Home Blog Page 4

නවක වදය අවසන් කරන්න නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ 23 හැවිරිදි චරිත් දිල්ෂාන් දයානන්ද මුහුණ දුන් ඛේදජනක නවක වදය සහ ඉන් අනතුරුව සිදුවූ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන හරහා SC/FR/101/2025 අංක දරන මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, විශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීම අරමුණු කරගනිමිනි.

2025 අප්‍රේල් 26 වන දින චරිත් දිල්ෂාන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අඛණ්ඩ සහ ම්ලේච්ඡ නවක වදයට ලක් කරන ලද බවත්, එය ඔහුව අවමානයට ලක් කළ කම්පා සහගත සිදුවීමක් වූ බවත්, ඉන්පසුව ඔහු සියදිවි නසා ගැනීමෙන් මිය ගිය බවත් පෙත්සමේ සඳහන් වේ.

පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ බලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, පොලීසිය සහ අනෙකුත් අය නවක වදයට එරෙහි නීති ක්‍රියාත්මක කිරීමට සහ සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම, මෙම ඛේදවාචකයට හේතු වූ බවයි.

පෙත්සම මඟින් පද්ධතිමය සහ ආයතනික අසාර්ථකත්වයන් ඉස්මතු කර දක්වන අතර, අපයෝජනයන් දිගින් දිගටම සවිබල ගැන්වෙන ආකාරයේ සංස්කෘතියක් ගොඩනැගී ඇති බව ඉස්මතු කර තිබේ.

නවක වදය පැමිණවීම මගින් නීතිය ඉදිරියේ සමානව සැලකීම සහ වධහිංසනයට හෝ කෲර, අමානුෂික සැලකිල්ලකට භාජනය නොවීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 11 වගන්ති යටතේ ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද පෙත්සම මඟින අවධාරණය කර ඇති කරුණකි.

පෙත්සම්කරුවන් චරිත් දිල්ෂාන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින අතර, දිගු කලක් තිස්සේ ප්‍රමාද වී ඇති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක්ද ඉල්ලා සිටී.

වගකිවයුතු නිලධාරීන් සහ ආයතන වගවීමට සැලැස්වීම, නවක වද විරෝධී නීති සහ විශ්වවිද්‍යාල රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, සිසුන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත මාර්ගෝපදේශ නියම කිරීම, සෑම සිසුවෙකුටම ගෞරවයෙන් හා ආරක්ෂිතව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සලසාදීම යන කරුණු ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මූලික වශයෙන් අපේක්ෂා කරයි.

IIHS ආයතනය Surrey විශ්වවිද්‍යාලය සමඟ එක් වී හෙද විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් දියත් කරයි !

හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව (BSc. Hons) උපාධි (Top-Up) වැඩසටහන දියත් කිරීම සඳහා Surrey විශ්ව විද්‍යාලය සහ International Institute of Health Sciences (IIHS) Multiversity හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. මෙම මුලපිරීම තුළින් IIHS ආයතනය පිරිනමන උසස් හෙද ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති සිසුන්ට Surrey විශ්ව විද්‍යාලය පිරිනමන පූර්ණ ගෞරව උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබේ.

මෙම වැඩසටහන යටතේ Surrey විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යා පීඨය සහ IIHS ආයතනය ඒකාබද්ධ වී හෙද සහ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීමට, වෘත්තීය සංවර්ධනය ඇති කිරීමට සහ ගෝලීය සෞඛ්‍යය තහවුරු කිරීමට දායක වීමට නියමිතය. ඒකාබද්ධ අධ්‍යාපන වැඩසටහන්, අන්තර්ජාතික ප්‍රජාව ඉලක්ක කර ගත් අඛණ්ඩ වෘත්තීය සංවර්ධන පාඨමාලා, පීඨ සහ සිසු හුවමාරු වැඩසටහන් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ.

Surrey විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාතනය මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (BSc Psychology) සහ ශාස්ත්‍රපති (MSc Psychology) උපාධි වැඩසටහන් දියත් කිරීමට ඇති අවස්ථා අධ්‍යයනය කරමින් සිටී. ඒවා MSc උපාධි වැඩසටහන් ලෙස පිරිනැමීමට නියමිතය.

IIHS ආයතනය පිරිනමන හෙද උසස් ඩිප්ලෝමාව සායනික පුහුණුව, රෝගී සත්කාර කළමනාකරණය සහ සෞඛ්‍ය සේවා පිළිබඳ ශක්තිමත් පුහුණුවක් ලැබීමට සිසුන්ව සූදානම් කරයි. එහි විෂය නිර්දේශයට කාය ව්‍යවච්ඡේද විද්‍යාව, කායික විද්‍යාව, ඖෂධ විද්‍යාව, වෛද්‍ය-ශල්‍ය හෙද සේවය, මානසික සෞඛ්‍යය, හෙද සේවය, ප්‍රජා සෞඛ්‍යය, හෙද පුහුණු නායකත්වය වැනි විෂය රැසක් ඇතුළත්ය. විවේචනාත්මක චින්තනය සහ සායනික තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීම, සන්නිවේදන කුසලතා සහ කණ්ඩායම් හැඟීම වැඩි දියුණු කර ගත හැකි වීම, ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සදාචාරාත්මක, නෛතික, පර්යේෂණ මූලධර්ම පිළිබඳ පුළුල් අවබෝධයක් ගත හැකි වීම වැනි වාසි මේ තුළින් සිසුන්ට ලැබේ.

හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි වැඩසටහන සිසුන්ට වෘත්තීය වටිනාකම්, සන්නිවේදන හැකියා, අන්තර් පුද්ගල කුසලතා තව දුරටත් වර්ධනය කර ගැනීමට උපකාර වනු ඇත. එම වැඩසටහන නායකත්වය, ආයතනික සිද්ධාන්ත, මහජන සෞඛ්‍යය, පර්යේෂණ උපක්‍රම වැනි උසස් විෂය රැසක්ද හඳුන්වා දී තිබේ. සිසුන්ට Nursing and Midwifery Council (NMC) ප්‍රමිති පිළිබඳ අවබෝධයක්ද ලැබෙනු ඇත.

මෙම උපාධිය සම්පූර්ණ කරන සිසුහු NMC ආයතනය පවත්වන නිපුණතා පරීක්ෂණය සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලබති. ඒ හරහා අදාළ නියාමන අවශ්‍යතා සපුරා ගැනීමටත්, දේශීය සහ විදේශීය වශයෙන් පිළිගත් හෙද වෘත්තිකයන් බවට පත් වීමටත් ඔවුන්ට අවස්ථාව ලැබේ.

“Surrey විශ්ව විද්‍යාලය සමඟ එක් වෙමින් අපි ගෝලීය වශයෙන් පිළිගත් හෙද අධ්‍යාපන විද්‍යාවේදී උපාධියක් සඳහා සෘජු ගමන් මාර්ගයක් විවෘත කර තිබෙනවා. මෙම වැඩසටහන සම්පූර්ණ කරන සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වීමටත්, වැඩි දුර අධ්‍යාපන අවස්ථා ළඟා කර ගැනීමටත් හැකි වෙනවා. අප ආයතනය මේ වන විට හෙද නිලධාරී 4000කට වැඩි පිරිසක් අති සාර්ථක ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායාද කර තිබෙනවා. එවැනි පසුබිමක QS ශ්‍රේණිගත කීරීම්වල 285 වැනි ඉහළ අගයක් සහිත Surrey විශ්ව විද්‍යාලය සමග එක් වෙමින් මෙම වැඩසටහන දියත් කීරීමට ලැබීම අප ලැබූ භාග්‍යයක්.”

IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, පළමු උපාධි අධ්‍යාපන පීඨාධිපති, විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ සඳහන් කළේය.

Surrey විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා පීඨයේ (FHMS) අන්තර් කාලීන උපකුලපති සහ විධායක පීඨාධිපති, පශු වෛද්‍ය ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ව්‍යාධි විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබර්ටෝ ලා රැජියෝන් මෙසේ පැවසීය.

“IIHS ආයතනය සමඟ එක් වෙමින් මෙම විද්‍යාවේදී උපාධිය පිරිනැමීමට හැකි වීම පිළිබඳව අප ඉතාමත් සතුටු වෙනවා. වෘත්තීය හෙද අධ්‍යාපනය පිළිබඳ අප සතු විශේෂඥතාව ජාත්‍යන්තර හවුල්කරුවෙකු සමඟ බෙදා ගැනීමට ලැබීම වැදගත් සන්ධිස්ථානයක්. මෙම වැඩසටහන හරහා උපාධිධාරීන්ගේ වෘත්තීය ජීවිතයට අවශ්‍ය දැනුම, කුසලතා, සහ විශ්වාසය ගොඩනගන්නට පුළුවන්.”

“ශ්‍රී ලංකාව මේ වන විට කළාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබෙනවා. මෙම හවුල්කාරිත්වය තුළින් ආසියානු කළාපය පුරා විසිරී සිටින සිසුන්ට IIHS ආයතනය පිරිනමන එක්සත් රාජධානියට අනුබද්ධ උසස් අධ්‍යාපන වැඩසටහන් හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනික විශිෂ්ටත්වය සහ ප්‍රවේශය එකිනෙකට යා කිරීම තුළින් වෘත්තීය ඉලක්ක සපුරා ගැනීමට පැහැදිලි මාවතක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.”

FHMSහි ජාත්‍යන්තර සහකාර පීඨාධිපති සහ ජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය ෂෙලිනි සුරේන්ද්‍රන් පැවැසුවාය.

පිල්ලෙයාන්ට ඇප දීම පිළිබඳ නීතිපති සහ සීඅයිඩිය මත දෙකක !

ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර අර්බුදයක් ඇති වී තිබේ.

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පසුගිය අප්‍රේල් 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. ඉන්පසු ඔහු රඳවාගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී. තමන් අනීතික ලෙස මෙසේ රඳවාගෙන සිටීමට එරෙහිව පිල්ලෙයාන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති රවීන්ද්‍රනාත් ශිවසුබ්‍රමනියම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. 2005 වසරේදී කොළඹ, විද්‍යා මාවතේ පැවැති සම්මන්ත්‍රණයකින් පසු හිටපු උපකුලපතිවරයා මෙසේ පැහැරගෙන ගොස් තිබිණි.

පසුගිය දිනෙක විමර්ශන නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී පිල්ලෙයාන්ට ඇප ලබාදීමට විරුද්ධ නොවිය යුතුය යන්න නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය වී ඇත. ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට පිල්ලෙයාන්ට එරෙහිව ඇති චෝදනා සහ සාක්ෂි පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කිරීමෙන් පසු, ඇප ලබාදීමට විරෝධය දැක්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

සජබෙන් කොළඹට ඉල්ලපු දෙන්නෙක් අයින් කරන්න මැකොගෙන් ඉල්ලලා – මැකො අතිවිශේෂ ගැසට් එකක් ගහයි !

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභික නාමලේඛණ ලබන 30 වැනිදාට පෙර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන්නැයි නියම කරමින්, මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර තේරීපත් වූ සහ තෝරා ඒවා ඇති සභිකයින්ගේ නම් ගැසට් පත්‍රයේ පළ කළ යුතුව ඇති බවයි.

මැතිවරණය අවසන් වී දින 21 ක් ගතව ඇතැත් තෝරා එවිය යුතු නියමිත සභික සංඛ්‍යාව මෙතෙක් ලැබී නොමැති බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව එක් එක් පක්ෂය හා කණ්ඩායම් විසින් තෝරා එවිය යුතු ඇති සියලුම සභිකයන්ගේ නම් ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීන් වෙත නම්කර එවිය යුතු බව ගැසට් පත්‍රයේ දැක්වේ. පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වී ප්‍රථිපල නිකුත් කිරීමෙන් පසු ඒ ඒ පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ වූ කාන්තා සභිකයින් ඇතුළුව තෝරා එවිය යුතු සභිකයන් කඩිනමින් දැනුම්දිය යුතුය.

මැතිවරණ කොමිසම පවසන්නේ, ලබන 30 වැනිදා වන විට දෙවැනි නාම ලේඛණ ලබා නොදෙන්නේ නම්, සභිකයන් නම්කිරීමේ වගකීමෙන් කොමිසම ඉවත් වන බවයි. මේ අතර, කොළඹ මහනගර සභාවට සමගි ජනබලවේගය ලබාදුන් සභික නාම යෝජනා දෙකක් සංශෝධනය කිරීමට අවස්ථාව දෙන්නැයි එම පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත

හල්ලොලුව තනිකර නාඩගමක් : වගකිවයුත්තන් ඉදිරි සතියේ අල්ලයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි තුසිත හල්ලොලුව ගමන් ගත් රථයට වෙඩි තබා එහි තිබූ රහසිගත ලිපිගොනුවක් පැහැරගත් බව කියන සිද්ධිය තනිකරම නාටකයක් බව හෙළිවෙමින් පවතින බවත් ඊට සම්බන්ධ සියලුදෙනා ඉදිරි දින කීපය තුළ දී අත්අඩංගුවට ගන්නා බවත් විමර්ශන නිලධාරීහු පවසති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ සැකකාරියක ඇතුළු සැකකරුවන් තිදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩිතබා ලිපිගොනුව පැහැරගත් කුලී වෙඩික්කරුවන් දෙදෙනාට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක් ගෙවා ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.

එම මුදල් ගෙවා ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල අපරාධකරුවකු බව කියන ‘කෝපිකඩේ අප්පුවා’ගේ පුත්‍රයා විසින් බවත්, එම මුදල් එවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම සිද්ධියට සම්බන්ධ කුලී වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසයි.

මෙම නාටකය සැලසුම් කළ පුද්ගලයන් සහ ඩුබායි පාතාලයන් අතර පවතින සම්බන්ධතාවද සොයාබලාගෙන යන බව විමර්ශන නිලධාරීහු පවසති.

ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රීසියේ ව්‍යාපාරයක මුදල් ආයෝජන කළ බවට තුසිත හල්ලොලුව විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබිණී. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර හල්ලොලුවගෙන් පැය 07ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම ප්‍රකාශය ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන් හලොලුවට දැනුම් දී තිබිණි. ඊට අවශ්‍ය සාක්ෂි තමන් සතු බවද හල්ලොලුව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබුණු නමුත්, ඔහු ගමන්ගත් මෝටර් රථයට නාරාහේන්පිට දී ප්‍රහාරයක් එල්ල වන්නේ මේ අතරතුරදීය.

හල්ලොලුව එහිදී කියා තිබුණේ තම රථයට වෙඩිතබා නාඳුනන පුද්ගලයන් එහි තිබූ රහසිගත ලිපිගොනුවක් පැහැරගෙන ගිය බවයි. එම ලිපිගොනුවේ තිබී ඇත්තේ ජනාධිපතිවරයා මුදල් ආයෝජනය කළ බවට තිබුණු සාක්ෂි සහිත ලියකියවිලි බවද හලොලුව පොලිසියට ප්‍රකාශ කර තිබිණි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඉන්දික ලොකුහෙට්ටිගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

ජයිශංකර් දිල්ලියට ඇවිත් ලංකාවේ පිරිස මුණගැසෙයි !

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් නවදිල්ලියට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අද (27) හමුවී තිබේ.

ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ හැකියා වර්ධන වැඩසටහනක් සඳහා සහභාගී වූ එම නියෝජිත පිරිස මෙලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා හමුවී ඇත.

අමාත්‍ය ජයශංකර් ‘X’ ගිණුමෙහි තැබූ සටහනක දැක්වෙන්නේ, ත්‍රස්තවාදය හෙළාදැකීම සහ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස කනගාටුව පළකිරීම පිළිබඳව අගය කරන බවයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා සිය කැපවීම නැවත අවධාරණය කළ බවත්, අසල්වැසියන් වශයෙන් ශක්තිමත් මහජන සබඳතා මඟින් පදනම් වූ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඔහු තවදුරටත් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ 24 දෙනෙක්ගෙන් යුත් මෙම කණ්ඩායම නවදිල්ලියේ පැවති හැකියා වර්ධන වැඩසටහන සඳහා පසුගිය සතියේ ඉන්දියාව බලා පිටත්ව ගියහ.

නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලිගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිසට විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනකු සහ මහලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 4 දෙනකු ඇතුළත් වේ.

මෙම මස 26 සිට 30 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ව්‍යවස්ථාදායක සභාව සහ අයවැය ක්‍රියාවලීන්, පාර්ලිමේන්තු කමිටු පද්ධතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර පවතින ගැටළු අනෙකුත් කරුණු ඇතුළත් වේ.

මාර්ග අනතුරු වැලැක්වීමට ඇත්තේ සැබෑ වුවමනාවක් ද ?

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ගම්පොල, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. අඩි 100ක පමණ ප්‍රපාතයකට මේ බස් රථය පෙරළී තිබූ අතර, අනතුරෙන් තුවාල ලැබූ තවත් විශාල පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබිණි. මාර්ග අනතුරු සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් මතුවන්නේ බරපතළ සිදුවීමක් වූ විට ය. එහෙත් එයින් ටික දිනකට පසු මියගිය, බරපතළ තුවාල ලැබූ සාමාජිකයන්ගේ පවුල්වල සමීපතමයන්ට හැර, අනෙක් අය ඒ සංවාදයෙන් වෙනත් සංවාද කරා යයි. එහි අසාධාරණයක් නැත. ජනතාව සිටින්නේ වැඩවල ය. ඒ වැඩ සියල්ල ජනතා හිතවාදී ලෙස එකිනෙක කළමනාකරණය කිරීම පත්කරගන්නා ආණ්ඩුවල වගකීමකි.

ගැරඬිඇල්ලේ අනතුරෙන් පසු සංවාද කඩිනමින් අවසන් නොවීය. ඊට හේතු වූයේ පැවැති වර්ෂා තත්ත්වය නිසා අනතුරු රැසක් සිදුවීමයි. වෙසක් පොහොය සමග තිබූ දීර්ඝ නිවාඩුවට නුවරඑළිය, බදුල්ල ප්‍රදේශවල සංචාරය කළ පෞද්ගලික රථ රැසක් ද අනතුරුවලට ලක් විය. මගීන් රැගෙන ගිය පෞද්ගලික බස් රථ කිහිපයක් ද ඒ අතර තිබිණි. මේ අනතුරු සමග ඇති වූ කතාබහ අනතුරු සිදුවන්නේ ඇයි කියන තැනින් ඔබ්බට ගොස්, රෝහල්වල ඇති පහසුකම්, සමාජ සාමූහිකත්වය වැනි පුළුල් මාතෘකා සඳහා ද යොමුවීම වැදගත් ය. විශේෂයෙන් ම ගැරඬිඇල්ලේ අනතුරින් පසු කොත්මලේ රෝහලට අවශ්‍ය පහසුකම් මොනවාද, ප්‍රාදේශීය රෝහල්වල අත්‍යවශ්‍ය පහසුකම් නැත්තේ ඇයි යන්න පිළිබඳ ජනාධිපතිවරයාගේ සිට කතා කළේය. ආණ්ඩුවේ විවිධ ව්‍යාපෘති ඒ වෙනුවෙන් යොමුකෙරිණි. අවශ්‍ය වන්නේ මේවා ඒ වෙලාවට පමණක් නොවී, දිගටම සිදුවීම ය. නැතහොත් අවසන් වශයෙන් සිදුවන්නේ සිදුවන්නේ අනතුරේ වරද රියදුරාගේ පිටින් යෑම පමණි.

එවැනි එක් උදාහරණයක් වන්නේ රථ වාහන අනතුරු සිදුවීමේදී ජනතාවට සිදු වන හානි අවම කිරීමට යනුවෙන් පවසමින් ගෙන ආ මගී බස් රථවල ඇති අනවශ්‍ය සැරසිලි කොටස්, විශේෂයෙන්ම අලුතින් සවිකරන ලද සුදු යකඩ කොටස් ඉවත් කිරීමේ ව්‍යාපෘතියයි. එය දැන් නැත. ඊට මුලදී විරෝධයක් ආවේ එවැනි සැරසිලි කරන ව්‍යාපාරිකයන්ගෙන් සහ ඒවා ගෙන්වන ව්‍යාපාරිකයන්ගෙන් ය. ඉන්පසු බස් රථ හිමිකරුවන්ගේ පැත්තෙන් විරෝධයක් ආවේය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මෙන්ම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ද මේවා පිළිබඳ සිය වගකීම ඉටුකර තිබුණේ නැත. ඔවුන් මගීන්ගේ ප්‍රවේශපත් පිළිබඳ සහ රියදුරන්ගේ, කොන්දොස්තරවරුන්ගේ බලපත්‍ර පිළිබඳ පමණක් අවධානය යොමු කළද, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවලට බස් රථයක ඇති අනතුරු විය හැකි සියලු අවස්ථා පිළිබඳ අවධානය යොමු කොට, ඊට එරෙහිව කටයුතු කිරීමට නීතියෙන් විධිවිධාන සපයා ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධකාරියේ ඉහළ නිලධාරීන් ඒ බව තහවුරු කළේය. එහෙත් මාර්ගයේ මේ පරීක්ෂා කිරීම් සඳහා යොදවා ඇති නිලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් පැවසුවේ තමන්ට එවැනි බලයක් ඇතැයි නොදන්නා බවයි. මේ එක් උදාහරණයක් පමණි.

2024 වසරේ අගෝස්තු මාසය අවසාන වන විට ලංකාවේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 84,21,126කි. ඒ අතර බස් රථ 1,14,064කි. මෝටර් රථ 9,04,649කි. ත්‍රීරෝද රථ 11,84, 466කි. යතුරුපැදි 48,92,213කි. මේ රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු ය.

මේ වාහනවලින් පසුගිය වසර 05ක කාලයේදී සිදු වී ඇති අනතුරුවල තත්ත්වය පිළිබඳව ද අප සලකාබැලිය යුතුය. පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන කොට්ඨාසයේ තොරතුරුවලට අනුව 2020 වසරේදී අනතුරු 23,704කින් පුද්ගලයන් 2,363 දෙනකු මියගොස් ඇත. 2021 වසරේදී අනතුරු 22,847කින් 2,557 දෙනකු මියගොස් ඇත. 2022 වසරේදී අනතුරු 21,953කින් 2,540 දෙනකු මියගොස් ඇත. 2023 වසරේදී අනතුරු 24,877කින් 2,321 දෙනකු මියගොස් ඇත. 2024 වසරේදී අනතුරු 24,589කින් 2,368 දෙනකු මියගොස් ඇත. මේවා මාරක අනතුරු, බරපතළ හානි සහිත අනතුරු ආදී වශයෙන් ද වර්ගීකරණය කෙරේ. මේ සංඛ්‍යා දත්තවලට අනුව පසුගිය වසර 05ක කාලයේදී රථවාහන අනතුරුවලින් පුද්ගලයන් 12,149 දෙනකු මියගොස් තිබේ. මෙහි සත්‍ය සංඛ්‍යාව මීට වඩා වැඩි ය. ඊට හේතු වන්නේ බරපතළ අනතුරුවලින් තුවාල ලබා, රෝහල්ගතව සිට පසුකාලීන ව විවිධ ආබාධවලින් මියයන පුද්ගලයන් සංඛ්‍යාව මේ අතරට එකතු නොවීම ය.

මේ අතරින් 2024 වසරේදී මියගිය 2,368 දෙනාගෙන් 838ක් පදිකයන් ය. යතුරුපැදිකරුවන් 732කි. පසුපැදිකරුවන් 156කි. රියදුරන් 166කි. පාපැදිකරුවන් 160කි. මගීන් 310කි. මේ එක් වසරක දත්ත පමණි. අනතුරු අවස්ථාවේදී වාර්තා වූ දත්ත පමණි. අනතුරු නිසා සිදු වූ පදිකයන් මියයෑම පමණක් ගත් විට ඉහතින් ද දැක්වූ ආකාරයට 2024 වසරේදී 838 දෙනකු මියගොස් තිබේ. 2020 වසරේදී එය 676කි. 2021 වසරේදී එය 652කි. 2022 වසරේදී එය 686කි. 2023 වසරේදී එය 669කි.

එම නිසා මේ තත්ත්වය මීට වඩා බොහෝ සංකීර්ණ ය. එසේ ම අනතුරකින් මියයන්නේ අදාළ වාහනයේ රියදුරා හෝ එහි මගීන් පමණක් නොවේ. ඒ හරහා සිදු වන බලපෑම ඔවුන්ගේ පවුල් වෙත, ඒ පවුල්වල දරුවන් වෙත, ඔවුන්ගේ අධ්‍යාපනය වෙත ආදී වශයෙන් සමස්තය කරා විහිදී යන්නකි. රටේ සමස්ත ආර්ථිකය සහ අනාගතයට සෘජු බලපෑම් එල්ල කරන්නකි.

පොදු ප්‍රවාහනයේ යෙදෙන ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සහ පෞද්ගලික බස් රථ අනතුරු සංඛ්‍යාව ගතහොත්, 2020 වසරේදී පෞද්ගලික බස් රථ 1,597ක් අනතුරට ලක්වී ඇත. එම වසරේදී ලංගම බස් රථ 391ක් අනතුරට ලක්වී ඇත. 2021 වසරේදී පෞද්ගලික බස් රථ 894කි. ලංගම බස් රථ 281කි. 2022 වසරේදී පෞද්ගලික බස් රථ 1,247කි. ලංගම බස් රථ 444කි. 2023 වසරේදී පෞද්ගලික බස් රථ 1,568කි. ලංගම බස් රථ 629කි. 2024 වසරේදී පෞද්ගලික බස් රථ 1,510කි. ලංගම බස් රථ 519කි. මේ පොදු ප්‍රවාහන සේවා මගින් තම ගමනාගමන පහසුකම් සපයාගන්නා පිරිස අතිවිශාල ය. ගැරඬිඇල්ලේ අනතුර සිදු වන අවස්ථාවේ 70කට අධික පිරිසක් බස් රථයේ සිටි බව වාර්තා කෙරිණි.

2018 වසරේදී පොදු ප්‍රවාහන බස් රථ 4,294ක් අනතුරට ලක් වී තිබේ. 2019 වසරේදී එය 3,583කි. 2020 දී එය 2,100කි. 2021දී එය 1,526කි. 2022දී එය 2,294කි. 2023දී එය 2,745කි. 2024දී එය 2,029කි. මේ පොදු ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් නියාමනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ඇති ආයතන මෙවැනි අනතුරු අවම කිරීම සඳහා ගෙන ඇති දීර්ඝකාලීණ පියවර මොනවාද? ඔවුන් සතුව තාවකාලිකව ක්‍රියාත්මක කළ පිළිතුරු කිහිපයක් තිබුණත්, ඒ කිසිවක් සෑහීමකට පත්වන ආකාරයෙන් සිදු වී නැත.

ගැරඬිඇල්ල අනතුර සිදු වූ බස් රථය ම ගත් විට, කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ එම බස් රථයේ එක් ගමන් වාරයක මුළු ධාවන දුර කිලෝමීටර් 350 ඉක්මවයි. එය රාත්‍රිය පුරා ධාවනය වන්නකි. එහි සිටින්නේ එක් රියදුරකු පමණි. මෙවැනි දුර ගමන් රාත්‍රී බස් රථ කොපමණක් ද? රජයේ ආයතනවල නිල වාහන ධාවනයේදී එක් වරකට ගමන් කළ යුතු දුර, විවේක ගැනීම, රාත්‍රී ධාවනය පිළිබඳ කොන්දේසි රැසක් පනවා ඇත. ඒ කොන්දේසි සමග ය, ඔවුන්ට හිමි වන විශේෂ දීමනා සහ අතිකාල දීමනා හිමිවන්නේ. එහෙත් බස් රථවල එවැනි කොන්දේසි නැත. ලංගම බස් රථවලත් නැත. පෞද්ගලික බස් රථවලත් නැත. එහෙත් මෙවැනි කොන්දේසි පිළිබඳ මේ බස් රථ නියාමනය කරන ආයතනවලින් විවිධ කොන්දේසි පනවා තිබේ. බස් රථවල තත්ත්වය පිළිබඳව ද එවැනි නීති රැසක් ඇත. ලංගම ඩිපෝවල ධාවන කළමනාකරුවන් ට මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් ලබාදී ඇත.

තවත් කාරණයක් මෙහිදී වැදගත් ය. මේ අනතුරු වලක්වාගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන බලධාරීන් සමග එක්ව කටයුතු කළ යුතු ආයතන ද රැසකි. ඒ අතර මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රමුඛ වේ. මාර්ගයේ තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතුය. ප්‍රධාන මාර්ගවල ඇති ඇතැම් දුරකතන සම්බන්ධතා සඳහා හාරන ලද වළවල් නිවැරදිව වසාදමන්නේ නැත. එම වළවල් නිසා යතුරු පැදි සහ ත්‍රීරෝද රථ බොහෝ විට අනතුරට ලක්වේ. ජල සම්පාදන අලුත්වැඩියා පිළිබඳ තත්ත්වය ද එසේ ම ය. මේ ආයතන කටයුතු කරන්නේ සම්බන්ධීකරණයකින් නොවේ. ගැටලුව ඇත්තේ එතැන ය. විශේෂයෙන්ම බෑවුම් සහිත මාර්ගවල අනතුරු හඳුනාගැනීමේ සංඥා, ආලෝකය, යකඩ වැටවල් යෙදීම සෑහීමකට පත්වන පරිදි සිදු වී නැත.

එම නිසා වර්තමාන ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදී සිදු කළ යුතු කරුණු අතර මේ අනතුරු වළක්වාගැනීම සඳහා නිවැරදි, දීර්ඝ කාලීන, සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කිරීම අනිවාර්ය වේ. සමස්ත රටේ ආර්ථිකය සහ ජනජීවිතය නගාසිටුවීමේ මෙහෙයුමකදී එය අත්‍යවශ්‍ය ය. එසේ නොකොට විරෝධතා මත වෙනස් වන තීරණ ගන්නේ නම්, පවතින නීති සහ අවශ්‍ය නීති සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීම වෙනුවට මාධ්‍ය ප්‍රමුඛ කොටගත් මෙහෙයුම් සිදුකරන්නේ නම්, තවදුරටත් අනතුරු මගින් සිදුවන ජීවිත හානි, දේපොළ හානි සමස්තය අඳුරට රැගෙන යනු ඇත.

  • ශාලික විමලසේන

‘මහ සිහිනයක මිහිරි කරදර’- ලියනගේ අමරකීර්ති

0

කවියෙහි සංක්ෂිප්තබව සහ වදන් සූක්ෂමතාව පිළිබඳව ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ කවීන්ගේ මූලිකත්වයෙන් ඇරඹි සාකච්ඡාවෙන් පසුගිය දශක දෙක තුනක කාලය තුළ සිංහල කවියෙහි ප්‍රගමනයට වූ බලපෑම බෙහෙවින් සාධනීය බව පැහැදිලිව පෙනෙන්නකි. එහෙත් එය හුදු වචනාර්ථයෙන්ම පමණක් ගැනීම නිසාම වූ විකෘතතාවන්ද නැත්තේම නොවේ. සේකර ප්‍රබුද්ධ කාව්‍ය යෙහි මෙසේ කියයි.

බුදු කෙනකු වීමේ පහසුම මග
බුදු කෙනකු යයි සිතා ගැන්මය
සිතා එලෙසම දිවි ගෙවීමය

සේකර බෙහෙවින් ජනප්‍රිය අද දවසේ අප හමුවේ තමන් බුදු වූවේ යැයි කියන, මාර්ග පල අත්කරගත්තේ යයි වහසි දොඩන පිරිස් සැලකිය යුතු සංඛ්‍යාවකි. සේකර මෙහිදී පවසනුයේ බෙහෙවින් ගැඹුරු අදහසකි. කවියෙහි සංක්ෂිප්තතාව පිළිබඳ සංවාදයෙහිද මෙවන් පැත්තක් තිබේ. කවිය යනු සිතට එන කවරක් වුව ලිවීම යයි සලකන, එසේම කවිය යනු පේලි කිහිපයකට සීමාවිය යුතු නිර්මාණයකැයි සිතා මායිම් පණවන ස්වයං මායිම් හී සිරවෙන පිරිස් අපේ කවි කෙතෙහි සිටිති. එවන් මැදිහත්වීම් නිසාවෙන් සිදුවනුයේ රණවීර-නන්දන වැන්නවුන්ගේ මැදිහත්වීමෙහි විකෘතියක් සමාජගත වීම පමණි. කවියක සංක්ෂිප්තතාව යනු එහි ඇති පේලි ගණනේ සීමිත බව යයි සිතීම තරම් නොමග යාමක් තවත් නැති. කවියෙහි සංක්ෂිප්තතාව නැති නම් එහි දිග පලල තීරණය කරනුයේ කවියෙන් පල කරන්නට නියමිත සංකල්පනාව අනුවය. එහිදී විටෙක පිටු තුන හතරක් පුරා ඇදී යන කවියක් වුව සංක්ෂිප්ත බවේ ගුණය දරා සිටියි. එය තීරණය වනුයේ කවියාගේ දක්ෂතාව මතම ය.

ලියනගේ අමරකීර්තිගේ නව කවි එකතුව කවියෙහි සංක්ෂිප්තතාව, කවියෙහි අරුත්බරබව මෙන්ම කවියෙහි අලංකාරයද එකසේ ගැබ් කරගනිමින් හෘදය මෙන්ම බුද්ධි සංවාදයකද යෙදෙන්නට ඇති අවස්ථාවක් සේ දැක්විය හැකිය. මේ කවි එකතුවෙහිදී කවියා වදන් භාවිතයේ ලා බෙහෙවින් සැලකිලිමත්ය, එමෙන්ම කවියක් ඇතැම් විටෙක පිටු කිහිපයක් දක්වා දිවෙන සේ දිගුය, එපමණටම එ කව සංක්ෂිප්තය. අනවශ්‍ය ලෙස වදන් අතර අතරමං නොවන හේ ඇවැසිම වදන් වලට සීමා වන්නේ එ වදන් හරහා අර්ථය ඉහලින්ම මතු කරගැනීමට සමත් වෙයි. ඒ අතරම ඔහු කවියට විෂය කරගන්නා කරුණු පාඨක පරිකල්පනයටද ඉඩ සලසන අතරම පාඨකයාගේ බුද්ධියටද එකවර ආමන්ත්‍රණය කරයි. සිය සිවුවන කවි එකතුවට එළඹෙන විට ඔහුගේ කවිය ස්වකීය අදහස් ප්‍රකාශනයේ ලා කවිය උපස්තම්භක කරගන්නට අදහස් කරනා ආධුනික කවි කිවිඳියන්ට වැඩ බිමක් බවට පත් කරන්නට සමත්ව තිබේ.

ඔහුගේ කවිකාරකම වටහා ගන්නට මේ කෘතියේ එන පළමු කවියම වුව සෑහෙයි. ඔහු එය නම් කරනුයේ අලංකෘත සිර ගෙදර යනුවෙනි. මේ මාතෘකාවම කවියෙහි අරුත එක මිටට කැටි කොට දක්වන්නකි. එසේම සියුම් කියවන්නෙකුට නම් ඒ මාතෘකාව නොමැතිව වුව කවියෙහි අරුත පාදාගත හැකිය. ජීවිතය , කුටුම්භය, ආදරය ආදී විවිධ වගවාසගම් යටතේ අප විසින්ම තනාගෙන ඇති ජීවිතයෙහි ඇති සීමිතබව, එහි ඇති වෙහෙසකරබව, රැවටිලිකාරීත්වය ආදී විවිධ අංශ සියුම්ව විමසන ඒ කවිය වර්තමාන ජීවිතයේ බොල් ස්වභාවය පෙලින් පෙල දිගහරියි. ඒ කවිය යනු වර්තමාන ජීවීන් හට තමන්ව මුණගස්වන විවේචනාත්මක මං සන්ධියකි.

අර්ථවත් හැමදේම
පනින්නකි සීමාව
පිටින් පනවනු ලබන
අර්ථවත් හැමදේම
රකින්නකි සීමාව
එය වෙතින් පැන නගින

ඉදින් මේ අප අපේම ජීවිතය තනාගන්නා? බිඳ දමාගන්නා ආකාරයයි.

ඇතුලතින් නැගී ආ
සීමාවෙ සිහින් ඉර
කොනහමින් හාරමින්
පාරමින් පාදමින්
ගැඹුරු දිය අගලකට
පෙරළුවෙද අප දෙදෙන
එය නොවෙද දිය අගල
අපේ දිවි හිර කරන
මිනීමරු කිඹුලන්ද
බෝවෙලා තලු මරන?

ගලින් ගල තබමින් මේ නූතන මානවයා තමන්ගේම සන්තුෂ්ටිය උදෙසා යයි තනා ගන්නා බලකොටුව කවියාගේ නිරීක්ෂණයට ලක් වෙයි. බලන්න.

අර්ථවත් දේ තුළම
අනර්ථය පැවති බව
නොදැන උන් අප දෙදෙන
සිරව හිඳිමු ද මෙදින
අපම සැදු බලකොටුවෙ
අලංකෘත සිරගෙදර

සිරගෙවල් තනමින් එහෙත් ඒ සිරගෙයම ස්වර්ගය මෙන් හඟින, තමන්ගේ සිරගත බව නොහඟින ජීවත්වීම යයි ජීවත් නොවීමම තෝරාගන්නා සමාජයක ජීවිත දෙස හෙලන මේ ස්වයං/විවේචනාත්මක කවිය බුද්ධිගොචර කවියකි. එහි බසෙහි අප වෙලා ගන්නා අලංකාරය නැත, ඒ වෙනුවට කවියා රළු යයි හැඟෙන වදන් හරහා අපට අපේ ජීවිතයේ රළ බව සිහිපත් කරවයි. ලේ වැකි කවියක් නම් නිර්මාණයද මේ කවි අතර අප කැපී පෙනෙයි.
වර්තමානය යනු යළිත් වරක් බල පොරය මත භූමි සිතියම් අලුතින් අඳින්නට බලකාමී පාලකයන් වෙර දරන වේදිකාවකි. එහි අලුත්ම ඌරා ළිඳ පකිස්ථාන සහ ඉන්දියා භූමියයි. මේ සෑම තැනකම පාලකයා යනු ඌරා ළිඳේ සටන නරඹන්නෙකි. ජනතාව යනු සටන් වදින, සටනින් මියෙන වහලුන් පමණි. ගාසා තීරය සහ අපේ උතුර එකට ගෙන කවියා නිර්මාණය කරනා ගාසා ගාසාවය නම් කවිය අපූර්ව නිර්මාණයකි. ඔහු ඊට නිමිත්ත ලෙස ගන්නේ සිය මිතුරු මහැදුරෙකුගේ වදන් පෙලකි. මේ කවිය මිතුරා දෙසට එල්ල කරනා සේ පෙනෙන එහෙත් අප කාහට වුවත් අදාල වන විවේචනයකි. කවියා කියනුයේ ගාසාව රූපකයක් සේ ගෙන යුද්ධය කියවීමට යාමෙහි ඇති අනතුර ගැනය.

ඇතැම් විට සකිසඳ
රූපකය සිර ගෙදරකි
අපේ උතුරේ දකුණේ
එතන ගාසාවේ
මැරුණා මැරෙනා දරුවෝ
නොවෙති රූපකයෝ
අන් දෙයක් දක්වන
රූපකයට පළමු
ගනිමු එය වදනරුතින්
ගාසාව ගාසාවය
එය ලොව එකම ගාසාවය!

එකලා සෙබලා නම් කවියද අමරකීර්ති කවියාගේ පරිකල්පනය මෙන්ම කවියක් ගෙන යාහැකි දුර සහ ඉන් ආවරණය කළ හැකි වපසරියෙහි පුළුල් බවද මනාව විදහා දක්වන්නකි. ඒ කවිය ඉතිහාසය, යුද්ධය, වහල් වෙළඳාම, වර්ණභේදවාදය, මනුෂ්‍යත්වය ආදී විවිධ අංශයන් කෙරේ ආලෝක දහරා පතිත කරවන නිර්මානයකි. දෙවන ලෝක යුද සමය කේන්ද්‍ර කරගනිමින් අතීතය සහ යුද සමය අතර දෝලනය වන කවිය වර්තමානයටද එකසේ අදාලය.
මේ එ කවියෙහි එන සුදු සෙබලාගේ අවසන් වචන ය.

මචං මැරුණම කවුරුත් කළුයි
හැමණෙන්නො! මං උඹට ආදරෙයි
මොන හැමණිල්ලකට බං
අපි මෙච්චර ඈතාවෙ

කෝ ඔයා? සහ අඩි හයක් උස පිරිමියෙක්- ඒ කවි දෙකද වරින් වර මගේ සිතෙහි ඇනෙයි. එහෙත් ඒ කවි සහ අනෙක් කවි ඔබට ඉතිරි කරමි. අවසනට මෙසේ කියමි. මෙ කවි ගඟුලට තොටුපොල බොහෝය. කැමති තැනකින් බසිනු මැනවි. කොතනින් බැස්සද ඔබ අපේක්ෂං භංගත්වයට පත් නොවන බව නම් සහතිකය.

චූලානන්ද සමරනායක

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මේ තීරණය ගෙන ඇත. එම පැමිණිල්ලේ සඳහන් කරුණු සනාථ කෙරෙන සාක්ෂි කිහිපයක් ද කොමිසම වෙත පාර්ශ්ව කිහිපයකින් ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අධිකරණයේ කටයුතුවලදී පක්ෂපාතී ලෙස කටයුතු කිරීම, අධිකරණයේ දේපොළ අවභාවිතය, එහි වැඩ බලන මහෙස්ත්‍රාත්වරයකු සමග පැවැත්වූ සමීප සම්බන්ධතාවක් ඇතුළු චෝදනා රැසක් මහෙස්ත්‍රාත්වරියට එල්ල වී තිබේ. මේ කරුණු තහවුරු කෙරෙන සාක්ෂි කිහිපයක් ද අධිකරණයේ සේවය කරමින් සිටියදී, එයින් ඉවත් කරන ලද සේවකයකු විසින් කොමිසම වෙත යවා ඇතැයි ද වාර්තා වේ. කෙසේ වෙතත් මේ සාක්ෂිවල නිරවද්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැත.

අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වන විට චේම්බරයට ද සීල් තබා තිබේ. අධිකරණයට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙන අතර, හෙට (19) පැමිණ පෞද්ගලිකව පරිහරණය කළ දේ රැගෙන යෑමට මහෙස්ත්‍රාත්වරියට කොමිසම අවසර දී තිබේ.

තීරණාත්මක නඩු කිහිපයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ආච්චිට එරෙහි කුප්‍රකට මැණික් මල්ලේ නඩුව මුල්වරට විභාගයට ගැනුණේද කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර ඉදිරියේදී ය. එසේ ම ඇය ඉදිරියේ යෝෂිත රාජපක්ෂට එරෙහි සීඑස්එන් නාලිකාව පිළිබඳ නඩුව ද විභාග වේ. පාර්ලිමේන්තු ගෘහ සේවා අංශයේ කාන්තාවන්ට සිදු වූ බවට චෝදනා එල්ල වී ඇති අතවර නඩුව විභාග කෙරෙන්නේ ද මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ය.
සේවය අත්හිටවූ මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරට එරෙහිව එල්ල වී ඇති මේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර ද දැනුවත් කර ඇති අතර, අධිකරණ සේවා සංගමයට ද නීතිඥවරුන් පිරිසක් මේ පිළිබඳ දැනුම් දී ඇතැයි වාර්තා වේ.

නීතිඥවරුන් අතර බෙදීමක්

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ මහෙස්ත්‍රාත්වරියට එරෙහි චෝදනාවල යම් සත්‍යතාවක් ඇතත්, ඇතැම් නීතිඥවරුන්ගේ මතය වී ඇත්තේ ඇයගේ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු ඇතත් පක්ෂපාතීත්වය පිළිබඳ චෝදනා එල්ල කිරීම යුක්තිසහගත නොවන බවයි. නීතිඥ සංගමය කර ඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ පක්ෂපාතී බව පිළිබඳ චෝදනා ය.

ජනතාව තුළ කුකුසක් ඇතිවන්නට ඉඩදෙන්නේ ඇයි?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් කිහිපදෙනකු අප සමග පැවසුවේ මේ සිදුවීම අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාව තුළ කුකුසක් ඇතිකරවන්නට හේතු වන බවයි. එම නිසා අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවීමට හේතු වූ කරුණු සහ ඊට අදාළ විමර්ශන පිළිබඳ කරුණු සඳහන් නිල නිවේදනයක් නිකුත් කරන්නේ නම් එය වඩා වැදගත් වනු ඇතැයි ද එම නීතිඥවරු පෙන්වා දුන්හ.

කොමිසමෙන් හෙට නිල නිවේදනයක්

මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ආරංචි මාර්ග තහවුරු කළේ හෙට (19) මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරන බවයි. කෙසේ වෙතත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දුන්නේ මහෙස්ත්‍රාත්වරියගේ වෙනත් සම්බන්ධතාවක් පිළිබඳ තහවුරු කළ හැකි සාක්ෂි කිසිවක් දැනට ලැබී නැති බවයි.

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

පිල්ලෙයාන් මේ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙසත්, ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා සිටින බවත් ය.

පිල්ලෙයාන් 2025 අප්‍රේල් 08 වැනි දින මඩකලපුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන දින 90ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබාගන්නා ලදි.

පිල්ලෙයාන් තම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය කර ඇති අතර, ඊට ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට ද ඔහු මෙමගින් තර්ක කරයි.