අතැර දැමුණු සටහනක්

Share post:

වසන්ත උදාවේ, මේ බැවේරියානු බිම්දසුන අප නෙත ගැටුණේ අප්‍රේල් මස මුල් සතියේ දී විතර ය.
එදා ලියැවුණු මේ කුඩා සටහන මේ අවකාශයේ හෝ පලකරන්නට මට හිතුණේ නැත.
එහෙත් අද මට එවැනි හිතක් පහලවූ බැවින්, ඒ ඇතර දමන ලද සටහන, සේයාරූ කිහිපයක් සමගින් මෙසේ පලකරමි.

එක්තරා කාලයක අපි සදාහරිත ගස්කොළං වලින් වටවුණු, සදා රළනඟන ජනගංගා ගලාගිය, සදාකාලික ගිම්හානයක දිවිගෙවූවෝ වීමු.
එහෙත් අප ඒ ගිම්හානයෙන් දුර ඈතකට විතැන්කළ කුරිරු දිගු රාත්‍රියක් වරෙක එළැඹියේ ය.
සදාකාලික ගිම්හානයෙන් ද, හිරුගේ අකාලික උණුසුමෙන් ද තවත් බොහෝ දෙයින් ද අප වෙන්කැරිණි.
ඇතැම් දෑ අපට යළි කිසිදා හමු නොවන, මුණනොගැසෙන දේවල් බවට පත්වී හමාර ය.
අප නැති අතර නිහඩ වී, නිසල වී ගිය ඇතැම් ආදරණීයයන් ගේ, සමීපතමයන් ගේ හදවත් ඒ අතර ප්‍රමුඛ ය.

දැන් මා වෙසෙන කලාපයට මේ ගෙවෙන්නේ වසන්ත උදාව යි.
මුළුමනින් කොලපත්‍ර උගුළුවා, සියළඟෙහි ලාටු උලා, කොට්ටඋරයක පුළුන් උඩ සිටන් පහළට හැලුවාක් මෙන් මල් නාගෙන භූත සෛයාවෙන් කැළෑ අස්සෙන් එබෙනා ඇතැම් තුරු, සොල්මන් සුදනකට පණ දෙයි. සොල්මන් සහගත වුවත්, ඒ වසන්ත සෞන්දර්යයේ පෙරමඟ සලකුණු ය‍.
එහෙත් ඇතැම් තුරකට වසන්තය තාම කිසිදු සළුවක්- පිළියක් යළි පළන්දා නැත.‍
ඔවුහු තාමත් වසන්ත සළුව ලැබෙන තෙක් සිසිරයේ ගල්වූ විදියට ම කට අයා බලා සිටින්නෝ ය.

මේ ගම්බද මාවත්හු පටු නමුදු, පැයට කිලෝමීටර් සියයක වේගයෙන් දුවන වාහනවලින් කම්පිත වීමේ ඉරණම් ලද්දාහු ය.
එහෙත් මේ අඳුරු වැසිබර සැඳෑවේ අප සිටියේ මුළුමනින් අත්හැර දමනු ලැබුවාක් බඳුව පාළු වී ගිය, කළු පීත්ත පටියක් වන් මාවතක ය.

ඇතැම් තුරු අත් අගිසිවලට වසන්ත තිළිණ ලැබෙන්නේ බොහෝ පමාව ය.
ඇතැම් අහසක් වසන්ත උදාවේ වුව ඉන්නේ කිලිටි කඩමාළු හැඳ හැඬුම්බරව ය.
කිසිවකු ගේ පා නොගැටෙන සිසිර නිද්‍රාවකින්, ඇතැම් ගම්බද මාවතක් තවම කිසිවකු අතින් වසන්තයට ඇහැරවී නැත.

සදාකාලික ගිම්හානයකින් උගුළුවා වීසිකර දැමූ කිසිවකු, ඒ හැඬුම්බර අහස යට, ඒ පාළු පාර අද්දර, අකාරුණික සීතලේ වුව නිල්වනින් දළුලන තණබිමක කෙළවර වසන්ත තිළිණ තවමත් නොලද කණාටු තුරුපෙළක් අබියසට පැමිණියහොත්, ඇයට / ඔහුට දකින්නට ලැබෙන දසුන්පථයේ රූපාකාර කිහිපයක් ය, මේ.

බැවේරියානු ප්‍රත්‍යන්තයකදී ය,
අප්‍රේල් 05, 2024

සනත් බාලසුරිය

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...