සුනිල් විජේසිරිවර්ධනගේ – මතු මතක
… සාහිත්‍ය කලා විචාරයේ ජීවවාසික මානය යනු සමතික්‍රමණ (transcending ) මාවතකි ;තවද එය සාකල්‍යවාදී (holistic) මාවතකි. එහි සමාජ සාධාරණය පිළිබඳ උනන්දුවද ,මිනිස්දයාව හා කරුණාව පිළිබඳ උනන්දුව ද එකට අත්වැල් බැඳ සන්ධානගතව සිටින්නේ යැයි අපි අවධාරණය කරමු .
- ජීවවාසික විචාරය _ සුනිල් විජේසිරිවර්ධන
මිතුරෙක් තවත් මිතුරෙකු හා සිනාසෙයි : මවක් සිය ළදරුවා නළවයි.,එළදෙනක් තවත් එළදෙනකට ඉඩදී ඇයගේ ඇඟ ලොවයි : මේවා පිටුපස ඇති නොමිණිය හැකි අගය මගේ සිතට එක එල්ලේම දැනෙයි.
මේ අවධිය ගැන වූ මගේ සංකල්පනාව මෙසේ දක්වමි .
එකිනෙකාට ආචාර කරමින්
ලෝක රැසක් මගේ හද තුළට
රිංගා ගත් හ. ඒ සඳහා
හදිසියෙනි මගේ හදවතෙහි
දොරටු හැරුණේ.
මෙය කෙසේ විනිදැයි
මම නොදනිමි.
- මතක සටහන් රවීන්ද්‍රනාත් තාගෝර්_ පරිවර්තනය _ පද්මා කුරුප්පු
මුල් උද්ධෘතය සුනිල් විජේසිරිවර්ධනගේ ජීවවාසික විචාරය කෘතියේ ලාල් හෑගොඩගේ කවි සම්බන්ධ ලිපියෙන් ගත් එකකි. ඒ අදහස සුනිල් විජේසිරිවර්ධනගේ මතු මතක කෘතිය විභාග කිරීම පිණිස ද අත්වැලක් සපයයි. දෙවන් උද්ධෘතය රවීන්ද්‍රනාත් තාගෝර්ගේ මතක සටහන් අතරිනි. මනුෂ්‍ය සබඳතාවල මතු නොව සත්ත්ව ලෝකයේ සබඳතාවල ආදරණීය මානයන් වෙතින් පිබිදෙන තාගෝර්ගේ අධ්‍යාත්මික ලෝකය ඒ උද්ධෘතයට හසු වෙයි .
විජේසිරිවර්ධනගේ කවිය විඳින්නට විභාග කරන්නට හැල්මේ නුදුවන නතර වූ මිනිසෙකු අවශ්‍ය බව මේ කෘතිය කියවන විට පෙනෙයි. බර්ට්‍රන් රසල් ගැටුම් ත්‍රිත්වයක් ලෙස දුටු දේ සම්බන්ධතා ත්‍රිත්වයක් ලෙස දකිමින් ද ඒවා හුදෙක් එකිනෙකින් වියුක්තව නොව එකිනෙක අතර අප්‍රමාණ බැඳී පවතින්නේය යන අදහසත්; ඒ සබඳතා නීරෝගීව පැවතීමේ වටිනාකම වටහාගත් මිනිසකුගේ ස්වරමාලාවත් ඔහුගේ කවියෙන් ඇසෙයි. ඔහුගේ ‘ මගීන් තිදෙනා’ නම් කවියේ තවම නොපැමිණි තුන්වන මගියාගේ පැමිණීමට අවශ්‍ය මාර්ගය එළිපෙහෙලි කරන මිනිසකුගේ අධ්‍යාත්මය ද මේ කවි කවි කෙරෙන් ඇසෙයි.
උවමනා වී තිබේ මගියකු
අහස් ලකුණු ද බලමින් දුම් රේඛාද දකිමින්
පොළොව ද අඟලින් අඟල පාදා මග සදමින්
අහර ද පැන් ද ගමන් මල්ලේ බහාගෙන
ඉවසිල්ලෙන් සිහියෙන් තරණයට යන
විජේසිරිවර්ධනගේ කවිය සිංහල කාව්‍ය සම්ප්‍රදාය වෙතින් මනා පෝෂණයක් ලබන කවියකි. එහෙත් අමරසේකර පෙන්වා දෙන්නාක් මෙන් සම්ප්‍රදාය යනු හුදු එක් මූලයක ආරම්භයකින් පැන නොනගින බව විශ්වාස කරන විජේසිරිවර්ධනගේ කාව්‍ය භාවිතය තුළ ගිනි අඟුරු රතින් මල් පිපෙන කිඹුල්වත්පුරට යන මග කියන කාළු දායි තෙරුන් වහන්සේත්, ‘ ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට ‘ යැයි ලියූ වීදාගම තෙරුන්වහන්සේත්, ‘ අවට සුපිපි සපු දුනුකේ සහළාන _ හඬන තැනින් තැන විලිකුලු කිරලාන ‘ යැයි ලියූ රාහුල හිමියන් ද හමුවෙයි. තව විටක තුරු ගොමු හා දොඩන්නායැයි අක්මතෝවා හැඳින් වූ පැස්ටනැක්ගේ කවි මගත්, බෝල්ටික් වෙරළ බඩ පයින් ගෙඩිවලට තුඩ තියන ලෙහෙනුන් හඬට සවන් සුසර කළ ෆවුස්ටවුස්කිගේ කටහඬත් ඔහුගේ කවිය කෙරෙන් දිස්වෙයි.
අනුරාධපුර තිසාවැව අඩවියේ ගෙවුණු ඔහුගේ ළමා කාලය අපට ඇසෙන්නේ මානව්සිංහ,සේකර වැනි මෑත කාලයෙ අපේ කවියන්ගේ කටහඬ ද සමගිනි. ‘ මොනවද් අම්මේ අකුරු ජාතියක් මල්පෙතිවල කවුදෝ ලියලා’ යැයි මවගෙන් අසන ළමයකුත්, සොබාසොඳුරු සිරි මෙලොවේ ඔබේ ඇසිනි මා දුටුවේ යැයි කියන සංවේදී සේකර කෙනෙකුත් විජේසිරිවර්ධනගේ කවියේ සිටියි. පහත දැක්වෙන්නේ චමත්කාරය නම් වු ඔහුගේ කවියයි.
චමත්කාරය
සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ…
- මහගම සේකර
පොබයයි චමත්කාරය මකුළු දැලැ’වුණු පිනි අතර ,
වන අරන් බිම සතුන් දිය බොන රහස් විල් තෙර,
නුවරුන් නෙතින් වසන් වුණු උස්ම ගිරි මුදුනත
කොකුන් රන්පියාතර සරණ හිම්දිරි ගුවනත
පොබයයි චමත්කාරය උරා බී මිහි මවු කිර
අහසට නැඟෙන තුඟු වනස්පති මුදු’ නතර ,
බිලයක කුරුලු දරුවන් ඉස්පාසුව නිදන සඳ,
ළමා වතක මඳහසේ , පියාසැරි සිහිනයක් මැද .
චමත්කාරය ඉසියුම්; බිඳෙනසුලුයි වැරදි අතකින්,
වැරදි හඬකින්_ මතු නොව,වැරදි නෙතකින් වුව ද ;
කයෙන් ඔබ කෙතරම් විසල් තුටු ලොවක් වෙද!
වැලඳ ගනු නොහැකිය,රවටනු ද නොහැකිය
මීට වසර ගණනකට පෙර නන්දන වීරසිංහ කිවිඳුන් ‘ විඳිමි’ නම් කවිය සඳහ පාදක කරගත්තේ ද උදෑසන තුරු අතුපතර දුටු කුරුලු ලෝකයය. ඔහු එය අවසන් කළේ මෙලෙසිනි.
නරඹම් තනිව
විඳගමි මිහිර
හඬකින් පමණ
රිදවම් කෙලෙස
විජේසිරිවර්ධනගේ කවිය ද සතාසීපාව,පක්ෂියා, ඇළදොළ, ජලාශ කෙරෙහි තියුණු සංවේදීතාවයකින් බැඳෙන අයුරු චමත්කාර ජනකය .
ආදරය ගැන ලියවෙන විජේසිරිවර්ධනගේ කවිය ද සොබාදහම වෙත සියුම් ලෙස සුසර කළ එකකි. ඒ යන්ත්‍රයට සරිලන සේ ලිහිසි
තෙල්වල දුශ්‍රාවීතාවය වෙනස් කර ගන්නා සේ විජේසිරිවර්ධන කවියට අවශ්‍යතරමට භාෂාව උකු කර ගනියි.
පැරණි ආදර කවියක් නම් කවියේ අවසානය කෙතරම් රමණීය ද?
කවුළු දොරින් හෙමින් එන
සුවඳවත් සැඳෑ මුහුදු සුළං මෙන්
ඔබේ ආදරය ගලා ආවේය!
මට තිබුණේ හුස්ම ගන්න විතරයි.
මෙබඳු කෙටිලිපි මගින් මේ කාව්‍ය සංග්‍රහයට සාධාරණය ඉටු කළ නොහැක. මේ කෘතිය ගැන සංවාද මණ්ඩපයක් කොහේ හෝ අප තනා ගත යුතුය.