අපේ ළමා අවධිය රසවත් කළ ප්‍රධාන මාධ්‍යය වුණේ ගුවන්විදුලියයි. දෙවැන්න පුවත්පත්.හොඳ ගීත ශ්‍රවණය කිරීම ඔස්සේ රසඥතාව වර්ධනය කරන්නත් ගුවන් විදුලිය බලපෑවා.
සරල ගී,ඔබ කැමති ගී,හින්දි ගී,ශාස්ත්‍රීය ගී,බයිලා ගී,කණ්ඩායම් ගී වශයෙන් ගීත වර්ගීකරණය වුණෙත් ගුවන් විදුලියෙන් මයි.70 දශකයේ රිජ්වේ තිලකරත්න යුගයෙදි පබුද්ධ ගී සහ අවරගණයේ ගී යැයි භේදයක් ඇති කර තිබීමේ හොඳ සහ නරක ප්‍රතිපල නිසා ඇතැම් රසාලිප්ත ගී කොටු රාමුවක් ඔස්සේ තමයි ඇහුණේ..
බයිලා ගී යටතේ එහෙම ඇහුණු හඬක් තමයි එම්.එස්.ප්‍රනාන්දු…..මුලින් එහෙම ඇහුණත් පසුව වර්ගීකරණ සීමා ඉක්මවා යමින් ඔහුගේ හඬ ඇහෙන්න පටන්ගත්තෙත් රිජ්වේගේ නිර්දේශ මත ඔහු සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් ව A ශ්‍රේණියේ ගායකයකු වීම නිසයි.
“බෝල බෝල මැටි, ඔබට තියෙන ආදරෙ මම, ආදරවන්තී, කොඩි ගහ යට මම උපන්නේ, මම ටැක්සිකාරයා, මැණිකෙ මම, රස ආහර කවලා, කැකිරි පැලෙන, ලස්සන රෝස මලක්, සයිමන් අයියයි මාටින් අයියයි, ලස්සන අඹ ගසක්, එරන් කඳ, ඔබගේ රුව”යනාදී වශයෙන් විචිත්‍ර ගීතාවලියක් මතක් වෙනවා…..
මේ මතකයඅලුත් වුණේ අපූරු පොතක් නිසයි.ඒ පොතේ කර්තෘ අශෝක කුලතුංග. ඔහු කවියෙකු හැටියට ගමන ඇරඹුවේ.ඔහු ඉන්පසු සාහිත්‍ය විචාරය හදාරමින් පරිස්සමින්, ඉවසීමෙන් විචාර ඥානය පෝෂණය කරගනිමින් සිටින බව පේනවා. ඒ ගැන සතුටුයි. සූක්ෂ්මාත්මතාව සහිත මෙබඳු රචකයන් විරලයි.
MS THE MAGNiFICENT SAMSON ඔහුගේ අලුත්ම කෘතියයි. නම එසේ වුවත් මෙය සිංහලෙන් ලියවුණු පොතක්.එම්.එස් ප්‍රනාන්දු නමැති විශිෂ්ට ගායකයාගේ ජීවන තොරතුරු, ඔහුගේ ගීතාවලිය, එම ගීතවල පසුබිම ගැන අශෝකගේ ලිවීම සහ එම්.එස්. ගේ කලාව ගැන විවිධ මතධාරීන්ගේ විමර්ශන මේ පොතට ඇතුළත්.
ඔහු මේ පොත ලියන්න වසර හත අටක් හෝ ඊට ආසන්න කාලයක් වෙහෙස වූ බව මා පුද්ගලිකව දන්නවා. සංගීතයට සම්බන්ධ නැතත් රසිකයකු හැටියට මගෙන් ද කුඩා සටහනක් එක් කරගන්න කී වරක් මට කතා කළාද,ඒ කිසි ම විටෙක දොස් නොකියා ඉවසීමෙන් වැඩ කළාද යන්න මට මතක් වනවා. මෙහෙම වැඩක් මේ කවියා ඒ කාලේ පටන් ගත්තා නේදැයි මේ පොත දැක්කම මතක් වුණා. අශෝකගේ අකම්පිත ගුණය මේ උත්සාහය ඔස්සේ කැපී පෙනෙන වැදගත් ම ගුණයයි.
ඔහු එම්.එස්.ගේ තදබල රසිකයෙක්. ඒ නිසාමයි මේ පොත ලියවී තිබෙන්නේ.මෙහි ඇතුළත්
එම්.එස්.ගේ ජීවන තොරතුරු රසවත් ය.
එම්.එස්.ගේ අතීත තොරතුරු අතර මෙසේ වෙයි.
“එම්.එස්.ප්‍රනාන්දු ගායන කළ ගීතවලින් සීයට අනූවක පමණ පද රචනයත්, තනු නිර්මාණයත් ඔහුගේ ම වීම සුවිශේෂ ය. ගායනයෙන් ද පද රචනයෙන් ද තනු නිර්මාණයෙන් ද තම ගීත මනෝරම්‍ය කළ එම්.එස්.ට දිනක් අපූරු අවස්ථාවක් හිමි විය.ඒ ගල්කිස්ස මහ හෝටලයේ ගීත ගායනා කිරීමට ය. එවකට ගල්කිස්ස මහ හෝටලයේ ගීත ගායන කිරීමේ අවස්ථාව හිමි වූයේ සී.ටී.ප්‍රනාන්දු ගායනා ශිල්පියාට පමණි.ඒ වන විට ඔහු විදේශගත වීම නිසා ගල්කිස්ස හෝටලයේ සේවය කළ එම්.එස්.ගේ ඥාතියකුගේ මාර්ගයෙන් එම අවස්ථාව ඔහුට හිමි විය.කෝරස් ගීත කලාවේ තම අනුගාමිකයා වූ වෝල්ටර් ද මේ අවස්ථාවට සහභාගි විය.”මම ටැක්සිකාරයා”, රික්ෂොකාරයා, ගල්කිස්සේ හෝටලෙ ළඟ “යන ගීත එලෙස නිර්මාණය වූ කෝරස් ගීත කිහිපයකි, ගල්කිස්ස මහ හෝටලයේ ගීත ගායන කරන අතරතුර එම්.එස්.පොප් සංගීතය (POP STYLE) පිළිබඳවද හැදෑරීම් කළේ ය.මේ අනුව ශ්‍රී ලංකාවට පොප් සංගීත කලාව හඳුන්වා දීමේ පෙරටුගාමියකු වශයෙන් ද එම්.එස්.ප්‍රනාන්දු හැඳින්විය හැකි ය.
(42,43පිටු )
අශෝකගේ මේ පොත කියවද්දී කේමදාස මාස්ටර්ගේ රජවැඩ ගීතාවලිය ජනගත කිරීම මතක් වුණා.1990දී පමණ පදනම් ආයතනයෙහි පැවති මේ උත්සවයට මා සහභාගි වූයේ අලුත් අත්හදා බැලීම ගැන ලිපියක් ලිවීමේ ද අදහස ඇති වයි.
එදා කේමදාස මාස්ටර් එම්.එස්.ගේ වටිනාකම ගැන ද කතා කළා.ගීතය ප්‍රාසාංගිකව ඉදිරිප් කිරීමේ දී එම්.එස්.අංග චලනයෙන් එයට ජීවය දුන් අයුරු ඔහුගේ පැසසුමට ලක් වුණා.රජවැඩ ද එහි පියවරක් වශයෙන් හඳුන්වනු ලැබුවා.
රජවැඩ අසාර්ථක වුණා.එදා පසුබිමෙන් ඇසෙන සංගීතයට බොරුවට කට හොලවන ගායනා ද දුටුවා.
මේ ගැන සරදම් කර මා ලියූ ලිපියෙහි සඳහන් කළේ එම්.එස්. එසේ නොකළ නියම ගායකයකු බව යි.
මෑතකදී ළමා ගායනා තරගයක ගීත ගැයූ සියොත් නිම්නාද නම් 11 හැවිරිදි ගායකයා නිසා සංගීත රසිකයකු වන මාගේ කුතුහලය ඇවිස්සුණා.පොතේ නිමාව නම් කනගාටුදායකයි.අශෝකද ඒ ගැන පසුතැවෙන බවත් නැවත හොඳ මුද්‍රනයක් නිකුත් කරන බවත් දන්නවා.අශෝක ඔබට සුබ පැතුම්