කතා තුනක්!

Share post:

ඊයේ ලෝක කුසලාන පූර්ව විචාරක වැඩසටහනකට සහභාගි වෙලා ඉසුරු උදාන ඉතා වටිනා කතාවක් කියලා තිබුණා.
ඒ මෙතෙක් ක්‍රීඩාවේ පරිහානියට හේතු කතා කළ මෙරට කිසිවෙකුට හෝ අහුනොවුනු තැනක්.
ඉසුරු කියූ කතාව සැකවින් මෙසේයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආසන්නතම ස්වර්ණමය යුගයේ කණ්ඩායමේ ලෝක පූජිත ක්‍රීඩකයන් හිටියා.
ඒ සංගා, මහේල, ඩිල්ෂාන්, මාලිංග ලා.
ඔවුන් නිසා කණ්ඩායමට පැමිණීමට නොහැකි වූ, නමුත් ලෝක මට්ටමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් මෙරට පළමු පෙළ ක්‍රීඩා කළා.
ඒ කෞෂල්‍ය ලොකුආරච්චි, කෞෂල්‍ය වීරරත්න ආදී ක්‍රීඩකයන්.
එකල ඔවුන් මෙරට පළමු පෙළ ජ්‍යේෂ්ඨයන්. ඉදහිට ඔවුන් ජාතික කණ්ඩායමත් නියෝජනය කළා.
අති විශිෂ්ඨ ලෝක පූජිත ක්‍රීඩකයන් නිසා ජාතික කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් වෙන් කරවා ගැනීමට නොහැකි වුනත් සංගා, මහේල, ඩිල්ෂාන් පරම්පරාවෙන් පසුව මෙරට ජාතික කණ්ඩායමේ වගකීමක් දැරීමට ඔවුන් පරිනත වුණා.
මෙරට පළමු පෙල ක්‍රීඩකයන්ට විශාල ගෙවීමක් හෝ ආදායමක් නැහැ.
මේ ක්‍රීඩකයන් පළමු පෙල තරග ක්‍රීඩා කළේ ඉදිරියේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුව නිසා පමණයි.
එක්වරම ශ්‍රී ලංකා A සහ එමර්ජිං කණ්ඩායම් වල පුහුණුකාරීත්වයට අලුත් පුහුණුකරුවන් පැමිණියා.
ඔවුන් සෘජුවම මේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ තේරීම් සඳහා නොසලකා හරින බව මුහුණටම කිව්වා.
ඒ සඳහා යොවුන් ක්‍රීඩකයන් පමණක් සලකා බලන බව කිව්වා.
ඒ පුහුණුකරුවන්ගේ අවශ්‍යතාවය ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද ක්‍රීඩකයන් පිරිසක් ජාතික තලය නියෝජනය කිරීම වුණා.
තවදුරටත් මේ ක්‍රීඩකයන්ට මෙරට පළමු පෙල ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.
ඔවුන් ශ්‍රී ලංකාව හැරදා ඕස්ට්‍රේලියාවට ගියා.
ඒ ඔස්සේ මෙරට පළමු පෙල කඩා වැටුණා.
මෙරට පළමු පෙල සහ ජාත්‍යන්තර ක්‍රීඩාව අතර විශාල වෙනසක් හැදුණා.
ඒ වෙනස දරා සිටි ජාත්‍යන්තර ක්‍රීඩාවට සමීප ජ්‍යේෂ්ඨයන් පළමු පෙල හැරදා යාමත් සමග, මෙරට පළමු පෙල පාසැල් ක්‍රිකට් මට්ටමටම වැටුණා.
සිදුවීමට සම්බන්ධ ප්‍රධාන පුහුණුකරුවා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රාහීම කණ්ඩායමක, කඩුලු රකින්නෙක් සහ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ හිටපු ක්‍රීඩකයෙක්.

එක්තරා කාලයක මෙරට පාසල් ක්‍රීඩාවේ සහ පළමු පෙල නිතර ඇසුණු නමක් වූයේ යශෝධ ලංකා.
මුල් කාලයේ ඔහු හොඳින් දස්කම් දැක්වූවත්, පසුව ඔහු නොකඩවා අසාර්ථක වුණා.
ඔහු ඔහුගේ කඩාවැටීමට හේතුව මෙසේ කියා තිබුණා.
ඔහු යොවුන් කාලයේ දැක්වූ සුපිරි දස්කම් නිසාම පුවත්පතකින් ඔහු හා සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණා.
එහිදී ඔහුගේ පුහුණුකරුවා කවුරුන්දැයි ඇසූ විට, ඔහු කියා තිබුනේ අනූෂ සමරනායකගේ නමයි.
මේ බව දුටු එවකට ශ්‍රී ලංකා ඒ පුහුණුකරුවා යශෝධ කැඳවා ඔහුට දැඩිව දෝෂාරෝපනය කළා.
තමන්ගේ නම නොකියූ නිසා ඉදිරියේ දී ඔහුට අවස්ථාවන් හිමි නොවන බව කියා තිබුණා.
මේ පුහුණුකරුවා කීර්තිය පසුපස හඹා යන පුද්ගලයෙක්.
මේ පුහුණුකරුවා පෙර කී හිටපු කඩුලු රකින ආරම්භක පිතිකරුවාමයි.

විරාත් කෝලි ගේ පුද්ගලික පන්දු විසි කරන්නා ලෙස කටයුතු කරන්නේ නුවන් සෙනෙවිරත්න නොහොත් ‘බව්වා’ ලෙසින් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ හැඳින්වූ ලාංකිකයෙක්.
ඔහු ඉන්දීය කණ්ඩායමට බැඳීමට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පන්දු විසි කරන්නෙක් ලෙස සේවය කළා.
ඔහුගේ විශේෂත්වය නම් ශක්තිමත් බාහු වලින් යුතු ඔහු ලොව වේගවත්ම පන්දු විසිකරන්නෙකු වීමයි.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් සමුගැනීමට එක්තරා පුහුණුකරුවෙකු සමග ඇතිකරගත් ගැටුමක් හේතු වුණා.
ඉන්පසුව අදාල පුහුණුකරුවා නුවන්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට වැඩ සලස්වා තිබුණා.
ඒ පුහුණුකරුවාත් පෙර කී පුහුණුකරුවාමයි.
පසුව ඉන්දීය කණ්ඩායම සමග එක් වූ නුවන්, විරාත් කෝලිගේ පුද්ගලික පන්දු විසි කරන්නා වුණා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යනු දේශපාලනය තරමටම කැපිලි කෙටිලි බහුල, අළු සහ කළු චරිත පිරුණු මඩ ගොහොරුවක්.
ඉතාම කලාතුරකින් ඒ මඩ ගොහොරුව පරයා පැමිණි නෙළුම් පුෂ්ප පැවැතිය හැකි වූවත්, අතිබහුතරය මඩගොහොරුවේම බල ක්‍රීඩා කරන්නන් පමණයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතුලාන්තය රූපවාහිනියෙන් දකිනා තරමට සුන්දර එකක් නොවෙයි.
අසීමිත ධනයක් සහ සමාජ බලයක් ගැවසෙන තැනක් එලෙස වීම පුදුමයකුත් නොවෙයි.
වඩා වැදගත් වන්නේ ජාතික අභිලාෂ වෙනුවෙන්, මේ මඩ ගොහොරුවක බල ක්‍රීඩා කරනා කළු සහ අළු චරිත ද එක්කරගනිමින් කටයුතු කිරීමයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

        2024. 06. 18

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...