කියලා තහවුරු වුණොත් මොකද වෙන්නෙ…?

ජනාධිපතිවරණ පනත යටතේ ජයග්‍රාහී අපේක්ෂකයා නීතිය අබිබවා වියදම් කරලා තිබුණත්, ඔහුට විරුද්ධව පියවරක් ගන්න බෑ. ඒකට හේතුව ජනාධිපතිවරයාට විරුද්ධව අපේ නීතියේ හැටියට පියවර ගන්න බැරි එක. හැබැයි මැතිවරණ පෙත්සමකට යන අවස්ථාවක ඒකෙ සාක්ෂි හැටියට, මේ මැතිවරණය දූෂිතයි කියලා ඔප්පු කරන්න මේ තොරතුරු පාවිච්චි කරන්න පුවළුන්. කොහොම වුණත් ඊළඟට එන මැතිවරණවලට අදාළව මේ පාර මේ නීතිය ගැන අවධානයෙන් ඉන්න එක වටිනවා.
පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මැතිවරණවලදි ඒ අපේක්ෂකයො වැරදි තොරතුරු දුන්නොත් ඔවුන් වැරදිකරුවො බවට පත්වෙනවා. සමහර විට ඔවුන්ගෙ ආසනය අහිමි කිරීම දක්වාම ඒක ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඔවුන් දෙන තොරතුරුවල වැරදි තිබුණොත් පොලිසියට පැමිණිලි කරලා, ඊට පස්සෙ නීතිපති දෙපාර්මේන්තුවට පුළුවන් නඩු පවරන්න.

  • සාකච්ඡා සටහන – ශාලික විමලසේන

Related articles

මහර රැඳවියන් ඝාතන නඩුව ඉවත් කරගැනීම : නීතිපතිගේ හදිසි තීන්දුව පිළිබඳ බරපතළ සැකයක් !

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමත්, එය අපරාධයක් බවට කරුණු අනාවරණය වී ඇති නිසා ඊට වගකිවයුතු...

සීෂෙල්ස් නව නීතිපති ධුරයට ශ්‍රී ලාංකික නීතිඥයෙක් !

ශ්‍රී ලාංකික නීතිඥයකු වන වින්සන්ට් පෙරේරා සීෂෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා වශයෙන් දිවුරුම් දෙයි.අද (16) ඔහු එරට රාජ්‍ය මන්දිරයේදී...

‘ඉඳුදුන්න නැමුන තැන’ – උපුල් සේනාධිරිගේ

ජීවිතය කරනුයේ ඔහුගෙන් එකිනෙක පැහැර ගැනීමය. පළමුව එසේ පැහැරගන්නා ලද්දේ ඔහුගේ මසැසය. එවිට හේ සැරයටියද ගෙන ගමන් ඇරඹීය....

වසරේ චිත්‍රපටය ලෙස හැදින්විය හැකි ‘The Substance’ (2024)

වසරේ චිත්‍රපටය විදිහට හඳුන්වන්නට පුළුවන්. නරඹන්නට තෝරගන්න ප්‍රධානතම හේතුවක් විදිහට අධ්‍යක්ෂකවරියව නම් කළ හැකියි. Revenge (2017) කියන අපූරු...