ජයග්‍රහණ පිපාසයකින් පෙළෙන ජ්‍යෙෂ්ඨයා

Share post:

එංගලන්තය පරාජය කළ ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
මෙවර ලෝක කුසලානයේ දැනට ඉහළම දස්කම් පෙන්වා තිබෙන සහ අවසන් මහා තරගය ජය ගැනීමටත් වැඩිම ඉඩක් තිබෙන කණ්ඩායම ඉන්දියාව බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවෙයි.
දැනට ක්‍රීඩා කළ සෑම තරගයක්ම ඔවුන් පහසුවෙන් ජය ගත්තා.
පිතිකරණය සහ පන්දු යැවීම යන අංශ දෙකෙන්ම ඔවුන් සෙසු සෑම කණ්ඩායමකටම වඩා ඉදිරියෙන් සිටියා.
විශේෂයෙන්ම නායක රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රිත් බුම්රා ඉන්දීය කණ්ඩායමට අතිරේක වාසියක් ගෙන එනවා.
ශ්‍රේණිගත කිරීම් කුමක් කීවත් මේ ආකෘතියේ ලොව හොඳම පිතිකරුවා රෝහිත්.
තර්කයකින් තොරවම මේ ආකෘතියේ වටිනාම ක්‍රීඩකයා ජස්ප්‍රිත් බුම්රා.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ නිල බලය ඉන්දියාව සතු නිසාත්, ඔවුන් එම බලය සිය කණ්ඩායම වෙනුවෙන් යොදා ගැනීමට කිසිඳු මැලිකමක් නොදක්වන නිසාත්, ලෝක කුසලානය පුරාවටම ඉන්දියාවට විශේෂ වරප්‍රසාද හිමි වූ බව බොරුවක් නෙවෙයි.
එනමුත් ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට සුදුසුයි. ඔවුන් ඒ බව දැනටමත් ඔප්පු කර අවසන්.
ඔවුන්ගේ ජයග්‍රහණ සහ ඔවුන් පැමිණි ගමන අයි.සී.සීයෙන් ඔවුන්ට හිමි වන වරප්‍රසාද මත දමා අවලංගු කළ නොහැකියි.
ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානයේ සාර්ථක වූවත්, ඔවුන්ගේ ප්‍රධාන පිතිකරු විරාත් කෝලි තරගාවලිය පුරාම අසාර්ථකයි.
නොම්මර තුන ස්ථානයෙන් අඩියක් ඉදිරියට පැමිණ ආරම්භක පිතිකරණ ස්ථානයක ක්‍රීඩා කරන කෝලිට සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වුණා.
එනමුත් විරාත් කෝලි වැනි අත්දැකීම් බහුල, ජයග්‍රහණ පිපාසයකින් පෙළෙන ක්‍රීඩකයෙකු විසින් කණ්ඩායමකට එක් කරන්නේ පිත්තෙන් ලබා ගන්නා ලකුණු පමණක් නොවෙයි.
ඔවුන්ගේ දායකත්වය පුළුල් පරාසයක පැතිරෙනවා.
ඊට හොඳම උදාහරණයක් සුපිරි අට වටයේ බංග්ලාදේශය සමග තරගයේ දී දැකගත හැකි වුණා.
ඉන්දීය ලකුණු පුවරුව 108 ක් වෙද්දී කඩුලු හතරක් දැවී ගොස් තිබුණා. උප නායක හාර්ඩික් පාන්ඩ්‍යා සහ නවක ක්‍රීඩක ශිවම් ඩූබේ කඩුල්ලේ රැඳී සිටියා.
ජයග්‍රාහී ඉලක්කයක් ගොඩනැගීම උදෙසා මේ මොහොතේ පාන්ඩ්‍යාගේ ඉනිම ඉන්දීය කණ්ඩායමට අතිශය වැදගත් වුණා.
ඒ මොහොතේ පාන්ඩ්‍යා සුදානමින් සිටියේ වේගයෙන් ලකුණු ලබා ගැනීමටයි.
ඉන්දීය ඉනිම වේගවත් කිරීමට ඔහුට අවශ්‍ය වුණා.
ඔහු සිය යටි අත එනම් දකුණු අතෙන් වැරෙන් පිත්ත අල්ලාගෙන සිටියා.
එය ඔහුගේ පාද කලාපයෙන් (On side) විශාල පහරවල් එල්ල වෙන බවට පූර්ව සංඥාවක්.
දැවී ගොස් සිටි විරාත් කෝලි විසින් පිත්ත ඔසවා පාන්ඩ්‍යා ට යම් දෙයක් සංඥා කළේ ඒ මොහොතේයි.
විරාත් කෝලි විසින් පාන්ඩ්‍යා ට සංඥා කළේ පන්දුව තනතීරුවේ වැදී වේගය මදක් අඩාල වෙන බවත්, එම නිසා ඔහු පිත්ත අල්ලා සිටින ක්‍රමය (Grip) වෙනස් කරන ලෙසත්.
දකුණත වෙනුවට පාලනය කරන උඩු අත එනම් වමතින් තදින් පිත්ත අල්ලන ලෙසටත්, නිරතුරුවම පන්දු යවන්නාගේ හිසට ඉහළින් වන කලාපය ඉලක්ක කරන ලෙසටත් කෝලි සංඥා කළා.
කෝලිගේ සංඥාවෙන් පසුව පාන්ඩ්‍යා සිය ඉරියව්ව වෙනස් කළා.
එමෙන්ම හැකිතාක් පන්දු යවන්නාගේ හිසට ඉහළින් ලකුණු ලබා ගැනීමට උත්සාහ කළා.
තනතීරුවේ ස්වභාවය අනුව කෝලිගේ කියවීම නිවැරදි බව ඉතාම ඉක්මණින් ඔප්පු වුණා.
පන්දුව හරවා පහර එල්ල කරන යටි අත් පහරවල් වෙනුවට උඩු අතින් ක්‍රීඩා කළ පාන්ඩ්‍යා ඒ ආකාරයෙන් හයේ පහර හතරක් එල්ල කළා.
කෝලි ගේ සංඥාව නොවන්නට, මන්දගාමී තනතීරුවේ පාන්ඩ්‍යා දැවී යාමටත් තිබුණා.
අවසානයේ පාන්ඩ්‍යා පන්දු 27 කින් නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තා. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියාත් ඔහු.
ඉන්දියාව ලකුණු 50 කින් තරගය ජය ගත්තා.
විරාත් කෝලි වැනි පිතිකරුවෙකු කණ්ඩායමට එක් කරනා වටිනාකම එයයි.
ඇතැම් විටෙක ඔහු අවසන් මහා තරගයේ දී සාර්ථක වේවි, ඇතැම් විටෙක එසේ නොවේවි.
එනමුත් මෙවැනි අත්දැකීම් බහුල, ජයග්‍රහණ පිපාසයකින් පෙළෙන, ක්‍රීඩාව වැටහෙන, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමට එක් කරනා වටිනාකම් ලකුණු පුවරුවෙන්ම මැනිය නොහැකියි.
ඔවුන්ගේ දැනුම, කියවීම සහ උණන්දුව ලකුණු පුවරුවෙන් මැනිය නොහැකි බොහෝ වටිනාකම් කණ්ඩායමකට එක් කරනවා.
ඔවුන් අසාර්ථක වූවත් නායකයන් සහ පුහුණුකරුවන් ඔවුන් මත විශ්වාසය තබන්නේ ඒකයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

    2024. 06. 28   

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...