කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

Share post:

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මේ තීරණය ගෙන ඇත. එම පැමිණිල්ලේ සඳහන් කරුණු සනාථ කෙරෙන සාක්ෂි කිහිපයක් ද කොමිසම වෙත පාර්ශ්ව කිහිපයකින් ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අධිකරණයේ කටයුතුවලදී පක්ෂපාතී ලෙස කටයුතු කිරීම, අධිකරණයේ දේපොළ අවභාවිතය, එහි වැඩ බලන මහෙස්ත්‍රාත්වරයකු සමග පැවැත්වූ සමීප සම්බන්ධතාවක් ඇතුළු චෝදනා රැසක් මහෙස්ත්‍රාත්වරියට එල්ල වී තිබේ. මේ කරුණු තහවුරු කෙරෙන සාක්ෂි කිහිපයක් ද අධිකරණයේ සේවය කරමින් සිටියදී, එයින් ඉවත් කරන ලද සේවකයකු විසින් කොමිසම වෙත යවා ඇතැයි ද වාර්තා වේ. කෙසේ වෙතත් මේ සාක්ෂිවල නිරවද්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැත.

අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වන විට චේම්බරයට ද සීල් තබා තිබේ. අධිකරණයට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙන අතර, හෙට (19) පැමිණ පෞද්ගලිකව පරිහරණය කළ දේ රැගෙන යෑමට මහෙස්ත්‍රාත්වරියට කොමිසම අවසර දී තිබේ.

තීරණාත්මක නඩු කිහිපයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ආච්චිට එරෙහි කුප්‍රකට මැණික් මල්ලේ නඩුව මුල්වරට විභාගයට ගැනුණේද කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර ඉදිරියේදී ය. එසේ ම ඇය ඉදිරියේ යෝෂිත රාජපක්ෂට එරෙහි සීඑස්එන් නාලිකාව පිළිබඳ නඩුව ද විභාග වේ. පාර්ලිමේන්තු ගෘහ සේවා අංශයේ කාන්තාවන්ට සිදු වූ බවට චෝදනා එල්ල වී ඇති අතවර නඩුව විභාග කෙරෙන්නේ ද මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ය.
සේවය අත්හිටවූ මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරට එරෙහිව එල්ල වී ඇති මේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර ද දැනුවත් කර ඇති අතර, අධිකරණ සේවා සංගමයට ද නීතිඥවරුන් පිරිසක් මේ පිළිබඳ දැනුම් දී ඇතැයි වාර්තා වේ.

නීතිඥවරුන් අතර බෙදීමක්

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ මහෙස්ත්‍රාත්වරියට එරෙහි චෝදනාවල යම් සත්‍යතාවක් ඇතත්, ඇතැම් නීතිඥවරුන්ගේ මතය වී ඇත්තේ ඇයගේ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු ඇතත් පක්ෂපාතීත්වය පිළිබඳ චෝදනා එල්ල කිරීම යුක්තිසහගත නොවන බවයි. නීතිඥ සංගමය කර ඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ පක්ෂපාතී බව පිළිබඳ චෝදනා ය.

ජනතාව තුළ කුකුසක් ඇතිවන්නට ඉඩදෙන්නේ ඇයි?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් කිහිපදෙනකු අප සමග පැවසුවේ මේ සිදුවීම අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාව තුළ කුකුසක් ඇතිකරවන්නට හේතු වන බවයි. එම නිසා අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවීමට හේතු වූ කරුණු සහ ඊට අදාළ විමර්ශන පිළිබඳ කරුණු සඳහන් නිල නිවේදනයක් නිකුත් කරන්නේ නම් එය වඩා වැදගත් වනු ඇතැයි ද එම නීතිඥවරු පෙන්වා දුන්හ.

කොමිසමෙන් හෙට නිල නිවේදනයක්

මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ආරංචි මාර්ග තහවුරු කළේ හෙට (19) මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරන බවයි. කෙසේ වෙතත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දුන්නේ මහෙස්ත්‍රාත්වරියගේ වෙනත් සම්බන්ධතාවක් පිළිබඳ තහවුරු කළ හැකි සාක්ෂි කිසිවක් දැනට ලැබී නැති බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...