තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිඳු බලවතෙක් ඇෆ්ගනිස්තානය සුලුකොට තකන්නේ නැහැ

Share post:

ජීවිතයේ සැඳෑ සමය ගත කරනා වැඩිහිටි, පරිනත මිනිසුන්, දරු මුණුඹුරන් පිරිවරාගෙන සිය අතීත මතක ඔවුන් සමග බෙදාහදා ගැනීමට කැමතියි.
විශේෂයෙන්ම පැරණි හමුදා සොල්දාදුවන් වැනි භයානක, නිර්භීත, විශේෂ අත්දැකීම් ඇති උදවියගේ කතා අහන්න බොහෝ දෙනා ප්‍රියයි.
එවැනි පුද්ගලයන්ට සිය මතක බෙදා ගැනීමට විශේෂ මිතුරු කව පවා ඇතැම් රටවල පවතිනවා.
දිනෙක ක්‍රිකට් ක්‍රීඩකයන් සිය අතීත මතක බෙදා ගැනීමට ඉදිරිපත් වුවහොත්, ඔවුන් අතරින් චමත්කාරජනකම කතාව ඇත්තේ මොහොමඩ් නාබිට.
හිටපු ඇෆ්ගනිස්තාන නායක මොහොමඩ් නාබිට.
අස්මතුල්ලා ඔමර්සායිගේ පන්දුවකට, ඇඩම් සම්පා ගේ උඩ පන්දුව මොහොමඩ් නාබි විසින් රැක ගැනීමත් සමග ඇෆ්ගනිස්තානය ඕස්ට්‍රේලියාව පරාජය කළා.
T20 සහ එක්දින යන ආකෘති දෙකෙහිම ලෝක ශූර, ලොව වැඩිම වරක් ICC කුසලාන දිනා ඇති ප්‍රබල ඕස්ට්‍රේලියාව, ඔවුන්ට වඩා බොහෝ ආධුනික ඇෆ්ගනිස්තානය ඉදිරියේ පරාජය වුණා.
එනමුත් බොහෝ විචාරකයන් සහ රසිකයන් ඇෆ්ගනිස්තානයේ මේ ජයග්‍රහණය නොසිතූ ජයක් හෝ මවිතයක් (Upset) ලෙස හැඳින්වූවේ නැහැ.
ඉතා කෙටි කාලයක් තුල ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලෝකයේ ලබා ඇති ප්‍රගතිය සහ කීර්තිය ඉන් පැහැදිලියි.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වන්නේ සුවපහසු, මල් යහනාවක් මත නොවෙයි.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූයේ සරණාගත කඳවුරක දී.
ඇෆ්ගනිස්තානයට යුද්ධය අලුත් දෙයක් නොවෙයි. ඔවුන් සෝවියට් සංගමයෙන් ද, ඉන්පසුව ඇමෙරිකාවෙන් ද ආක්‍රමණයට ලක් වූ රටක්.
එම නිසා බොහෝ ඇෆ්ගන් දරුවන් සිය ළමා කාලය ගෙව්වේ සරණාගත කඳවුරු තුල.
මෙලෙස සරණාගත කඳවුරු වල ක්‍රිකට් ක්‍රීඩා කළ තරුණයන් පිරිසකගෙන් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වුණා.
මොහොමඩ් නාබි එතැන සිටියා.
මුල්ම කාලයේ ඇෆ්ගන් කණ්ඩායමේ සාමාජිකයන් වූ මොහොමඩ් ශෂාඩ්, ඇස්ගර් ඇෆ්ගන්, ශපූර් සද්රන් ආදී ක්‍රීඩකයන් මොහොමඩ් නාබි සමග සරණාගත කඳවුරු වල දී ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්.
නාබි ලා එක් වී ආරම්භ කළ ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම සැබැවින්ම දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කළා.
මුල්ම වරට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයක් බිහි වූයේ 1995 වසරේ පාකිස්තානයේ දි.
පාකිස්තානය මුල සිටම ඔවුන්ගේ ක්‍රිකට් මිතුරා වුණා.
ඔවුන්ට ICC අර්ධ සාමාජිකත්වයක් හෝ (Affiliate membership) හිමි වූයේ 2001 වසරේ දීයි.
එයත් පාකිස්තාන මැදිහත් වීමකින් හිමි වූ වරප්‍රසාද නොමැති හඳුනාගැනීමක් පමණයි.
ඔවුන්ට වඩා ඉහළ පිළිගැනීමක් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රිය නොකරන යුරෝපීය රටවල ක්‍රිකට් පාලක මණ්ඩල වලට අයි.සී.සී ය තුල තිබුණා.
මොහොමඩ් නාබි ලාගේ මුල්ම ඇෆ්ගන් කණ්ඩායමේ ආරම්භය බොහෝ දුෂ්කර සහ අමිහිරි එකක්.
ඔවුන්ට නියම ප්‍රමිතියේ ක්‍රීඩා උපකරණ හෝ තිබුණේ නැහැ.
ඔවුන් භාවිතා කළ පිති, පන්දු ඇතුලු ක්‍රීඩා උපකරණ ඉල්ලා ගත්තේ සිය පකිස්තාන මිතුරන්ගෙන් ණයටයි.
මුල්ම කාලයේ ඔවුන් පිති, හිස් සහ පා ආවරණ හුවමාරු කරගනිමින් ක්‍රීඩා කළා.
ඔවුන්ට පුහුණු ක්‍රීඩා පිටියක වරප්‍රසාදය හිමි වූයේ නැහැ.
යුද්ධය හේතුවෙන් ඔවුන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට හෝ රට පුරා සිටිනා දක්ෂයන් හඳුනා ගැනීමට ඉඩක් හෝ නිදහසක් ද තිබුණේ නැහැ.
එපමණක් නොවෙයි.
වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හිමි වන වැටුප්, පුහුණුව, ක්‍රීඩා උපකරණ, පෝෂ්‍යදායි ආහාර හෝ කිසිදු පහසුකමක් ඔවුන්ට හිමි වූයේ නැහැ.
එවකට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ස්ථිර ගොඩනැගිල්ලක් හෝ නොතිබූ, ඉතා දුගී, බෝර්ඩ් ලෑල්ලකට පමණක් සීමා වූ ආයතනයක්.
මුල් කාලයේ ඇෆ්ගන් පිතිකරුවෙකු දැවී යද්දී, ඊළගට පැමිණෙන පිතිකරුවාට ඔහු සතු ක්‍රීඩා උපකරණ ගලවා ලබා දෙමින් ක්‍රීඩා කළ යුගයක් තිබුණා.
ඒ සියලු අගහිඟකම් මැද වූවත් ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය ඇතැම් දෑ ඔවුන් සතුව අඩු නොමැතිව තිබුණා.
ඔවුන්ගේ කැපවීම, ක්‍රීඩාවට ඇති ආදරය සහ දේශප්‍රේමීත්වය උපරිම වුණා.
මුල්ම කාලයේ මොහොමඩ් නාබි ඇතුළු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ පළමු පෙල තරග ක්‍රීඩා කළා.
ඉන්පසුව ඔවුන්ට අයි.සී.සී අර්ධ සාමාජික රටවල් සමග තරග ලැබුණා.
ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රසිද්ධ නොමැති යුරෝපයේ සහ දකුණු ඇමෙරිකාවේ රටවල් සමග ඔවුන් ක්‍රීඩා කළා.
මොහොමඩ් නාබි ක්‍රිකට් ක්‍රීඩාවේ රටවල් 45 ක් පරාජය කර තිබෙන ක්‍රීඩකයෙක්.
එවැනි වාර්තාවක් වෙනත් ක්‍රීඩකයෙකු සතු වේදැයි සැකසහිතයි.
ඔහු පරාජය කළ රටවල් 45 අතර බහුතරය වූයේ එම යුරෝපීය සහ දකුණු ඇමෙරිකානු රටවල්.
මේ සියලූම දුෂ්කරතා මැද වූවත්, ඔවුන්ගේ දක්ෂතාවය ක්‍රිකට් ලෝකයට සැඟවීමට නොහැකි වුණා.
ඔවුන් දිගින් දිගටම ඔවුන්ට හිමි වූ තරග ජය ගත්තා.
එම නිසාම ඔවුන්ට තෙවන ලීගයේ සිට දෙවන ලීගයට උසස් වීමක් හිමි වුණා.
දෙවන මට්ටමේ ප්‍රබල රටවල් පරාජය කළ ඔවුන් 2009 දී අයි.සී.සී එක්දින සාමාජිකත්වය දිනා ගත්තා.
ඒ මොහොතේත් මොහොමඩ් නාබි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සාමාජිකයෙක්.
එතැන් පටන් සුදු පන්දු ක්‍රීඩාවේ දී අයි.සී.සී පූර්ණ සාමාජික රටවල් පරාජය කළ ඔවුන්ට, 2017 වසරේ දී අයි.සී.සී පූර්ණ සමාජිකත්වය සහ ටෙස්ට් වරම් හිමි වුණා.
ඒ මොහොතේ මොහොමඩ් නාබි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයායි.
වසර කිහිපයකට පසු අද ඇෆ්ගනිස්තානය, ලෝක කුසලාන තරගයක දී ඕස්ට්‍රේලියාව පරාජය කළා.
මොහොමඩ් නාබි එම තරගයේ ජයග්‍රාහී උඩ පන්දුව රැක ගත්තා.
තවදුරටත් ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ක්‍රීඩාවේ ලබනා ජයග්‍රහණයන් මවිත කිරීම් නොවෙයි.
තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිඳු බලවතෙක් ඇෆ්ගනිස්තානය සුලුකොට තකන්නේ නැහැ.
ඇෆ්ගනිස්තානය සමග තරගයක දී ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩකයන් විවේක ගන්වන්නේ නැහැ.
දැන් ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලෝකයේ ප්‍රබල රටක්.
ඒ වෙනස සජීවීව, සම්පූර්ණයෙන්ම අත් විඳි පුද්ගලයා මොහොමඩ් නාබි.
සරණාගත කඳවුරක දී ක්‍රිකට් ක්‍රීඩා කළ මුල්ම ඇෆ්ගන් කණ්ඩායමේ සිට,
පාකිස්තානයේ පළමු පෙල තරග ක්‍රීඩා කළ ඇෆ්ගන් ජාතික කණ්ඩායමේ සිට,
යුරෝපීය සහ දකුණු ඇමෙරිකානු රටවල් වලට එරෙහිව ඇෆ්ගනිස්තානය තරග ජය ගත් කාලයේ සිට,
ඇෆ්ගනිස්තානයේ මුල්ම පූර්ණ එක්දින තරගයේ සහ මුල්ම ටෙස්ට් තරගයේ සිට,
ලෝක කුසලානයක දී ඕස්ට්‍රේලියාව පරාජය කිරීම දක්වා වූ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් වංශ කතාවේ සෑම තැනකම මොහොමඩ් නාබි හිටියා.
ඔහු නිහඬවම ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩාවට නායකත්වය ලබා දුන්නා. ආදර්ශ සැපයූවා.
සරණාගත කඳවුරක පිටියේ සිට ඕස්ට්‍රේලියාව පරාජය කරන තැන දක්වා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ බර ඇද්දා.
ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩාව ලිලිපුට්ටන්ගේ සිට ගලිවරයන් දක්වා වර්ධනය වීම ඔහු සජීවීව අත්වින්ඳා.
එවැනි අත්දැකීමක් ඇති වෙනත් ක්‍රීඩකයෙකු ඇත්නම්, ඒ 1982 වසරේ ශ්‍රී ලංකාවේ මුල්ම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින්, වසර දා හතරකට පසුව ලෝක කුසලාන ජයක් දක්වා කණ්ඩායම මෙහෙය වූ අර්ජුන රණතුංග පමණක් විය යුතුයි.
මොහොමඩ් නාබි ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දුර්ලභ, විශිෂ්ඨ පුරාවෘත්තයක් වන්නේ ඒ නිසයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

   2024. 06. 23

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...