වසන්ත උදාවේ, මේ බැවේරියානු බිම්දසුන අප නෙත ගැටුණේ අප්‍රේල් මස මුල් සතියේ දී විතර ය.
එදා ලියැවුණු මේ කුඩා සටහන මේ අවකාශයේ හෝ පලකරන්නට මට හිතුණේ නැත.
එහෙත් අද මට එවැනි හිතක් පහලවූ බැවින්, ඒ ඇතර දමන ලද සටහන, සේයාරූ කිහිපයක් සමගින් මෙසේ පලකරමි.
එක්තරා කාලයක අපි සදාහරිත ගස්කොළං වලින් වටවුණු, සදා රළනඟන ජනගංගා ගලාගිය, සදාකාලික ගිම්හානයක දිවිගෙවූවෝ වීමු.
එහෙත් අප ඒ ගිම්හානයෙන් දුර ඈතකට විතැන්කළ කුරිරු දිගු රාත්‍රියක් වරෙක එළැඹියේ ය.
සදාකාලික ගිම්හානයෙන් ද, හිරුගේ අකාලික උණුසුමෙන් ද තවත් බොහෝ දෙයින් ද අප වෙන්කැරිණි.
ඇතැම් දෑ අපට යළි කිසිදා හමු නොවන, මුණනොගැසෙන දේවල් බවට පත්වී හමාර ය.
අප නැති අතර නිහඩ වී, නිසල වී ගිය ඇතැම් ආදරණීයයන් ගේ, සමීපතමයන් ගේ හදවත් ඒ අතර ප්‍රමුඛ ය.
දැන් මා වෙසෙන කලාපයට මේ ගෙවෙන්නේ වසන්ත උදාව යි.
මුළුමනින් කොලපත්‍ර උගුළුවා, සියළඟෙහි ලාටු උලා, කොට්ටඋරයක පුළුන් උඩ සිටන් පහළට හැලුවාක් මෙන් මල් නාගෙන භූත සෛයාවෙන් කැළෑ අස්සෙන් එබෙනා ඇතැම් තුරු, සොල්මන් සුදනකට පණ දෙයි. සොල්මන් සහගත වුවත්, ඒ වසන්ත සෞන්දර්යයේ පෙරමඟ සලකුණු ය.
එහෙත් ඇතැම් තුරකට වසන්තය තාම කිසිදු සළුවක්- පිළියක් යළි පළන්දා නැත.
ඔවුහු තාමත් වසන්ත සළුව ලැබෙන තෙක් සිසිරයේ ගල්වූ විදියට ම කට අයා බලා සිටින්නෝ ය.
මේ ගම්බද මාවත්හු පටු නමුදු, පැයට කිලෝමීටර් සියයක වේගයෙන් දුවන වාහනවලින් කම්පිත වීමේ ඉරණම් ලද්දාහු ය.
එහෙත් මේ අඳුරු වැසිබර සැඳෑවේ අප සිටියේ මුළුමනින් අත්හැර දමනු ලැබුවාක් බඳුව පාළු වී ගිය, කළු පීත්ත පටියක් වන් මාවතක ය.
ඇතැම් තුරු අත් අගිසිවලට වසන්ත තිළිණ ලැබෙන්නේ බොහෝ පමාව ය.
ඇතැම් අහසක් වසන්ත උදාවේ වුව ඉන්නේ කිලිටි කඩමාළු හැඳ හැඬුම්බරව ය.
කිසිවකු ගේ පා නොගැටෙන සිසිර නිද්‍රාවකින්, ඇතැම් ගම්බද මාවතක් තවම කිසිවකු අතින් වසන්තයට ඇහැරවී නැත.
සදාකාලික ගිම්හානයකින් උගුළුවා වීසිකර දැමූ කිසිවකු, ඒ හැඬුම්බර අහස යට, ඒ පාළු පාර අද්දර, අකාරුණික සීතලේ වුව නිල්වනින් දළුලන තණබිමක කෙළවර වසන්ත තිළිණ තවමත් නොලද කණාටු තුරුපෙළක් අබියසට පැමිණියහොත්, ඇයට / ඔහුට දකින්නට ලැබෙන දසුන්පථයේ රූපාකාර කිහිපයක් ය, මේ.
බැවේරියානු ප්‍රත්‍යන්තයකදී ය,
අප්‍රේල් 05, 2024