දීප්තිමත් අනාගතයේ ගෞරවය

Share post:

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියත්, ශ්‍රී ලංකා කාන්තාවන් ජය ගත්තා.
මේ මෑත යුගයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පවත්වාගෙන ආ ජයග්‍රාහී රැල්ලේ තවත් එක් පියවරක් පමණයි.
2022 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බොහෝ ජයග්‍රහණ ලබමින්, මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ගත කරමින් සිටිනවා.
මෑතක දී ඔවුන් ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම එරට දී පරාජය කළා, නවසීලන්තය පරාජය කළා. ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
එනමුත් විවිධ හේතුන් නිසා මේ ජයග්‍රහණය ඓතිහාසිකයි.
මින් පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණ ලැබූ බොහෝ අවස්ථාවන් හි කණ්ඩායම එම ජයග්‍රහණයට කැඳවා ගියේ තනි ක්‍රීඩිකාවක් විසින්.
ඒ නායිකා චමරි අතපත්තු.
එම බොහෝ ජයග්‍රහණ වල තරගයේ ක්‍රීඩිකාව (POM) ඇය වුණා.
කොටින්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම චමරි ම වුණා. චමරි සාර්ථක වූ දින වල ශ්‍රී ලංකාව තරග ජය ගත්තා.
චමරි අසාර්ථක වූ විට තරග පැරදුණා.
නමුත් මේ තරගාවලිය වෙනස්.
හම්බන්තොට පැවැති පළමු තරගය ශ්‍රී ලංකා කාන්තාවන් ජය ගත්තා. තරගයේ ක්‍රීඩිකාව වූයේ හර්ෂිතා සමරවික්‍රම.
ඈ විසි පස් හැවිරිදියි.
දෙවන තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තා. එම තරගයේ ක්‍රීඩිකාව කවීෂා දිල්හාරි.
කවීෂා විසි තුන් හැවිරිදි ක්‍රීඩිකාවක්.
ඊයේ පැවැති තුන්වෙනි තරගයේ ප්‍රතිඵලයත් වෙනස් වූයේ නැහැ. එම තරගයේ ජය හිමි වූයේත් ශ්‍රී ලංකාවට.
විසි දෙහැවිරිදි සචිනි නිසංසලා තරගයේ ක්‍රීඩිකාව වුණා.
සමස්ත තරගාවලියේ ක්‍රීඩිකාව (POS) සම්මානය හිමි වූයේ විෂ්මි ගුණරත්නට.
ඇය තවමත් දහ අට හැවිරිදි යොවුන් ක්‍රීඩිකාවක්.
චමරි ගේ ආගමනයෙන් පසුව, චමරි නොවන වෙනත් ක්‍රීඩිකාවන් පිරිසක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජයග්‍රහණ ගෙන ආ පළමු අවස්ථාව මෙයයි.
එමෙන්ම මේ සියලූම ක්‍රීඩිකාවන්, කිසිඳු ගැටලුවකින් තොරව තවත් දශකයක් පමණ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩිකාවන් වීම සුවිශේෂියි.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පැවැති තත්ත්වයට වඩා බොහෝ දීප්තිමත් විය හැකි බව කීම අතිශයෝක්තියක් නොවෙයි.
ඒ දීප්තිමත් අනාගතය උදා කිරීම වෙනුවෙන් ගෞරවය හිමි විය යුතු පාර්ශවයන් කිහිපයක් සිටිනවා.
ඉන් පළමුවැන්නා චමරි.
චමරි විසින් මෙතෙක් කල් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තනිව උසුලා ගෙන පැමිණියා විතරක් නොවෙයි.
තමන් පසුපසින් පැමිණීමට පරපුරක් නිර්මාණය කිරීමටත් ඇය වෙහෙස වී වැඩ කළා.
එක් අතකින් ඇය කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම පරිපූර්ණ ආදර්ශයක් (Role model) වුණා.
චමරි මෙන් ගොඩනැගීම මෙරට කාන්තා ක්‍රීඩිකාවන්ගේ සිහිනය වුණා.
විශිෂ්ඨ ආදර්ශයක් විසින් පරපුරකට සපයන බලපෑම සුලුපටු නැහැ.
ලසිත් මාලිංගගෙන් පසු, මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන කුඩා ක්‍රීඩකයන් රොත්තක් බිහි වීම ඊට උදාහරණයක්.
ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ, එහෙත් ක්‍රීඩා කිරීමට චකිතයක් තිබූ මෙරට දැරියන්ට ඒ ආදර්ශය සහ සිහිනය ගෙන ආවේ චමරි.
අනෙක් පසින් ඈ කිසිඳු චකිතයකින් තොරවම යොවුන් ක්‍රීඩිකාවන්ට අවස්ථාවන් ලබා දුන්නා.
ඇතැම් තැන් වල ඈ අඩියක් පසුපසට ගොස්, යොවුන් ක්‍රීඩිකාවන්ට තනිව තරග දිනවීමට බල කළ අවස්ථා තිබුණා.
විශේෂයෙන්ම නිමා වූ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ චමරි සිය උපරිම ශක්‍යතාවයෙන් ක්‍රීඩා කළේ නැහැ.
කුඩා කණ්ඩායම් හමු වූ සෑම අවස්ථාවකම ඇය පසුපස ගියරයේ ක්‍රීඩා කළා.
විශ්මි ඇතුලු සෙසු ක්‍රීඩිකාවන්ට වැඩි වගකීමක් ලබා දුන්නා.
කණ්ඩායම තමන් මත යැපෙන බව චමරි දැන සිටියා. ඒ යැපුම් මානසිකත්වයෙන් එළියට පැමිණ, සෙසු ක්‍රීඩිකාවන්ටත් වගකීම හුරු කළේ චමරි විසින්මයි.
එය ඉතා පරාර්ථකාමී එමෙන්ම දේශප්‍රේමි ක්‍රියාවක්.
චමරි විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු කරමින් සිටින පරිවර්තනය, අර්ජුන විසින් මෙරට පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු කළ පරිවර්තනයට කිසිසේත්ම දෙවැනි නැහැ.
මේ දීප්තිමත් අනාගතයේ ගෞරවය හිමි විය යුතු සෙසු පිරිස වන්නේ අප්සාරි තිලකරත්න ඇතුලු කණ්ඩායමයි.
අප්සාරි යනු හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්නගේ බිරිඳ.
ඈ මෙරට කාන්තා ක්‍රිකට් සංගමයේ තනතුරක් දරනවා.
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ඇගේ සැමියා.
ඇගේ එක් පුත්‍රයෙක් නවසීලන්තයේ පළමු පෙල ක්‍රීඩා කරනවා.
ඇගේ තවත් පුත්‍රයෙකු මෙරට ක්‍රිකට් බලධාරීන්ගෙන් දැඩි අසාධාරණයට ලක් වුණා.
එවැනි පසුබිමක අප්සාරි රට වෙනුවෙන් කිසිවක් කළ යුතුව තිබුණේ නැහැ.
එනමුත් පසුගිය සමයේ අප්සාරි මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ වැඩ කළා.
ක්‍රිකට් ක්‍රීඩාවට කිසිම දිනෙක ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක දයාද නොකල ගම් බිම් වලට පවා ඈ ගියා.
ඈත දුෂ්කර පාසැල් ගණනාවකට ක්‍රිකට් ක්‍රීඩාව ලබා දුන්නා. පුහුණු කඳවුරු පවත්වමින් දක්ෂතා සොයා ගියා.
එම ගම්මාන වලින් දක්ෂ දැරියන් බොහෝමයක් ජාතික සංචිත වලට ගෙන ආවා.
පසුගිය දිනවල ප්‍රසිද්ධ වූ ‘මොනරාගල බට්ටි’ එවැනි ක්‍රීඩිකාවක්.
කතරගමින්, මොනරාගලින් සහ ත්‍රිකුණාමලයෙන් පවා ජාතික සංචිතයට දක්ෂ දැරියන් ගෙන ඒමට අප්සාරි කටයුතු කළා.
ඇයගේ මැදිහත්වීම නොවන්නට මේ ක්‍රීඩිකාවන් කිසිම දිනෙක ක්‍රිකට් පිත්තක් හෝ පන්දුවක් අත නොදැරීමට තිබුණා.
උදැල්ලක්, මාලු දැලක් ඔවුන්ගේ ඉරණම වීමට තිබුණා.
පිරිමි ක්‍රිකට් කණ්ඩායමට වඩා බොහෝ විසුරුනු, රටම ආවරණය කළ ප්‍රදේශ වලින් ජාතික කාන්තා සංචිතයට ක්‍රීඩිකාවන් පැමිණියේ අප්සාරිගේ මැදිහත් වීම නිසයි.
එමෙන්ම ක්‍රිකට් ආයතනයත් පසුගිය කාලයේ කාන්තා ක්‍රීඩාව වෙනුවෙන් පෙරට වඩා ආයෝජනය කළා.
කාන්තා ක්‍රීඩිකාවන්ගේ වැටුප් වැඩි කළා.
කාන්තා කණ්ඩායම වටා අනුග්‍රාහකයන් වැඩි වීමත් එයට හේතුවක් වන්නට ඇති.
ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට වඩා, ජාතික කාන්තා කණ්ඩායම වටා අනුග්‍රාහකයන් එකතු වෙලා.
මේ සියල්ල මෙරට කාන්තා ක්‍රීඩාව ඉදිරියේ දී තවත් ජයග්‍රහණ ලබන බවට සුභ ලකුණුයි.
ඒ සඳහා කැප වී ක්‍රියා කළ සැමට ජාතියේ ස්තූතිය හිමි විය යුතුයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

   2024. 06. 22

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...