ආර්. ප්‍රේමදාසගේ සිට අනුර කුමාර දිසානායක දක්වා………

Share post:

වෘත්තීය ජීවිතය තුල මා, ලංකාවේ විධායක ජනාධිපතිවරු සිව් දෙනෙකු සමග සමීපව සේවය කල අතර ඔවුන්ගේ ජායාරූප සිය ගනන් ගෙන ඇත්තෙමි, එහෙත් කිසි දිනෙක ඔවුන් සමග එකට සිට මගේ ඡායාරූපයක් ගැනීමට පෙළඹී නැත. එහෙත් “ජනාධිපතිවරයෙක් වීමට ප්‍රථම, පොලොවේ පය ගැසූ සැබෑ මිනිසෙකු” වන අනුර කුමාර දිසානායක සහ දැඩි මතදාරී දේශපාලන විචාරක මාධ්‍ය සගයෙකු වන උවිඳු කුරුකුලසූරිය සමග එක්ව ඡායාරූපක් ගැනීමට මට සිත් විය.

පසුගිය සෙනසුරාදා ලංඩනයේ ජාතික ජන බලවේගයේ මහජන රැළිය නිම වී, කතා බහ කිරීමට අවශ්‍ය නිසා උවිඳු කුරුකුලසූරිය සමග තමා සමග දිවා ආහාරයට එන ලෙස අනුර කුමාර දිසානායක කල ආරධනාව මට ප්‍රතික්ශේප කල නොහැකි විය. වෘත්තීමය ජීවිතය තුල දේශපාලකයන් සමග කෑම බීම ගැනීම හෝ පුවත්පත් සාකච්ඡා අවසානයේ පවත්වන මත්පැන් සාදයන්ට සහබාගිවීමේදී ඉතා පුවේසම් වන්නට මා ලංකාවේදී මා පුරුදු වී සිටියෙමි. එසේම ඔවුන්ගේ තෑගි බෝගද කිසි දිනෙක ලබා නොගත් මට, එක එල්ලේම ප්‍රවෘත්ති ගෝලීය ප්‍රජාවට සංනිවේදනය කල මගේ වෘත්තීය මත බලපෑම් කිරීමට ලංකාවේ කිසිදු දේශපාලකයෙකුට ඉඩ නොතැබීම සදහා එම ප්‍රවේශම එකල මට අවශ්‍ය විය. එසේම ජාත්‍යන්තර ජනමාධ්‍ය වෘත්තීය සාරධර්ම තුල අපගේ පුද්ගලික දේශපාලන ආකල්ප වෘත්තීය තුලින් පිළිවිඹු නොවිය යුතු විනයක් අප පවත්වාගෙන යා යුතු විය.

අද මම වෘත්තීමය වශයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය වේදියෙකු නොවෙමි. එම නිසා මගේ වර්තමාන ජීවිතය අතීත වෘත්තීය සාරධර්ම සමග වන සබඳතාවයක් නැති බැවින්, ලංඩනයේ ජාතික ජන බලවේගයේ මහජන රැළිය අවසානයේ එහි නායක අනුර කුමාර දිසානායක විසින් තමා සමග දිවා ආහාරය ගැනීමට එන ලෙස කල ආරාධනාව ප්‍රතික්ශේප කිරීමට, මට හේතුවක් නොවීය. මා එම මහජන රැළියට ගියේ පැරණි මාධ්‍ය සගයෙකු වන උවිඳු කුරුකුලසූරිය සමගය. උවිඳුව මුන ගැසී ලංකාවේ සිට ඔහුට දීමට ගෙන ආ මුං කැවුම් පාර්සලය දීමට රැස්වීම නිමවූ පසු අනුරට උවමනා විය. රැළියේ වේදිකාව ඉදිරියේ ජායාරූප ගනිමින් සිටි මාව හඳුනා ගත් ඔහු, රැළිය නිම වූ පසු මුන ගැසී කතා බහ කිරීම සඳහා ඔහු සමග දිවා ආහාරයට එන ලෙස ⁣අප දෙදෙනාටම ආරධනා කලේය. “ස්ලව්” නගරයේ කුඩා “නන්දූස්” අවන්හලේ කොනක වාඩි වූ ඔහුද අපද ඒ වන විට සිටියේ වෙහෙසින් සහ කුසගින්නේය. එහෙත් ලංකාවේ මාධ්‍යකරණයේ අපගේ අතීත කතා විසින් නියෝජණය කරනු ලබන ශ්‍රි ලංකාවේ එක්තරා අවධියක දැවැන්තව සිදුවූ ජනතාවගෙන් තොරතුරු වසං කිරීම සදහා මරා දැමූ , වධහිංසාවන්ට ලක් වූ සහ භීෂණකාරී බලපෑම් වලට ගොදුරු කරවූ අපගේ කතාවන්හි වඩා සියුම් කරුණු ගැන දන ගැනීමේ උවමනාව ඒ කුස ගින්නට වැඩිය ඔහු තුල තිබූ බව මට හැඟිනි. ඒ වන විට මහජන රැළියෙ ප්‍රධාන දේශණයේදීද ඔහු ඒ පිළිබඳ සදහන් කර තිබුනි.

දශක තුනකට අධික ලංකාවේ සහ විදේශ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිත කාලය පුරා, මගේ කැමරාවට හසු නොවූ දේශපාලන ජනතා අරගලයක් හෝ යුද්ධයක් හෝ දේශපාලකයෙක් නොවූ තරම්ය. එහෙත් වෘත්තීමය වශයෙන් අනුර සහ මා එකිනෙකා දැන සිටියද, පුද්ගලිකව කතාබහ කරන්නට අවස්ථාවක් අපට ඊයේ වන තුරු ලැබී නොතිබිනි. එසේම, ජනාධිපති ආර් ප්‍රේමදාසගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා වන ලංකාවේ රාජ්‍ය පාලකයින් සමීපව නිරීක්ෂණය කර තිබුනද අනුර කුමාර දිසානායකව සමීපව නිරීක්ෂණය කිරීමට ලංකාවේදි මට එතරම් අවකාශයක් ලැබී නොතිබුනි. මා ජාතික ජන බලවේගයේ ලංඩනයේ මහජන රැළියට සහභාගිවූවේ, විශේෂයෙන්ම, ලංකාවේ අනාගත පාලනය සඳහා බලය ඉල්ලන අනුර කුමාර දිසානායක නැමැත්තා කෙබඳු පුද්ගලයෙකුදැයි හඳුනා ගැනීම සඳහාය.

-දර්ශන හෙට්ටිආරච්චි ප්‍රමුඛ බ්‍රිතාන්‍යයේ ජාතික ජන බලවේග සංවිධයක කමිටුව විසින් ලංඩන් ප්‍රධාන නගර සීමාවේ ඇති උප නගරයක් වන ස්ලව් ජාතික ජන බලවේගයේ මහජන රැලිය සඳහා තෝරා ගෙන තිබුනි. දුරස්ථව සිටිමින්, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරිත්වය එක්තරා දුරකට බලපෑම් කල හැකි පිරිසක් සිටින බව ලංඩනයේ ප්‍රේක්ශකාගාරයේ මහජන ප්‍රශ්ණ වෙනුවෙන් වෙන්ව තිබූ කාලයේ ප්‍රශ්ණ ඇසීමට නැගී සිටි පිරිස දෙස බලන විට පෙනුනි. ප්‍රේක්ශකාගාරය තුලින් එන ඕනෑම ප්‍රශ්ණයකට පිළිතුරු දීමට හැකි මනා පූර්ව සුදානමකින් පැමිණ සිටින බව අනුර කුමාර දිසානායකගේ ශරීර ඉරියව් වලින් පෙනුන අතර සෑම ප්‍රශ්ණයකටම සෑහීමකට පත් විය හැකි පිළිතුරු ලබාදෙන්න ඔහු උත්සාහ කලේය.

“…ඔබ අද දිනයේ අප ගැන විශ්වාසය තබා මෙම අවස්ථාවට සහබාගි වෙලා තියෙනව. අප ඔබට එක සහතිකයක් දෙන්නම්, ඔබ අද අප ගැන තැබූ විශ්වාසය කුඩා බිඳුවකින් හෝ බිඳ නොදමන බවට අප පොරොන්දු වෙනව.” එසේ කියමින් තම කතාව ආරම්භ කරන විටම ඔහු තුන්දහසක පමණ බ්‍රිතාන්‍යයේ සිටින සංක්‍රමණික ප්‍රජාව සිටි එම ශාලාව තමාගේ සුවපහසු පරිසරය බවට පත් කරගත්තේය.

කතාව අතර තුර ඔහුගේ දකුණු අත වරින් වර සාක්කුවට දැමූ ඔහු, කතාවේ යමක් ස්ථිර කරන විට එම අත උඩට ගනිමින් අවධාරණය ඉඟි කිරීමට යෙදුවේය. මානව චර්යා විද්‍යාවට අනුව කෙනෙකු සාක්කුවේ අතක් තබා ගෙන සිටීමින් කතා කිරීම ඔහු සැප පහසු සහ සැහැල්ලුවෙන් සිටින බවට සංඥාවකි. එය ඔහු ප්‍රේක්ශකාගාරය ඕනෑවට වඩා විධිමත් විය යුතු නැති බව යෝජනා කරමින් අවිධිමත් බව සහ පහසුව පිළිබඳ හැඟීමක් ප්‍රේක්ෂකයන් වෙත ලබා දෙයි. ඔහුට තම අදහස් ස්ථිරව සහ පැහැදිලිව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති අතර එම කාරනා දත්ත පදනම් කරගනී. ඔහු තමා වෙත ගාම්භීර බවක් ආරූඪ කිරීමට උත්සාහ නොකරන අතර ඒ වෙනුවට ප්‍රකාශණයේ නිර්ව්‍යාජ බව හඟවයි. මහජන ප්‍රශ්ණ ඇසීමට ලබා තිබූ අවස්ථාවේදී විශාල ප්‍රශ්ණ සංඛ්‍යාවක් ප්‍රේක්ශකාගාරයෙන් යොමු වූ අතර, එම ප්‍රශ්ණ බෙහෝමයකට ඔහු පිළිතුරු දුන්නෙය. ඒ අතර සිටි තුෂී වික්‍රමනායක ලංකාවේ ඉතා දරුණු සහ බරපතල ගැටළුවක් වන ළමා අපචාර පිළිබඳ යොමු කල ප්‍රශ්ණකට පිළිතුරු දුන් ඔහු ඇය ඉදිරිපත් කල යෝජනා තම දේශපාලන ප්‍රතිපත්ති වලට ඇතුලත් කරන බව ප්‍රකාශ කළේය.

ලංකාවේ දේශපාලනය තුල, පවතින දේශපාලන පක්ෂ අතරින් අනාගත පාලනය සඳහා ජාතික ජන බලවේගයට ඇති අයිතිය අනෙක් සියළුම දේශපාලන පක්ෂ වලට වඩා වැඩි මිසක් අඩු නොවන බව මගේ පුද්ගලික අදහසයි. පුද්ගලික අවලාද හැරුනු කොට, ජාතික ජන බලවේගයේ සහ අනුර කුමාර දිසානායකගේ දේශපාලන සතුරන් එල්ලකරන අර්ථාන්විත මතවාදී ප්‍රහාරයන් සමාජ මාධ්‍ය තුල දැකිය හැක්කේ මද වශයෙනි. ඒ වෙනුවට බොහෝ විට දැකිය හැක්කේ ව්‍යාජ නම් වලින් පෙනීසිටින අයගේ පුද්ගලික අපහාසයන්ය. දේශපාලන එදිරිවාදීන් විසින් ජනතා විමුක්ති පෙරමුනේ අතීත විප්ලවවාදී ක්‍රියාකාරිත්වයේ නශ්ඨාවශේෂ වලින් නොකඩවා පහර දෙමින් ජාතික ජන බලවේගයේ නම්‍යශීලී සහ ප්‍රතිසංස්කරණවාදී ප්‍රවිශ්ඨය යටපත් කිරීමට උත්සාහ කරයි. නව ලිබරල් ප්‍රවිශ්ඨය ප්‍රතික්ශේප කරන ජනතා විමුක්ති පෙරමුනෙන් වෙන්වූ පැරණි සගයන් වන මගේ ඇතැම් මිත්‍රයන් පැරණි දේශපාලන පක්ෂ සහ පුද්ගලයින් සමග ජාතික ජන බලවේගයට ඇති රහස් එකඟතා ගැන චෝදනා වලින් ඔවුනට දමා ගසයි. මගේ සහ අනුර කුමාර දිසානායකගේ මුන ගැසීම ගැන දැනගත් පැරණි මිත්‍රයින් කීපදෙනෙකුම විවිධ රටවල් වල සිට මට කතා කලේය. ඔවුන් පොදුවේ බලාපොරොත්තු සහගත සුබවාදී හැඟීම් ජාතික ජන බලවේගයේ දෛනික දේශපාලන ගමන පිළිබද පලකරයි. තක්කඩියන්ට සහ හොරුන්ට නතුවූ රාජ්‍ය⁣යක් තුල බලය ලබා ගැනීම සහ එම බලය තුල යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා පවතින නව ලෝක තත්වයන් සළකා බලමින් වන උපාය උපක්‍රමයන්හිදී කිහිප දෙනෙකු පුද්ගලික විවේචන වල වඩා භූමි මට්ටමේ වන පොදුජන අපේක්ෂා සහ ප්‍රාර්ථනා පිළිබද වන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. පවතින අර්බුධයට දීර්ඝකාළිණ විසඳුම් සෙවිය යුත්තේ පවතින භූමිය තුලින් වන බැවින් මගේ බොහෝ මිතුරු විවේචකයන් තම පුද්ගලික හේතුපාඨයන් පසක දමමින් සිටිති.

විප්ලවවාදී දේශපාලන අතීතයේ නශ්ඨාවශේෂ වලින් පහර කමින් වඩා පුළුල් බහුජන දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමේ සංකීර්ණ දේශපාලන ක්‍රියාවළියකට නායකත්වය දීමට අනුර කුමාර දිසානායකට හැකියාවක් ඇත්තේ කෙසේදයි මා තුල තිබූ අවබෝධය සනාත කරගන්නට අපගේ හමුවීම මට උපකාරී විය. අවධානය, සවන් දීම, කරුණු ගොනුකර ගැනීම සහ ප්‍රතිචාරය යන නායකයෙකු සඳහා අත්‍යවශ්‍ය වන ගුණාංග ඔහු තුල දැකිය හැකි විය. යහපත් නායකයෙකු සතු විය යුතු එහෙත් ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලකයන් තුල දැකිය නොහැකි වන්නේද මෙම ගුණාංගයන්ය.

අනුරුද්ධ ලොකුහපුආරච්චි

උවිඳු කුරුකුලසූරිය, අනුර දිසානායක, අනුරුද්ධ ලොකුහපුආරච්චි

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...