ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකුගේ කතාවක්

Share post:

ඊයේ(27) මම ටොම් මූඩි ගැන ලිව්වා. අද ලියන්නෙත් ටොම් මූඩි ගැනමයි.
නමුත් ඒ පුහුණුකරු ටොම් මූඩි පිළිබඳව නොවෙයි, ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමක ක්‍රීඩා කළ ටොම් මූඩි නැමැති ක්‍රීඩකයා ගැනයි.
ඕස්ට්‍රේලියාව ක්‍රිකට් අධිරාජ්‍යයක් ගොඩනැංවීමට අත්තිවාරම දැමූ 1999 ලෝක කුසලාන ජය ගැන කතා කරද්දී රසික ගෞරවය හිමිවන ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සිටිනවා.
අවසන් තරග වල දී ශේන් වෝර්න් ගේ පන්දු යැවීම, දකුණු අප්‍රිකානු තරගයේ ස්ටීව් වෝ ගේ ශතකය, කොදෙව්වන්ට එරෙහි මැක්ග්‍රාත් ගේ පන්දු යැවීම පිළිබඳ රසිකයන් තවමත් කතා කරනවා.
එනමුත් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන්, 99 ජයග්‍රහණය පිළිබඳව කතා කරද්දී නිරතුරුව කියවෙන නමක් තිබෙනවා.
මාධ්‍යය සහ රසිකයන්ට අමතක වූ, එනමුත් ක්‍රීඩකයන් විසින් ලෝක කුසලාන ජයග්‍රහණය උදෙසා විශාල ගෞරවයක් ලබා දෙන ඒ ක්‍රීඩකයා ටොම් මූඩි.
ටොම් මූඩි 1999 ලෝක කුසලානයේ තරග හතකට ක්‍රීඩා කරමින් ලකුණු 117ක් රැස් කරනවා.
කඩුලු හතක් දවා ගන්නවා.
එය කිසිසේත්ම විශාල ගෞරවයක් ලබා දිය යුතු දත්ත වාර්තාවක් නොවන බව ඔබ කියාවි.
එනමුත් ඇතැම් ක්‍රීඩකයන් කණ්ඩායමක් තුල යහපත් බලපෑමක් ඇති කරන්නේ දත්ත වාර්තා වලින් පමණක්ම නොවෙයි.
1987 ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී ලෝක කුසලාන සංචිතයෙන්, 1999 තරගාවලියට ඉතිරිව සිටියේ ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණයි.
අයෙක් නායක ස්ටීව් වෝ. ඉතිරි ක්‍රීඩකයා 32 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ටොම් මූඩි.
ටොම් මූඩි අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර තිබුණේ ඉන් වසරකට පෙර වූවත්, ඔහු ලෝක කුසලාන සංචිතයට ඇතුලත් කිරීමට ඕස්ට්‍රේලියානු තේරීම් බලධාරීන් කටයුතු කළා.
ඒ නායක ස්ටීව් වෝ ගේ බලපෑම මතයි.
ස්ටීව් වෝ සහ ටොම් මූඩි පිටියෙන් පිටත ඉතා හොඳ මිතුරන් වුණා.
නමුත් ඔවුන් දෙදෙනා වෙනස් ගතිගුණ සහ පෞරුෂයන් තිබූ ක්‍රීඩකයන් දෙදෙනෙක්.
1999 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම උදෙසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්තයට පා තැබූ මොහොතේම ඕස්ට්‍රේලියානු නායකයා කණ්ඩායමට නව නීතියක් පැනවූවා.
එනම් ලෝක කුසලානය ජය ගන්නා තුරු කණ්ඩායමට බීර කෝප්පයක් හෝ තොල ගෑම තහනම්.
ඕස්ට්‍රේලියාව අවසන් වරට ජය ගත් 1987 ලෝක කුසලානයේදීත් නායක ඇලන් බෝඩර් මෙවැනි නීතියක් පනවා තිබුණා.
ඇලන් බෝඩර් ගේ කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයෙකු වූ ස්ටීව් වෝ, පසුව ජ්‍යේෂ්ඨ නායකයෙකු වූ විට ඇලන් බෝඩර් පැනවූ නීතියම සිය කණ්ඩායමට ගෙන ආවා.
ශ්‍රේෂ්ඨ පෞරුෂයන් සහ නායකත්වයන්, යොවුන් ක්‍රීඩකයන්ගේ මනසට බලපෑම් කරන්නේ එහෙමයි.
එනමුත් කාලය වෙනස් වී තිබුණා.
ඇලන් බෝඩර් ගේ කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් මේ නීතිය වැළඳ ගත්තත්, 99 ස්ටීව් වෝ ගේ කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් මේ නීතිය එතරම් ප්‍රිය කළේ නැහැ.
විශේෂයෙන්ම පා දඟ පන්දු යවන ශේන් වෝර්න්, ස්ටීව් වෝ ගේ එම නීතියට දැඩිව විරුද්ධ වුණා.
ඔහු කණ්ඩායමේ උප නායකයා ද වුණා.
පිටියෙන් පිටත ශේන් වෝර්න් අතිශය විනෝදකාමී ක්‍රීඩකයෙක්. බීර, සාද සහ කාන්තාවන් ඔහුගේ දුර්වලතාවය වුණා.
එනමුත් එය කිසිලෙසකින් හෝ ඔහුගේ පිටියේ දක්ෂතා වලට බලපෑවේ නැහැ.
පුද්ගලික ජීවිතය සිය ක්‍රීඩා ජීවිතයට බාධාවක් කර නොගැනීමට තරම් වෝර්න් දක්ෂ වුණා.
මේ අවස්ථාවේ කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් අතර පැවැති නොසන්සුන් හැඟීම් නායක වෝ ට සන්නිවේදනය කළේ ටොම් මූඩි.
ටොම් මූඩි ගේ ඉල්ලීම මත ස්ටීව් වෝ සිය නීති වෙනස් කළා.
ඒ අනුව ක්‍රීඩකයන්ට සිය රාත්‍රී ආහාරය සමග වයින් වීදුරුවක් හෝ බීර කෝප්පයක් තොල ගෑ හැකියි.
එමෙන්ම තරගයකින් අනතුරුව අවශ්‍ය නම් සැර බීමද ලබා ගත හැකි ලෙසට වෝ සිය නීති වෙනස් කළා.
එනමුත් එය සෙසු ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් වූයේ නැහැ.
නායකයා තමන්ට කුඩා දරුවන්ට මෙන් සලකන බවට හැඟීමක් ක්‍රීඩකයන් තුල තිබුණා.
එම නිසා ලෝක කුසලානය ආරම්භයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩා විවේකාගාරයේ සමගිය, විශ්වාසය සහ එකමුතුකම දුරස් වී තිබුණා.
එම නිසාමදෝ ඔවුන් පාකිස්තාන සහ නවසීලන්ත තරග පරාජය වුණා.
මෙම තරග දෙකටම ටොම් මූඩි ක්‍රීඩා කළේ නැහැ.
පිටිය තුලත් ක්‍රීඩකයන්ගෙන් උපරිමය නොලැබෙන බවට නායක ස්ටීව් වෝ ට හැඟුණා.
සිය සැලසුම සාර්ථක නොවන බව ඔහුට වැටහී තිබුණා.
ඕස්ට්‍රේලියාවේ ඊළග තරගය වූ බංග්ලාදේශය සමග තරගයට ටොම් මූඩි කැඳවීමට නායකයා තීරණය කළා.
එම තීරණයත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සමබරතාවය යළිත් පැමිණිය අයුරක් පෙනුණා.
ඉන්පසුව තරගාවලියේ සෑම තරගයකටම ටොම් මූඩි ක්‍රීඩා කළා.
ඔහු ලකුණු අඩුවෙන් පන්දු වාර දහයක් යවා අවසන් කළා. නොම්මර හත පිතිකරුවා ලෙසින් ප්‍රයෝජනවත් ලකුණු ලබා ගත්තා.
එය විශාල ලකුණක් හෝ දත්තයක් නොවෙයි. එනමුත් කණ්ඩායමේ සමබරතාවයට එය විශාල ධනාත්මක බලපෑමක් වුණා.
එපමණක් නොවෙයි.
පිටිය තුළත්, ඉන් පිටතත් යොවුන් ඕස්ට්‍රේලියානුවන් සහ නායක ස්ටීව් වෝ යා කළ පාලම ටොම් මූඩි වුණා.
අවසානයේ ටොම් මූඩිගේ බලපෑම මත ස්ටීව් වෝ මත්පැන් උදෙසා පැනවූ නීතිය ඉවත් කළා.
සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු සංස්කෘතිය අනුව ඔවුන්ට බීර අත්‍යවශ්‍ය අංගයක්.
ඔවුන් ඉඩක් ලද සෑම අවස්ථාවකම බීර වීදුරුවකින් සැනසෙනවා.
එය ඔවුන්ට ‘ජලය’ මෙන් අත්‍යවශ්‍ය පානයක්.
යොවුන් ක්‍රීඩකයන් වෝ ගේ නීතිය හමුවේ දැඩිව කලකිරී සිටීමට හේතුව එයයි.
නීතිය ඉවත් කිරීම සඳහා ස්ටීව් වෝ ට ටොම් මූඩි කියා තිබුණේ, එම නීතිය පැනවූවත් ඕස්ට්‍රේලියාව තරග පරාජය වූ නිසා එම නීතියෙන් කිසිඳු ධනාත්මක බලපෑමක් සිදුනොවන බවයි.
එපමණක් නොවෙයි.
තරගාවලිය අතරමැද දිනෙක ටොම් මූඩි මැදිහත් වී රිකී පොංටින්, ස්ටීව් වෝ, ශේන් වෝර්න් රැගෙන පීසා අවන්හලකට ගොස් තිබුණා.
එය ශේන් වෝර්න් ගේ ප්‍රියතම පීසා අවන්හලයි.
ඔහු වෝර්න් ට සහ වෝ ට නිදහසේ කතා කිරීමට ඉඩ සකසා දුන්නා.
එදින රාත්‍රී ආහාරයේ දී වෝර්න් සහ වෝ අතර තිබූ සියලූම සියුම් අමනාපකම් දුරු වී තිබුණා.
එකමුතුකම සහ මිත්‍රත්වය සියල්ලටම ඉහළ බව දෙදෙනාටම වැටහී තිබුණා.
තමන් දෙදෙනාගේම අරමුණ ඕස්ට්‍රේලියාවට යළිත් ලෝක කුසලානයක් ගෙන ඒම බව ඔවුන් අවබෝධ කරගෙන තිබුණා.
කණ්ඩායම තුල කිසිවෙක් හෝ එළිපිට කීමට ඉදිරිපත් නොවූ, එහෙත් ප්‍රබල ගැටලුවක් ටොම් මූඩිගේ මැදිහත් වීමෙන් විසඳා ගත්තේ එලෙසයි.
වෝර්න් සහ වෝ ගේ නව මිත්‍රත්වය සමග ඕස්ට්‍රේලියානු ක්‍රීඩා විවේකාගාරය අලුත් වුණා.
එය ජවයෙන් පිරුණා. එහි සහෝදරත්වය සහ ජයග්‍රාහී පිපාසය යළිත් ඇති වුණා.
එම ජයග්‍රාහී ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඇඩම් ග්‍රිල්‍කිස්ට් සිය චරිතාපදානයේ 1999 ඕස්ට්‍රේලියානු ලෝක කුසලානය ගැන මෙසේ ලියා තිබුණා.
“පරාජයන් ලැබූ කණ්ඩායම බංග්ලාදේශ තරගයේ දී ලැබූ ජයග්‍රහණයට පාදක වූයේ ටොම් මුඩී ගේ පැමිණීමයි.
ඔහු කණ්ඩායම් රැස්වීම් වල දී සිය අත්දැකීම් සහ මතය ඉතාම මිත්‍රශීලිව ඉදිරිපත් කළා. එය වෝර්න් සහ වෝ දෙදෙනාම පිළිගත්තා.
කණ්ඩායමේ විවිධ ක්‍රීඩකයන් සහ පෞරුෂයන් එකට දරා සිටි ආලේපනය (Glue) ටොම් වුණා. නායකයාගේ සිට යොවුන් ක්‍රීඩකයා දක්වා සැවොම ඔහුට ගරු කළා.
පසුකාලීනව මගේ ක්‍රිකට් ජීවිතයේ මට පැවරුණු වගකීම දෙවැන්නා වීමයි.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ තැන්වල නායකයා නොවී, පසුපස සිට සහය දෙන දෙවැනියා මම වුණා.
එවිට මා විසින් උදාහරණයට ගත්තේ ටොම් මූඩි එදා ලබා දුන් ආදර්ශයයි.”
1999 ලෝක කුසලානයේ ටොම් මූඩිගේ භූමිකාව පිළිබඳව ග්‍රිල්ක්‍රිස්ට් එසේ ලියා තිබුණා.
අවසානයේ ඕස්ට්‍රේලියාව 1999 ලෝක කුසලානය ජය ගත්තා.
මුල් වටයේ ඕස්ට්‍රේලියාව පරාජය කළ පාකිස්තානය, අවසන් මහා තරගයේ දී පහසුවෙන් පරාජය කරමින් ඔවුන් ලෝක කුසලානය ජය ගත්තා.
මුල් වටයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතු නොවී අමුතු එකතුවක්, බැඳීමක් අවසන් මහා තරගයේ දී පාකිස්තානුවන් දකින්නට ඇති.
එදින රාත්‍රියේ නායක ස්ටීව් වෝ තමන් විසින් බාගයක් හිස් කළ බීර බෝතලය, උප නායක ශේන් වෝර්න්ට ලබා දුන්නා.
දෙදෙනා ආදරයෙන් වැළඳ ගත්තා. සෑම අතින්ම ජය ඝෝෂා ඇසුණා.
ඒ සියල්ල පසුපස සිටි නිහඬ මිනිසා ටොම් මූඩි.
ඔහු නොවන්නට 1999 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට ඛේදාන්තයකින් අවසන් වීමටත්, ඔවුන්ගේ ක්‍රිකට් අධිරාජ්‍ය කිසිදා ආරම්භ නොවීමටත් තිබුණා.
ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් විසින් කණ්ඩායමක ධනාත්මක බලපෑම් ඇති කරන්නේ ලකුණු පුවරුවේ පමණක් නොවෙයි.
ඇතැම් විටෙක සිය මානව සම්බන්ධීකරණ කුසලතා වලින් පරාජයන්ගෙන් බැට කන කණ්ඩායමක්, ලෝක ශූරයන් බවට පත් කිරීමටත් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්ට හැකියි.
පසුකාලීනව ටොම් මූඩි සාර්ථක පුහුණුකරුවෙකු වීමට බලපාන්නට ඇත්තේත් ඔහුගේ මේ චරිතාංගමයි.
ඇතැම් විටෙක අප අර්ජුණ ලා, ඇලන් බෝඩර් ලා, සැරන් සැමී ලා ඉල්ලා සිටියත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ මොහොතේ රික්තකය වී ඇත්තේ ටොම් මූඩි කෙනෙකු විය හැකියි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

2024, 06, 27

Related articles

රසිකාගේ හරි අපුරු ‘‘ කොළඹ වැස්ස ““

වර්ණ රසිකා ගුණවර්ධන සහ මම එකිනෙකට වෙනස් මතයන් සහ කණ්ඩායම් නියෝජන කරන චරිත දෙකක් ඒක සංස්කෘතිමය සමාජීය හා...

උද්දිකගේ නාට්‍යයේ ඒඑස්පී හිටියේ කුප්‍රකට ව්‍යාපාරික තාඹුගල සමග මාලඹේ නිවසේ !

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව...

38න් 1 පරිච්ඡේදය – ව්‍යවස්ථාවේ බලතල යොදාගෙන නීතිවිරෝධී මැතිවරණ අල්ලස් දෙන රනිල් !

ජේ.ආර්. ජයවර්ධන 77 ඡන්දයෙන් ලංකාවේ අගමැතිවරයා විය. අගමැති ධුරයේ දිවුරුම් දුන් ඔහු ඒ වන විට ක්‍රියාත්මක වූ 72...

මිරුසුවිල් සමූහ ඝාතකට දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට : අපරාධයේ තරම කොතෙක්ද?

මිරුසුවිල් සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදාවේ කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට...