“පැරඩයිස්” හරහා පසුගිය ජූනි 28 වෙනි දින ප්‍රසන්න විතානගේ සනිටුහන් කළේ ශ්‍රී ලාංකේය සිනමාවේ ඉතිහාසගත දිනයක්

Share post:

“‘පැරඩයිස්”” (PARADISE) රටවල් 11ක් , ස්ථාන 302 ක්, සිනමාශාලා 500 ක්…දර්ශන වාර 1000ක්….
ශ්‍රී ලාංකේය සිනමාකරුවෙකුගේ සැබෑ ජාත්‍යන්තර වෙළෙඳපොළ ආගමනය සනිටුහන් වූ ඓතිහාසික දිනය “24 ජූනි 28″…..

“නුතන ජාත්‍යන්තර සිනමා වෙළෙඳපොලෙහි ශ්‍රී ලාංකේය සලකුණ” – ප්‍රසන්න විතානගේ

ජාත්‍යන්තරය තුළ සිනමා සබඳතා වැඩියෙන්ම ගොඩනගා ගැනීමට සමත්වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අසෝක හඳගම, සංජීව පුෂ්පකුමාර, චන්ද්‍රන් රත්නම්, අමරනාත් ජයතිලක ඇතුළු ලාංකේය සිනමාකරුවන් බොහෝමයකගේ සිහිනය වූයේ තමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් තම රට තුළ ප්‍රේක්ෂකයාට මුදාහරින දිනයේදීම නිළ ජාත්‍යන්තර වාණිජ බෙදාහැරීමක් ලෙසින් එය විදෙස් ප්‍රේක්ෂකයා වෙතද මුදාහැරීමය. නමුත් එය මෙතෙක් සිහිනයක්ම වී පැවතුණි.

අතීතයේ සිටම දේශීය නළු නිළියන්ට අමතරව හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ්, ලොලිවුඩ් ආදී නානවිධ සිනමා කර්මාන්ත තුළ වූ ප්‍රසිද්ධ නළු නිළියන්ගේ රංගනයන්ද සිය චිත්‍රපට තුළට එක් කරගනිමින්, තනි-සම-හවුල් ආදි විවිධ නිෂ්පාදන ආයෝජනයන් යටතේ සිංහල, දෙමළ, ඉංග්‍රීසී, උර්දු, ඉතාලි, බෙංගාලි ආදී විවිධ භාෂාවලින් චිත්‍රපට තනමින්, ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂකවරුන් ජාත්‍යන්තර වෙළෙඳපොළට අවර්තීර්ණ වීමට උත්සාහ දැරුවද පෙරකී ස්වරූපයේ ප්‍රවේශය අත්පත්කර ගැනීමේ අවස්ථාව ඔවුනට අහිමි විය. මන්ද එය එතරම්ම අසීරූ කාර්යයක් විය. “පැරඩයිස්” හරහා පසුගිය ජූනි 28 වෙනි දින ප්‍රසන්න විතානගේ බිඳ දැමූයේ, ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ නාමාවලියේ උප්පත්තියේ සිට පැවති ඒ අසීරූ බාධකයයි. “2024 ජූනි 28” ශ්‍රී ලාංකේය සිනමාවේ ඉතිහාසගත දිනයක් වන්නේ ඒ නිසාවෙනි.

ඒ අනුව තමන් උපන් රටේ ප්‍රේක්ෂකයාට නිළ වශයෙන් සිය චිත්‍රපටය මුදාහරින දිනයේදීම, එම චිත්‍රපටය විදෙස් රටවල් ගණනාවක නිළ වාණිජ පදනමින් මුදාහැරීමට සමත්වූ ශ්‍රී ලංකාවේ පළමු සිනමා අධ්‍යක්ෂකවරයා බවට ප්‍රසන්න විතානගේ ඊයේ දින පත්විය. එයට අමතරව, සිය චිත්‍රපටය හරහා ආරම්භක දිනයේදී වැඩිම රටවල් සංඛ්‍යාවක, වැඩිම ස්ථාන සංඛ්‍යාවක පිහිටි, වැඩිම සිනමා ශාලා සංඛ්‍යාවක , වැඩිම දර්ශන වාර සංඛ්‍යාවක් පැවැත්වීමට සමත්වූ ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරයා බවටද ප්‍රසන්න විතානගේ පත්විය. මෙහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් රාජ්‍යය, බහරේනය, සවුදි අරාබිය සහ ඕමානය යන රටවල් 11 ක් තුළ වූ ස්ථාන 302 ක පිහිටි සිනමා ශාලා 500 කට ආසන්න සංඛ්‍යාවක දර්ශනවාර දහසේ (1000 of Shows) සීමාව අභිබවා යමින් ‘පැරඩයිස්’ ජූනි 28 වෙනි දින තිරගවිය.
ප්‍
රසන්න විතානගේ විවරකරගත් මේ ද්වාරය “පැරඩයිස්”ට සීමා නොවිය යුතුය. ප්‍රසන්න විතානගේගේ අනාගත සිනමා නිර්මාණ හටද මෙම ද්වාරය විවර විය යුතුය. මන්ද මේ නිර්මාණ හා එක්වන ශ්‍රී ලාංකේය රංගන ශිල්පීන්ට හා කාර්මික ශිල්පීන්ට ඒ තුලින් හිමිවන ජාත්‍යන්තර අවධානය හා මූල්‍ය ප්‍රතිලාභ සුළුපටු නොවන නිසාවෙනි. එයට අමතරව මෙම විවර වූ ද්වාරයේ ප්‍රවේශය ප්‍රසන්න විතානගේට පමණක් සීමා නොවී, ශ්‍රී ලාංකේය අනෙකුත් සිනමා අධ්‍යක්ෂකවරුන්ටත්, විශේෂයෙන් නව පරපුරේ අධ්‍යක්ෂකවරුන්ටත් හිමිවේනම් එය අනාගත ශ්‍රී ලාංකේය සිනමා වෙළෙඳපොළේ ප්‍රසාරණයට දැඩි රුකුලක් ගෙනදෙනු ඇත. එහෙත් එය ඉතා කෙටි දින -මාස- වසර ගණනකින් අත්පත්කර ගත හැකි පහසු කාර්යයක් නොවන්නේ, ප්‍රසන්න විතානගේටද මේ ජාත්‍යන්තර ප්‍රවේශය ළගා කරගනු වස් වසර 25 කට අධික කාලයක් ජාත්‍යන්තරය තුළ සිනමාත්මක ගනුදෙනුවක යෙදීමට සිදුවූ බැවිනි.

“පැරඩයිස්” හා එක්වූ ප්‍රසන්න විතානගේ ප්‍රමුඛ මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු , ට්‍රිලන් ශාස්ත්‍රි, බුද්ධි සංජය, දමින්ද මඩවල, ප්‍රියන්ත දිසානායක, දමයන්ති ෆොන්සේකා, නන්දා ජයකොඩි, ප්‍රසන්න විජේසිංහ සැමට සුබ පැතුම්..

උදිත ලක්මාල් කහඳවආරච්චි (fb)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...