ජයග්‍රාහී සංයුතිය

Share post:

ඇෆ්ගන් කණ්ඩායමේ ජයග්‍රහණයත්, ඊට උරදුන් පුහුණුකරුවන් ගැනත් මම ඊයේ ලිව්වා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වර්ණමය යුගයක, අපට සම්මුඛ වූ විශිෂ්ඨ ප්‍රතිවාදියෙකු වූ ජොනතන් ට්‍රොට් පිළිබඳව එහි විශේෂ සඳහනක් තිබුණා.
ජොනතන් ට්‍රොට් විශිෂ්ඨ ක්‍රීඩකයෙක්. වර්තමානයේ විශිෂ්ඨ පුහුණුකරුවෙක්.
හිටපු එංගලන්ත ක්‍රීඩකයෙකු වූ ඔහු ඇෆ්ගන් කණ්ඩායමේ සාර්ථකත්වය පසුපස ප්‍රධාන සාධකයක්.
1996 ජයග්‍රාහී ලෝක කුසලාන කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙක් සහ මෙරට ටෙස්ට් නායකයෙකු වූ හෂාන් තිලකරත්න මෑතක දී මාධ්‍යවේදියෙකු සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණා.
එහිදී ඔහු 2015 වසරෙන් පසුව ඉතා විශාල මුදලක් ගෙවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බඳවා ගත් විදෙස් පුහුණුකරුවන් පිළිබඳ බොහෝ දෑ කිව්වා.
එහිදී ඔහු ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ ටොම් මූඩි සහ ඔහුගේ නිර්දේශය මත බඳවා ගත් විදෙස් පුහුණුකරුවන් පිළිබඳවයි.
ටොම් මූඩි ගණුදෙනුව පිළිබඳව බොහෝ ශ්‍රී ලංකා රසිකයන් දැනුවත් නැහැ.
ශ්‍රී ලංකාව ලෝක කුසලාන අනු ශූරතාවය දිනූ 2007 කාල සීමාවේ මෙරට පුහුණුකරුවා වූ ටොම් මූඩි, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උපදේශකයෙකු ලෙස පත් කළේ 2021 වසරේදීයි.
ඒ වසර තුනක කොන්ත්‍රාත්තුවක් සඳහා වාර්ෂිකව ඩොලර් 180,000 ක මුදලකට.
එය ආසන්න වශයෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ 550 ක් වැනි මුදලක්.
එතරම් ඉහළ ගෙවීමක් ලැබුවත් ටොම් මූඩි ශ්‍රී ලංකාවට පැමිණියේ හෝ නැහැ.
ඔහුට තිබුණේ ඕස්ට්‍රේලියාවේ සිටිමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට නිර්දේශ ඉදිරිපත් කිරීමට පමණයි.
එය එවැනි රැකියාවකට ගෙවිය යුතු මුදලට වඩා බොහෝ විශාල මුදලක්.
2021 වසර වනවිට මෙරට ක්‍රිකට් විශාල ලෙස කඩා වැටී තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යහමින් මුදල් තිබුණත්, කණ්ඩායම තරග පරාජය වුණා.
එම නිසා ක්‍රිකට් ආයතනයට ඒ ඉරණමෙන් මිදීමට අවශ්‍ය වුණා.
අනෙක් අතට එවකට ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් ආයතනයටත් ඉහළින් ක්‍රිකට් පාලන කමිටු පත් කළා.
කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, මුරලිදරන් ආදී හිටපු ක්‍රීඩකයන් ඒ කමිටු වල හිටියා.
ටොම් මූඩි ගෙන එන්නේ එවැනි කමිටුවක නිර්දේශයකින්. ඒ පසුපස සිටියේ මුරලි සහ අරවින්ද.
ක්‍රීඩා අමාත්‍යවරයා සමග ගැටුමක් අවශ්‍ය නොවූ නිසාත්, තමන්ට ඕනෑ තරම් මුදල් තිබූ නිසාත් ක්‍රිකට් ආයතනය මුරලි සහ අරවින්දගේ යෝජනාව පිළිගත්තා.
ටෝම් මූඩිට ඩොලර් 180,000 ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නා.
පසුකාලීනව හෙළිවූයේ ටොම් මූඩිට වාර්ෂිකව ලක්ෂ 550 ක තරම් ඉහල වැටුපක් ගෙව්වත්, ඒ සම්පූර්ණ වැටුප ඔහුගේ ගිණුමට නොගිය බවයි.
ඔහු නිර්දේශ කළ, ලෝක කුසලානයක් දිනූ කණ්ඩායමක විශිෂ්ඨ පිතිකරුවෙකු වූ හිටපු ක්‍රීඩකයෙකුට ඉන් කොටසක් බෙදී ගොස් තිබුණා.
එපමණක් නොවෙයි.
ඕස්ට්‍රේලියාවේ සිටිමින් ටොම් මූඩි සිදු කළේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට බඳවා ගත යුතු පුහුණුකරුවන් නිර්දේශ කිරීමයි.
සැබැවින්ම ඒ ටොම් මූඩි ගේ නිර්දේශයන් ම නොවෙයි.
ඔහු පත් කිරීමට කටයුතු කළ මෙරට හිටපු ක්‍රීඩකයන්ට අවශ්‍ය පුහුණුකරුවන්ගේ සහ ඔවුන්ගේ මිතුරන්, ටොම් මූඩිගේ නිර්දේශ ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් හි ‘හයි පර්ෆෝර්මන්ස් සෙන්ටර්’ (High Performance Centre) සඳහා බදවා ගත් පුහුණුකරුවන් එවැන්නන්.
මේ අතිබහුතරයක් පුහුණුකරුවන්, වෘත්තීය කණ්ඩායමක රැකියාවක් ලබා ගැනීමට තරම් සුදුසුකම් නොතිබූ පිරිසක්.
එනමුත් ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉහළ වැටුපකට රැකියා ලැබුණා.
ඒ ඉතාම ත්‍යාගශීලි ගණුදෙනුව පසුපස රහසක් පසුව හෙළිවුණා.
මේ පුහුණුකරුවන්ගේ වැටුපෙන් ද කොටසක්, ඔවුන් පත් කළ මෙරට ලෝක කුසලානයක් දිනූ කණ්ඩායමක හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු අතරේ බෙදී ගොස් තිබුණා.
එය ඉතා සූක්ෂම සැලසුමක්.
මේ ගණුදෙනුවට සම්බන්ධ හිටපු ක්‍රීඩකයන් කිසිඳු අයුරකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැටුපක් ලබා ගත්තේ නැහැ.
බැලූ බැල්මට පෙනුණේ ඔවුන් ස්වේච්ඡාවෙන් මෙරට ක්‍රීඩාව ගොඩනැංවීමට උපකාර කරන අයුරක්.
එනමුත් ඔවුන් කරළියේ පසුපස සිටිමින් සූක්ෂමව පුහුණුකාර කොන්ත්‍රාත්තු වලින් මුදල් ඉපැයූවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් හි ‘හයි පර්ෆෝර්මන්ස් සෙන්ටර්’ කොහොමත් ආන්දෝලනාත්මක තැනක්.
නමින් ගම්‍ය වන පරිදි ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නංවන වැඩසටහනක් එතැන දී ක්‍රියාත්මක වන්නේදැයි ඇත්තේ සැකයක්.
මන්ද බොහෝ යොවුන් ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් සීමා කරමින්, ඔවුන් කම්මැලි, අඩු කුසලතාවයන් සහිත ක්‍රීඩකයන් බවට පත් කළ බවට එම මධ්‍යස්ථානයට බොහෝ චෝදනා පවතිනවා.
එමෙන්ම හයි පර්ෆෝර්මන්ස් සෙන්ටර් හි සේවය කරනා විදෙස් පුහුණුකරුවන්, බොහෝ ක්‍රීඩකයන්ට පුහුණු ක්‍රීඩා පිටි තහනම් කරමින්, ඔවුන් ක්‍රීඩාවෙන් එලවා ගත් බවටද චෝදනා එල්ල වුණා.
ළහිරු තිරිමාන්න ඉන් අයෙක්. රොෂේන් සිල්වා තවත් අයෙක්.
මෑතක බිහි කළ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වූ රොෂේන්ට, මෙරට පුහුණු ක්‍රීඩා පිටි සහ දැල් තහනම් කිරීමට කටයුතු කර තිබුණේ ‘හයි පර්ෆෝර්මන්ස් සෙන්ටර්’ හි විදෙස් පුහුණුකරුවන් විසින්.
සාර්ථක ක්‍රීඩකයෙකු බිහි වීමට පුහුණුව අත්‍යවශ්‍යයි. අතීත ක්‍රීඩකයන් දැල් තුල සහ පිටියේ බොහෝ පුහුණුවීම් කළා.
සංගක්කාර ලා, මාලිංග ලා ලෝක පූජිත ක්‍රීඩකයන් වීමේ රහස පුහුණුවයි.
එනමුත් මේ මධ්‍යස්ථානයේ විදෙස් පුහුණුකරුවන්, නව ක්‍රීඩා න්‍යායක් ලෙස ‘වැඩ කළමණාකරනය’ (Workload management) හඳුන්වා දෙමින් බොහෝ යොවුන් ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් සීමා කර තිබුණා.
ඔවුන් දිනකට පුහුණු වන කාලය, දැල් තුල පන්දු යවන කාලය සහ පිතිකරණයේ යෙදෙන කාලය බොහෝ අඩු කර තිබුණා.
එහිදී මේ පුහුණුකරුවන් පෙන්වා දී තිබුණේ ක්‍රීඩකයන් රැක ගැනීම උදෙසා, අන්තර්ජාතික වැඩ කළමනාකරන න්‍යායන් අනුව තමන් කටයුතු කරන බවයි.
එනමුත් අන්තර්ජාතික තලයේ වැඩ කළමනාකරනය යොදා ගැනෙන්නේ වෘත්තීමය ක්‍රීඩකයන්ට මිසෙක, නැගී එන, යොවුන් ක්‍රීඩකයන්ට නොවෙයි.
යොවුන් ක්‍රීඩකයන්ට සිය කුසලතා ඔපමට්ටම් කර ගැනීමට ඇති ප්‍රධානම මාර්ගය පුහුණුවීම් පමණයි.
මෙරට ක්‍රීඩකයන් අතර ආබාධ සුලභ වීමටත්, සිය මූලික කුසලතා වැඩිදියුණු කර ගැනීමට අපොහොසත් වීමටත් එය ප්‍රධාන හේතුවක් වූ බවත් ඇතැමෙක් චෝදනා කළා.
ඇෆ්ගන් කණ්ඩායමට අතිශය දේශප්‍රේමී, ජයග්‍රහණ පිපාසයකින් පෙළෙනා ක්‍රීඩකයන් රැසක් සිටිනවා.
ඔවුන් සතුව ජොනතන් ට්‍රොට් වැනි වෘත්තීමය භාවයෙන් ඉතා ඉහළ පුහුණුකරුවන් සිටිනවා.
ඔවුන් සතුව නොමිළයේ මේ කණ්ඩායම වෙනුවෙන් තමන්ට කළ හැකි දේ කරනා අජේ ජඩේජා වැනි උපදේශකයන් සිටිනවා.
ඉන් එහා ක්‍රීඩාවෙන් වක්‍ර වාසි අත් කරගැනීමට උත්සාහ කරනා, හිටපු ක්‍රීඩක පන්තියක් ද ඔවුන්ට නැහැ.
ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරයක් කරගත් පරිපාලනයක් (දැනට) ඔවුන්ට නැහැ.
එම සංයුතිය, ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජය ගැනීමට උත්සාහ කරනා කණ්ඩායමකට ප්‍රමාණවත්.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

2024, 06, 26

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...