නවක වදය අවසන් කරන්න නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

Share post:

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ 23 හැවිරිදි චරිත් දිල්ෂාන් දයානන්ද මුහුණ දුන් ඛේදජනක නවක වදය සහ ඉන් අනතුරුව සිදුවූ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන හරහා SC/FR/101/2025 අංක දරන මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, විශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීම අරමුණු කරගනිමිනි.

2025 අප්‍රේල් 26 වන දින චරිත් දිල්ෂාන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අඛණ්ඩ සහ ම්ලේච්ඡ නවක වදයට ලක් කරන ලද බවත්, එය ඔහුව අවමානයට ලක් කළ කම්පා සහගත සිදුවීමක් වූ බවත්, ඉන්පසුව ඔහු සියදිවි නසා ගැනීමෙන් මිය ගිය බවත් පෙත්සමේ සඳහන් වේ.

පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ බලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, පොලීසිය සහ අනෙකුත් අය නවක වදයට එරෙහි නීති ක්‍රියාත්මක කිරීමට සහ සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම, මෙම ඛේදවාචකයට හේතු වූ බවයි.

පෙත්සම මඟින් පද්ධතිමය සහ ආයතනික අසාර්ථකත්වයන් ඉස්මතු කර දක්වන අතර, අපයෝජනයන් දිගින් දිගටම සවිබල ගැන්වෙන ආකාරයේ සංස්කෘතියක් ගොඩනැගී ඇති බව ඉස්මතු කර තිබේ.

නවක වදය පැමිණවීම මගින් නීතිය ඉදිරියේ සමානව සැලකීම සහ වධහිංසනයට හෝ කෲර, අමානුෂික සැලකිල්ලකට භාජනය නොවීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 11 වගන්ති යටතේ ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද පෙත්සම මඟින අවධාරණය කර ඇති කරුණකි.

පෙත්සම්කරුවන් චරිත් දිල්ෂාන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින අතර, දිගු කලක් තිස්සේ ප්‍රමාද වී ඇති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක්ද ඉල්ලා සිටී.

වගකිවයුතු නිලධාරීන් සහ ආයතන වගවීමට සැලැස්වීම, නවක වද විරෝධී නීති සහ විශ්වවිද්‍යාල රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, සිසුන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත මාර්ගෝපදේශ නියම කිරීම, සෑම සිසුවෙකුටම ගෞරවයෙන් හා ආරක්ෂිතව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සලසාදීම යන කරුණු ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මූලික වශයෙන් අපේක්ෂා කරයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...