ජනාධිපතිවරණ පෙත්සම : සම්පූර්ණ කතාව මෙන්න !

Share post:

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් පමණක් බව තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, දැනට නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් කඩකිරීමේ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ඊයේ (08) නියෝග කළේය. මෙම පෙත්සම ගොනු කළ මොරටුව ප්‍රදේශයේ පදිංචි, ප්‍රකට ව්‍යවසායක චමින්ද්‍ර ලේනව නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක් ගෙවිය යුතු බවත්, එය මාසයක් තුළ අධිකරණයේ තැන්පත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

දේශපාලන පක්ෂයක අවශ්‍යතාවක් මත හෝ අවශ්‍යතාවක් නොමැතිව හෝ නීතියේ ඇති ප්‍රතිපාදනයක් එම නීතිඥවරයා භාවිත කර තිබේ. එසේ ම ලංකාවේ නොමැති, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ඇති නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු එය නැවත ප්‍රශ්න කිරීමේ උත්සාහයක් ඔහු දරා ඇත. ලංකාවේ නීතියේ එවැනි තත්ත්වයක් නොමැති නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට කටයුතු කිරීමට සිදුවන්නේ පවතින නීති තත්ත්වය මත ය. එහෙත් මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට අදාළ ව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නියෝග නිසිපරිදි අනුගමනය නොකරමින් පාර්ලිමේන්තුව එය සම්මත කළේය.

ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනිණි. එහෙත් ඒවා ඉදිරියට ගෙනයෑමට නොහැකි වූයේ ලංකාවේ ඇති තත්ත්වය මත නීතියක් සම්මත වූ පසු එය ප්‍රශ්න කළ නොහැකි නිසා ය. එම නිසා බරපතළ ගැටලු රැසක් මධ්‍යයයේ වුවද, ව්‍යවසායකු වන චමින්ද්‍ර ලේනව ඉදිරිපත් කළ පෙත්සමේ මේ පැත්ත ගැන ද අවධානය යොමු කළ යුතුය. ඒ ඔස්සේ ගොස් සංවාදයක් මතු විය යුතුය. එසේ පනතක් සම්මත වූ පසු පවතින තත්ත්වයන් යටතේ එය නැවත අභියෝගයට ලක්කරගැනීමේ හැකියාව ලංකාවේ ද ඇති විය යුතුය. ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අතර මේ සම්බන්ධයෙන් කතාබහක් ඇතත්, එය ජනසමාජයේ මතයක් ලෙස ගොඩනැංවිය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කිරීමක් කළ යුතු අතර, එසේ පැහැදිලි කිරීමකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමකි. මේ පෙත්සමේ මූලික හරය වූයේ එයයි. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු පැහැදිලි කරන තුරු පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අතුරු තහනමක් පනවන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ ජනාධිපතිවරයාගේ ධුර කාලයට අදාළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අපැහැදිලි තත්ත්වයක් මතුව ඇති බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබිණි.
‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහජන ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයක් බව කියැවේ. මේ තත්ත්වය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය 19 වැනි සංශෝධනයේ 3 වැනි පරිච්ඡේදයෙන් සංශෝධනය කර ඇති බව පැවසුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ වසර පහකින් ද, වසර හයකින් ද යන්න ගැටලු‍වක් ව තිබේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 දක්වා අඩු කළ විට එය ජනමත විචාරණයකට යටත් විය යුතුයි. නමුත් එය සිදු වූයේ නැත. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 ව්‍යවස්ථාවට අනුකූලව ජනමත විචාරණය පවත්වා නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බව පැහැදිලි ය.
එම නිසා ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ වසර පහකින් ද, වසර හයකින් ද යන ප්‍රශ්නය මතුවී තිබේ.’
පෙත්සම්කරු පෙත්සමේ සඳහන් කර ඇති පරිදි දැනට සැලසුම් කර ඇති ආකාරයට ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණේ මේ පදනම යටතේ ය.
2019 ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු ඉතිරි ධුර කාලය සඳහා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
මේ අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමෙන් පසු ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු‍වක් මතුව තිබේ. එවැනි ගැටලු‍වක් ඇති වුවහොත් එය අර්ථකථනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ යුතු බව ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ තත්ත්වය තුළ මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීමේ පෙත්සම ඊයේ (08) අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සලකා බැලීමට තීරණය කළ අවස්ථාවේදී අතරමැදි පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් පෙන්වා දුන්නේ පෙත්සමට මැදිහත්වීමට අපේක්ෂා කරන බවයි.
එසේම නීතිපතිවරයා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්ක ද සිල්වා මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියේය.
පෙත්සම්කරු සිය තර්ක ඉදිරිපත් කරද්දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙත්සම්කරුගෙන් විමසා සිටියේ මැදිහත් වූ පෙත්සම්කරුවන්ට එරෙහිව විරෝධතා තිබේද යනුවෙනි. පෙත්සම්කරු පිළිතුරු දුන්නේ ඊට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.
මෙම අවස්ථාවේදී මූලික පෙත්සමට සහාය පළකරමින් අතරමැදි පෙත්සමක් ද, ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට නොහැකි බැවින් නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අතුරු පෙත්සම් 12ක් ද ගොනු කෙරිණි.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්ක ද සිල්වාට පෙත්සමට මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අධිකරණය අවසර ලබාදුන්නේය. මෙම තත්ත්වය තුළ විරෝධතා ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දෙන ලදි. ඉන්පසු විරෝධතා ඉදිරිපත් කෙරිණි.
‘ගරු විනිසුරුතුමනි, මෙම පෙත්සම සලකා බැලීමේදී පෙත්සමේ සඳහන් කරුණුවලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවක් නොපෙනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තියට අනුව එය මූලික අයිතිවාසිකම් කඩකිරීමේ ආයාචනයක් ලෙස සැලකිය නොහැකිය. ඒ අතර ම පෙත්සම්කරු විසින් ප්‍රකාශ කර ඇති පරිදි, පෙත්සම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 ව්‍යවස්ථාවේ සහ ඊට අදාළ වගන්තිවල අධිකරණ බලය ඉල්ලා සිටීමට උත්සාහ කළද, එය මූලික අයිතිවාසිකම් තුළ ආවරණය කළ නොහැක.
ඒ හා සමානව, මෙම පෙත්සම පොදු නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 118 වැනි වගන්තියට අදාළ කරුණු සම්බන්ධයෙන් අධිකරණයේ අධිකරණ බලයට අයත් නොවේ. ඒ අතර ම මෙම පෙත්සම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනි වගන්තිය යටතේ (ව්‍යවස්ථාපිත වගන්ති සහ ව්‍යවස්ථාමය නීති විද්‍යාව) සලකා බැලිය නොහැක.
එබැවින් මෙම පෙත්සම අදාළ ව්‍යවස්ථාපිත යෝජනා ක්‍රම යටතේ ඇති පෙත්සමක් නොවේ. නියමිත ක්‍රියාපටිපාටියෙන් පසුව පෙත්සම ඉදිරිපත් කර නැත. එබැවින් එය ප්‍රතික්ෂේප කළ යුතුය.
එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව ද පෙත්සම්කරු සඳහන් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය 2015 දී සම්මත විය. දැන් මූලික අයිතිවාසිකම් කඩකිරීමේ පෙත්සමක් ගොනුකොට ඇත්තේ එම පෙත්සම ගොනුකිරීමේ කාල සීමාව ඉකුත්වීමෙන් පසුව ය.
එසේම 19 වැනි සංශෝධන පනත දැනට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එසේ සම්මත කරන ලද නීතියක් සමාලෝචනය කිරීමට මෙම අධිකරණයට නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 124 වැනි වගන්තිය හරහා මෙය පැහැදිලි වේ. (නීතිමය මූලාශ්‍රවල වලංගුභාවය සහ ව්‍යවස්ථාදායක පනත් ප්‍රශ්න නොකළ යුතුය.)
ඒ නිසා මේ පෙත්සම ඉදිරියට ගෙනයෑමට නොහැකිය.’
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්ක ද සිල්වා පෙත්සම් විභාගයේදී එසේ අවධාරණය කළේය.

ඉන්අනතුරුව මැදිහත්කරුවන්ට තම විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලදි. පළමුව ජනාධිපති නීතීඥ බර්මන් කාසිම් සමග ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා පෙනීසිටිමින් පෙත්සමේ මැදිහත්කරුවකු වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා

‘මෙම පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(6) වගන්තිය (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ අවලංගු කිරීම ප්‍රසිද්ධ විය යුතුය) ඉතා පැහැදිලි ය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත දැන් සම්මත වී තිබේ. එය හරි වුවත්, වැරදි වුවත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කරන්න අවස්ථාවක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 118 වැනි වගන්තිය යටතේ පෙත්සමේ ඇති කරුණු විභාග කිරීමට මෙම අධිකරණයට බලයක් නොමැත. ඒ වගේම 125 වැනි වගන්තිය ඉතා පැහැදිලි ය. එනම් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලබාදෙන්නේ පහළ උසාවිවලට අදාළ කාරණාවලදී පමණි.
එබැවින් මෙම පෙත්සම සලකා බැලිය නොහැක.’

ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි කේ. කනගීෂ්වරන් මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
‘ගරු විනිසුරුතුමනි, මෙම පෙත්සම ඉදිරියට ගෙනයෑමට නීතිමය බලයක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමක් මෙහිදී සිදු නොවේ. නීතිපතිතුමනි, මේ කාරණයේ තිබෙන විශේෂිත කරුණු අපිත් පිළිගන්නවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 (3) වගන්තිය (නීති සම්පාදනය වන විට) ඉතා පැහැදිලි ය. එවැනි අවස්ථාවක සම්මත වූ නීතියකට අභියෝග කළ නොහැක. ඒ නිසා මේ පෙත්සම ඉවත දැමිය යුතුයි.’

ජනාධිපති නීතිඥ නයිජල් හෙජ් සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

පෙත්සමේ තවත් මැදිහත්කරුවකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හෙජ් කරුණු ඉදිරිපත් කළ අතර, තවත් මැදිහත්කරුවකු වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ විශේෂ ප්‍රශ්නයක් මතුකළහ. එනම්, ‘මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීමේ පෙත්සම ගොනු කර ඇති පෙත්සම්කරු විසින් පසුගිය 2019 වසරේ ද අධිකරණයට රිට් 10/2019 අංකය යටතේ රිට් පෙත්සමක් ද ගොනු කර ඇති බවයි.
ඒ වන විට පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය නතර කරන ලෙස ඉල්ලා මේ පෙත්සම්කරු පෙත්සමක් ගොනු කර තිබිණි. එදින ද ඔහු ඉදිරිපත් කර තිබුණේ මේ දේවල්ම ය. එවිට අධිකරණය එම අභියාචනය ප්‍රතික්ෂේප කරන ලදි. පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට පමණක් නොව පෙත්සම්කරු විසින් ජනතා කැමැත්ත වැළැක්වීමට උත්සාහ කරන බැවින් නඩු ගාස්තුව ගෙවන ලෙස ද නියෝග කරන්නැයි මේ ජනාධිපති නීතිඥවරු ඉල්ලා සිටියහ.

ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්

‘විනිසුරුතුමනි, මෙම පෙත්සම ආරම්භයේදීම නිෂ්ප්‍රභ කළ යුතුයි. සම්මත වූ නීතියක් සමාලෝචනය කිරීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් හෝ බලයක් නොමැත. මේ හැර මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට වෙනත් කරුණු අවශ්‍ය නොවේ.’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 (4) වගන්තිය පැහැදිලි කරමින් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මේ පිළිබඳව තර්ක ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර චමින්ද්‍ර ලේනවගේ පෙත්සමට සහාය පළකරමින් ගොනුකර තිබූ අතරමැදි පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දැක්වීමට උත්සාහ කළ අවස්ථාවේදී අගවිනිසුරුවරයා සඳහන් කළේ පෙත්සම්කරුගේ ස්ථාවරය දැනගැනීමෙන් අනතුරුව ඒ ගැන සලකා බලන බවයි.
ඉන්පසුව පෙත්සම්කරුට පවතින විරෝධතා පැහැදිලි කිරීමට සහ පිළිතුරු දීමට අවස්ථාවක් ලබා දෙන ලදි.

විරෝධතාවලට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කළ පෙත්සම්කරු 2019 වසරේ ගොනු කළ රිට් පෙත්සම පිළිබඳව පළමුව පැහැදිලි කළේය. ඔහු සඳහන් කළේ ජනාධිපතිවරණයට බාධාකිරීමේ අරමුණින් මෙම පෙත්සම ගොනු කර නොමැති බවත්, නීතීඥවරුන් වැරදි අවබෝධයකින් මෙම කරුණු ඉදිරිපත් කර ඇති බවත් ය. එමෙන්ම පෙත්සම විභාග කළ එක් විනිසුරුවරයෙකු වූ ප්‍රසන්න ජයවර්ධන (දැන් මිය ගොස් ඇති) පෙත්සම ගොනුකිරීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රශංසා කළ බව ද පෙත්සම්කරු මෙහිදී සඳහන් කළේය.

දීර්ඝ කාලයක් පෙත්සම්කරු සිය ස්ථාවරය ඉදිරිපත් කරද්දී විනිසුරු එස්. තුරෙයිරාජා විසින් 2019දී පෙත්සම්කරු ගොනුකරන ලද රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු බිඳදැමීය.
විනිසුරු තුරෙයිරාජා : මම 2019 රිට් පෙත්සම විභාග කළ විනිසුරුවරුන්ගෙන් කෙනෙක්.
පෙත්සම්කරු : මට මතකයි ඔබ තුන්වැනිදා එහි සිටියා.
විනිසුරු තුරෙයිරාජා : තුන්වැනිදා විතරක් නෙමෙයි. දවස් තුනේම මම හිටියා. මම ප්‍රසන්න ජයවර්ධන සහ අනෙක් විනිසුරුවරුන් එක්ක නඩුව ඇහුවා. මම මෙච්චර වෙලා නිහඬව ඉඳලා නඩුව සලකා බැලු‍වා.
මුල් ලියවිල්ල මා ළඟ තියෙනවා. විනිසුරු ප්‍රසන්න ජයවර්ධන කවදාවත් ඔබට ප්‍රශංසා කළේ නැහැ. ඒ වෙනුවට අවවාද කළා. කරුණක් ගැන හොඳින් සිතා බලා කරුණු ඉදිරිපත් කරන්නැයි අවවාද කළා. නමුත් ඔබ දැන් ඉදිරිපත් කරන්නෙත් එම කරුණුමයි.
අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙත්සම්කරුගේ ස්ථාවරය සහ පෙත්සම විභාගයට ගැනීමට අධිකරණයට ඇති අධිකරණ බලය පිළිබඳව විමසා සිටියේය.
නීතිවිරෝධී ජනාධිපතිවරණය පැවැත්වීම තුළින් තමන්ගේ සහ ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය වන බව සඳහන් කළ පෙත්සම්කරු, එම නිසා මෙය මූලික අයිතිවාසිකම් කඩවීමක් යටතේ විභාග කළ හැකියැයි පැවසීය.
ඉන්පසු විනිසුරු විජිත් මලල්ගොඩ ද පෙත්සම්කරුගෙන් ප්‍රශ්න ඇසීය. මේ අතරතුර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ ආකාරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ පෙත්සම්කරු විනිසුරුවරයාගෙන් පිළිතුරු කිහිපයක් අපේක්ෂාවෙන් කරුණු ඉදිරිපත් කළේය.
විනිසුරු විජිත් මලල්ගොඩ මෙහිදී තරමක් දැඩි ස්වරයකින් පෙත්සම්කරුට තරවටු කරමින් පෙත්සම්කරු කරුණු තහවුරු කළ යුතු බවටත්, විනිසුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට පෙත්සම්කරුට අයිතියක් නොමැති බවටත් අවවාද කළ අතර, පෙත්සම්කරු තම සීමාව ඉක්මවා කරුණු ඉදිරිපත් නොකළ යුතු බවට ද අවවාද කළේය.
ඉන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙත්සම්කරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය කියවා එහි සඳහන් දේ පැහැදිලි කරන ලෙස පැවසීය. එවිට පෙත්සම්කරු ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බව පිළිගත්තේය.
මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රශ්න කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදී ඇති අර්ථ නිරූපණය පිළිබඳව තමන් දන්නේද යනුවෙනි. එයට පෙත්සම්කරු ඔව් ලෙස පිළිතුරු දුන්නේය.
එහි පිටපතක් ඔබ ළඟ තිබේදැයි අගවිනිසුරුවරයා පෙත්සම්කරුගෙන් විමසූ විට, එහි පිටපතක් තමන් ළඟ නැති නමුත් තමන් ඒ ගැන දන්නා බව කීවේය.
මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය පැවසුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් අර්ථ නිරූපණයේ සංශෝධනයේ 03 වැනි පරිච්ඡේදය ක්‍රියාත්මක කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් කර නොමැති බව පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, 19 වැනි සංශෝධනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය නිසිපරිදි සංශෝධනය නොකළ බව පෙත්සම්කරු දිගින්-දිගටම කියා සිටියේය. අවසානයේ පෙත්සම්කරු ද එකඟ වූයේ වත්මන් නීතියට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බවටයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තියට අදාළව පෙත්සම්කරු ඉදිරිපත් කළ කරුණු නිරීක්ෂණය කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය කරුණු පැහැදිලිව නොදැන අධිකරණයේ සහ නීතිඥවරුන්ගේ කාලය නාස්ති නොකරන ලෙස පෙත්සම්කරුට අවවාද කළේය.

Related articles

මහර රැඳවියන් ඝාතන නඩුව ඉවත් කරගැනීම : නීතිපතිගේ හදිසි තීන්දුව පිළිබඳ බරපතළ සැකයක් !

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමත්, එය අපරාධයක් බවට කරුණු අනාවරණය වී ඇති නිසා ඊට වගකිවයුතු...

සීෂෙල්ස් නව නීතිපති ධුරයට ශ්‍රී ලාංකික නීතිඥයෙක් !

ශ්‍රී ලාංකික නීතිඥයකු වන වින්සන්ට් පෙරේරා සීෂෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා වශයෙන් දිවුරුම් දෙයි.අද (16) ඔහු එරට රාජ්‍ය මන්දිරයේදී...

‘ඉඳුදුන්න නැමුන තැන’ – උපුල් සේනාධිරිගේ

ජීවිතය කරනුයේ ඔහුගෙන් එකිනෙක පැහැර ගැනීමය. පළමුව එසේ පැහැරගන්නා ලද්දේ ඔහුගේ මසැසය. එවිට හේ සැරයටියද ගෙන ගමන් ඇරඹීය....

වසරේ චිත්‍රපටය ලෙස හැදින්විය හැකි ‘The Substance’ (2024)

වසරේ චිත්‍රපටය විදිහට හඳුන්වන්නට පුළුවන්. නරඹන්නට තෝරගන්න ප්‍රධානතම හේතුවක් විදිහට අධ්‍යක්ෂකවරියව නම් කළ හැකියි. Revenge (2017) කියන අපූරු...