“දිනක මේ දත් නැති මිනිසා ධෛර්යයේ ස්මාරකයක් වනු ඇත”

Share post:

1980 එක්තරා දිනක රුපවාහිනිය ඔස්සේ විකාශනය වුනු රුමේනියාවේ ටෙනිස් තරගයක ජයග්‍රාහිකාවට ලබා දුන් ඩොලර් 40,000ක ත්‍යාගයක් තම වසර කිහිපයක වැටුපටත් වඩා වැඩි බව දුටු රිචඩ් නම් කළු ජාතික මිනිසා පුදුමයට පත් වුනා. ඔහුට ඒ මොහොතේම ඔහුගේ දියණියන්ද ටෙනිස් ක්‍රීඩිකාවන් වන්නේ නම් කොපමණ වටින්නේදැයි හිතෙන්න ඇති. ඉතින් ඔහු තම ජිවිතයට අලුත් අරමුණක් එදා එක් කරගත්තා. ඔහු විසින් අනාගතයේ තම දියණියන් ටෙනිස් ක්‍රීඩිකාවන් කිරීමේ විශාල සිහිනයක් ඉටු කර ගැනීමට එදා සිට වෙහෙස වුවා. ඔහු විසින් පිළියෙළ කල පිටු 78 ක සැලසුම ඔහුගේ ගමන් මග සැකසුවා.
මේ පවුලේ ඒ වන විටත් දියණියන් තිදෙනෙකු උපත ලබා සිටියා. නමුත් ඔබ විශ්වාශ කරනවද මේ කතාව ඇරඹෙන මොහොතේ අපේ කතා නායිකාවන් දෙදෙනා ඉපදිලාවත් නැති බව. ඔව් ඔවුන් දෙදෙනා 1980 සහ 1981 වසර වල ඉපදෙන්නේ ඔහුගේ හීනය සැබෑ කිරීමටම විය යුතුයි.
ඉතින් මේ තාත්තා ඒ වන විට ටෙනිස් ගැන මෙලෝ දෙයක් දන සිටියේ නැහැ. නමුත් ඊළඟ වසර ඇතුලත ඔහු ටෙනිස් ක්‍රීඩාව ඉගෙනීම ආරම්භ කළා. ටෙනිස් සම්බන්ද සඟරා ලිපි ලේඛන, කැසට් පටි මහා ගොඩක් එකතු කළා. දරුවන්ට ටෙනිස් උගන්වන්න ඔහුට මුදල් තිබුනේ නැහැ. ටෙනිස් කියන්නේ එකල ලෝකයේ මිල අධිකම ක්‍රීඩාවක් වුනා.
ඔහුගේ සැලැස්ම අනුව වසර පහකට පසු ඔහුගේ දියණියන් අතේ ටෙනිස් රැකට් එකක් තිබුනා. ඔවුන්ගේ පුහුණුකරු වුනේ රිචඩ්. ඔහු ටෙනිස් ක්ලබ් වල ඉවතලන බෝල එකතු කළා. ඒවා රැගෙන දියණියන් සමග පොදු ටෙනිස් පිටිවල පුහුණු වුනා.
ඔවුන්ගේ සමේ පැහැය ඔවුන්ට බොහෝ දේ අහිමි කිරීමට බලා සිටියා. බොහෝ විට ප්‍රදේශයේ දාමරිකයන්ගේ හිරි හැර වලට ඔවුන් ලක් වුනා. නමුත් ඉතා ශක්තිමත් පියෙක් විදියට ඔහු මේ දරුවන් රැක බලා ගත්තා. එක දවසක් ඔවුන්ගේ පහර දීම් වලින් ඔහුගේ මුහුණට හානි වුනා. ඔහුගේ හකු කැඩී දත් කිහිපයක් ගැලවී ගොස් තිබුනා. එදා ඔහු ඔහුගේ දිනපොතේ ලිව්වා. “දිනක මේ දත් නැති මිනිසා ධෛර්යයේ ස්මාරකයක් වනු ඇත”. ප්‍රධාන වශයෙන් සුදු ජාතිකයන්ගේ ක්‍රීඩාවක් වන ටෙනිස් කළු ජාතිකයන්ට අවශ්‍ය නොවන බව මේ පහර දුන් අයගේ ප්‍රධාන තර්කය වුනා. ඔහු දරුවන් දෙදෙනා සමග ප්‍රාදේශීය තරග වලට යන සෑම විටකම ඔවුන් කෑ ගසමින් හිරිහැර කළා.
දිනක් මේ දරුවන් ඇහුවා “ඇයි තාත්තා මේ මිනිස්සු අපි දිහා අමුතුවට බලන්නේ, ඇයි එයාල කෑ ගහන්නේ?” එයට ඔහුගේ පිළිතුර වුයේ “එයාල ඔයාල දෙන්න තරම් ලස්සන මිනිසුන් කවදාවත් දැකලා නැති නිසා පුතේ,” යන්නයි.
ඉතින් කාල රෝදය වේගයෙන් පෙරලිලා ගියා. දරුවන් සෙමින් සෙමින් ජය මාවතට පැමිණෙමින් සිටියා. ඔවුන්ගේ ආරක්ෂාවට පියෙක් වගේම ක්‍රීඩාවට පුහුණුකරු ලෙස ඔවුන් ලඟින්ම ඔහු නිතරම සිටියා. 2000 වර්ෂයට ඔවුන් ලඟා වුනේ ඉමහත් බලාපොරොත්තු සමග. උස කෙට්ටු කළු ජාතික කෙල්ලක් විම්බල්ඩන් තරගාවලියේ අවසාන වටය වෙත යාමේ ගමනක් පැමිණ සිටියාය. ඔවුන්ගේ උපන් ගමේ, ඒ කියන්නේ කැලිපොර්නියාවේ කොම්ප්ටන් සිට කිලෝමීටර දහස් ගණනක් ඈත ලන්ඩන් නගරයේ කොළ පැහැති තන පිටිවල ඔහුගේ වැඩිමහල් දියණිය වීනස් සෙල්ලම් කරනු ඔහු කඳුළු පිරි දෙනෙතින් බලා සිටියා. දුව ලන්ඩනයේ ප්‍රභූන් රාජකීයයන් ඉදිරියේ ලොව දසතින් පැමිණි ක්‍රීඩිකාවන් හා තරඟ කරනු ඔහු විස්මයෙන් බලා සිටියා.
එතරම් වේගවත් සර්විස් කිරීමක් හෝ එතරම් වේගවත් පාද චලනයක් කිසිවෙකු එතෙක් දැක තිබුනේ නැහැ. වදින හැම පහරකටම පන්දුව වේදනාවෙන් කෑ ගසමින් දිව ගියා. එතරම් ශක්තියක්. ජයග්‍රහණය ලං වෙද්දී බියෙන් වගේ දුව බැලුවේ පිටිය අයිනේම හිට ගෙන කෑ ගසමින් තමන්ව දිරිමත් කරන තාත්තා දිහා.
රිචඩ් නිතරම තම දියණියන්ට පැවසුවේ, “අපි දවසක විම්බල්ඩන් දිනනවා, එය අපට නොවේ. එය ඇමරිකාවේ අසරණ දුප්පත් මිනිසුන් සඳහා වනු ඇත” යනුවෙන්. රිචඩ්ගේ 20 වසරක අරගලය දැන් ජයග්‍රහණයකට ළඟා වී ඇත. ඉතිහාසයේ තීරණාත්මක ලක්ෂ්‍යයක්.
ප්‍රතිවාදියාගේ පන්දුව දැලෙහි වදින විට, ඔහුගේ දියණිය වීනස් විලියම්ස් ඇගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හතෙන් පළමු ජයග්‍රහණය කරන ආකාරය දැක කඳුළු සලමින් රිචඩ් නටන අයුරු කැමරාවලට හසු විය. ඊළඟ වසර කිහිපය තුළ, ඔහුගේ බාල දියණිය වන සෙරීනා ප්‍රධාන තරඟාවලි 23 ක් ජයග්‍රහණය කර සෑම විටම විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩිකාවක් බවට පත් වන ආකාරය ද ඔහු බලා සිටියේය.
ටෙනිස් පිටියේ ඔවුන්ගේ සියලු සාර්ථකත්වයන් සඳහා, වීනස් සහ සෙරීනා පිටියෙන් පිටත අප කිසිවෙකුට නොදැන විඳදරාගත් දේ ඔවුන්ගේ ගමනේ වඩාත් ආකර්ෂණීය කොටස වනු ඇත. සිරුරේ හැඩය නිසාම “විලියම්ස් බ්‍රදර්ස්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද සහෝදරියන් දෙදෙනාගේ දැඩි ඔරොත්තු දෙන සහ කරුණාවන්ත පෞරුෂය ජාතිවාදයට, ආගම්වාදයට හා දුප්පත්කමට එරෙහිව නැගී සිටීමට ඔවුන්ට උපකාර කර ඇත.
නොසැලෙන අධිෂ්ඨානය සහ කැපවීම ලොව දිනන්නට එකම මග බව මේ කතාව ඔබට පවසනු ඇත. වීනස් සහ සෙරීනා විලියම්ස්ගේ වීරයා රිචඩ් වැනි පියෙක් ඔබට මට සහ අප සැමට සිටින බවට විවාදයක් නැත. අප සැම අපේ හදවතේ පියාගේ නොකී කතාවක් සිරකොට ගෙන සිටිමු. රිචඩ් වගේම පියවරුන් හැමදාමත් මේ ලොව තම දරුවන් රජුන් කරන්නට වෙහෙසෙනු ඇත. ඒ පියවරුන් වෙනුවෙන් මේ ලිපිය උපහාරයක් වේවා.

දුමින්ද මාධව රත්නායක

Related articles

වදන් වලින් නිර්මිත කොලාජ් සිත්තමක හැඩය ගත් අජිත් පැරකුම් ජයසිංහගේ ‘සූදුරු අබා’

ටෘමන් කැපෝටේ කෙටිකතා රචනය පිළිබඳව මෙවන් අදහසක් පල කරයි.බරපතල ලෙස ගවේෂණය කරන විට මට කෙටි කතාව පෙනෙනුයේ අතිශය...

වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවෙයි

වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවෙයි.සැබැවින්ම ඔහු රසිකයන්ගේ ප්‍රියතමයා වූ කාලසීමාවක් ද තිබුණා. නමුත් මේ...

Capturing Realism Asia 2024 හැරල්ඩ් පීරිස් කලාගාරයේ දී

නොමිලේ කලාව උගන්වන මාතර, රත්මලේ ඇමරිකාවේ කලා ඇකඩමිය විසින් ප්‍රථම වතාවට පවත්වනු ලබන ඉහත ප්‍රදර්ශනය මේ දිනවල හැරල්ඩ්...

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගේ ‘ඇතුළු වියමන්’

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර දේශපාලනය,සංස්කෘතිය සහ සාහිත්‍ය වැනි අඩවි ගැන උනන්දුවක් ඇති ලේඛකයකු වන අතරම එකී අඩවි ආශ්‍රිත නූතන...