පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

Share post:

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත ක්‍රියාවලියක තීරණාත්මක සිදුවීමක් බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ. ඊට අදාළ සැඟවූ සාක්ෂි මතුවෙමින් තිබේ. අප්‍රේල් 21දායින් පසු 26දා සයින්දමරුදු පිපිරීම සිදු කෙරිණි.

මේ පිළිබඳ සිදු කළ විධිමත් විමර්ශන 2019 නොවැම්බර් මාසයෙන් පසු සිදු වූයේ නැත. ඊට හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් සියල්ල මාරු කෙරිණි. අලුත්ම නිලධාරීන් පිරිසක් අතට පාස්කු විමර්ශන බාර කෙරිණි.

නැවතත් විධිමත්ව එම විමර්ශන ආරම්භ කෙරුණේ 2024 නොවැම්බර් මාසයේදී ය. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ය. දැන් යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ය.

කවර තත්ත්වයක් යටතේ හෝ ජනතාවට අවශ්‍ය වන්නේ යුක්තියයි. යුක්තිය පිළිබඳ ජනතාවට විශ්වාසය තැබිය හැකි වන්නේ යුක්තිය ඉටුවන බව පෙනෙන්නට තිබුණහොත් පමණි. දැන් එවැන්නක් පෙනෙන්නට තිබේ.  

සාරා හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් අතුරුදන් කිරීම විමර්ශන වෙනත් අතකට ගෙනයෑමට සමත් වූ සිද්ධියකි. එහෙත් සාරා මියගිය බව පෙන්වීමට පාර්ශ්ව ගණනාවකට දැඩි අවශ්‍යතාවක් තිබිණි. ඒ අනුව තුන්වැනි ඩීඑන්ඒ පරීක්ෂණයෙන් සාරා මරා දැමීය.

‘හාදියා සිය සාක්ෂියේ සඳහන් කර ඇත්තේ 2019 අප්‍රේල් 26දා සයින්දමරුදුහි සිදුවූ පිපිරීමෙන් පසු ඇය සිහිසුන් වූ බවයි. ඇය යථාතත්ත්වයට පත්වීමෙන් පසු සාරා මෙන් හඬ නඟන කාන්තාවකගේ කටහඬක් ඇසුණු බව ඇය කියා ඇත. සාරාගේ මව සමග කළ ඩීඑන්ඒ විශ්ලේෂණය අනුව පිපිරීමෙන් සාරා මිය ගිය බව තහවුරු වී නැත. මෙම සාක්ෂිය සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ කොමිසම නිර්දේශ කරන්නේ සාරා පිළිබඳ පරීක්ෂණ දිගටම කරගෙන යන ලෙසයි.‘ මේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ 17 වැනි පරිච්ඡේදයේ නිර්දේශයකි. 17 වැනි පරිච්ඡේදයේ සඳහන් වන්නේ ප්‍රහාරයට අදාළ විදේශීය මැදිහත්වීම් ගැනයි. 

පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු 2019 අප්‍රේල් 26 වැනිදා කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ බොලිවේරියන් ග්‍රාමයේ නිවසක පිපිරීම් සහ වෙඩි තැබීම් කිහිපයක් වාර්තා විය. අදාළ ප්‍රදේශය අයත් වූයේ අම්පාර පොලිස් කොට්ඨාසයට වන අතර, අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලෙස සාමන්ත විජේසේකර කටයුතු කරද්දී ඔහු යටතේ ප්‍රියදර්ශන හේරත් නම් තවත් පොලිස් අධිකාරීවරයෙක් කල්මුණේ ප්‍රදේශය භාරව කටයුතු කළේය. ඔහු යටතේ කල්මුණේ මූලස්ථාන පොලිසිය තිබිණි. අප්‍රේල් 26 වැනිදා අපරාධය සිදුවූයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ බැවින් සිදුවීමෙන් පසු අප්‍රේල් 27 වැනිදා කල්මුණේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සිද්ධිය ගැන කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ බී- 9924/2019 අංකය යටතේය. එම පළමු තොරතුරු වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘…ඒ අවස්ථාවේ හමුදා නිලධාරීන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී. මෙම ප්‍රහාරයෙන් මේ වන විට හඳුනා නොගත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට සැක කරන ත්‍රස්ථවාදීන් 06 දෙනකු සහ ඔවුන් බෝම්බ පුපුරුවා හරින අවස්ථාවේ ඒ අවට සිටි කාන්තාවන් 04ක්ද, කුඩා දරුවන් 06ක් ද මිය ගොස් ඇත. මෙම සිද්ධියෙන් මිය ගිය 15 දෙනකුගේ මෘත දේහයන් සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව මත තබා ඇති අතර එක් මෘත දේහයක් දැනට අම්පාර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.‘

මෙම බී වාර්තාවෙන් පැහැදිලිවම සඳහන් කර ඇත්තේ මෙම සිද්ධියෙන් 16 දෙනකු මියගොස් ඇති බවයි. එසේ තිබියදී වෙනත් පොලිස් බල ප්‍රදේශයක් වන අම්පාර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා 2019 අප්‍රේල් 30 වැනිදා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කළේය. එහි සඳහන් වී ඇත්තේ මරණ ගණන 17ක් ලෙසය. සිද්ධියෙන් තුවාල ලබා දැරියක සහ කාන්තාවක රෝහල් ගත කළ අතර අම්පාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මුල්වරට එම තුවාල ලැබූ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නේ 2019 මැයි මස 03 වැනිදාය. දින කිහිපයක් ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා අතරතුරදී සයින්දමරුදු පිපිරීම වූ ස්ථානයේ ‘සාරා ජස්මින්‘ නම් කාන්තාවක සිටි බව කියැවිණි. සාරා එම ස්ථානයේ සිටි බවට හරියට තහවුරු වූයේ එවිටදීය. නමුත් සාරාට අයත් සිරුරක් එම ස්ථානයේ නොතිබිණි.

සාරාගේ මව වන රාජරත්නම් කවිදා අම්මාර මූලස්ථාන පොලිසියට 2019 මැයි මස 24 වැනිදා එනම් සිද්ධියෙන් මාසයක් වෙන්නට දින දෙකක් තිබෙද්දී කැඳවූ අතර එදිනම අධිකරණයට කරුණු වාර්තා කරමින් ඇගේ රුධිර සාම්පල් ගෙන ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීමට අම්පාර පොලිසිය අවසර ලබා ගත්තේය. ඒ අනුව යවන ලස සාම්පල් පරීක්ෂා කිරීමෙන් පසු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වාර්තා කළේ සාරා ජස්මින්ගේ මවගේ ඩීඑන්ඒ සමග සයින්දමරුදුවලින් එවා තිබූ කිසිදු ඩීඑන්ඒ සාම්පලයක් නොගැලපෙන බවයි. ඉන් පසු පොලිසිය යළි විමර්ශනයක් ආරම්භ කළේ සාරා ජස්මින් යනු ඇගේ මව කවිදාටම ඉපදුණු දරුවෙක්ද යන්නයි. විමර්ශනයේ දී තහවුරු වූයේ කවිදාගේ දියණිය සාරා ජස්මින් බවයි. 

මේ වන විට සයින්දමරුදු සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශන ආරම්භ කර තිබිණි. එසේම අප්‍රේල් 21 වැනිදා මීගමුව කටුවාපිටිය පල්ලියේ ප්‍රහාරය ගැන විමර්ශනය කරමින් සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම් කිරීමේ හා ජාවාරම් කිරීමේ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතාය. කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරු වූයේ අච්චි මොහොමඩ් හස්තුන්ය. හස්තුන්ගේ බිරිඳ සාරා ජස්මින් බව විමර්ශනයේදී අනාවරණය වීමෙන් පසු සාරා සම්බන්ධයෙන් ද සුගත් අමරසිංහගේ විමර්ශනයේදී අවධානය යොමු වී තිබිණි. එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සාරා ජස්මින්ගේ හැදුනුම්පතට 2020 අප්‍රේල් 05 වැනිදා සිම්පතක් අරගෙන ඇති බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් තම ඉහළ නිලධාරියාට 2020 මැයි මාසයේදී ලිපියක් යොමු කරමින් සුගත් අමරසිංහ මහතා මෙසේ සඳහන් කර තිබේ.

‘මා විසින් තවදුරටත් සාරා ජස්මින් නොහොත් මහේන්ද්‍රන් පුලස්තිනී විසින් ඇගේ හැදුනුම්පත උපයෝගී කරගෙන ලබාගෙන ඇති දුරකතන අංක සම්බන්ධයෙන් තාක්ෂණික ආධාර ඒකකය මගින් තොරතුරු ලබා ගත් අතර එහිදී 2020.03.05 දින මහේන්ද්‍රන් පුලස්තිනී විසින් —— දරණ ජාතික හැදුනුම්පත ඉදිරිපත් කර අංක ——– දරණ දුරකතන අංකය ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය විය. නමුත් එහි ලැබුණු සහ ලබා ගත් ඇමතුම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී එම දුරකතනය මරදමුණේ කල්මුණේ ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවක් පෙනී යයි. තවම එම අංකයෙන් ලබා ගත් ඇමතුම් පමණක් ඇති අතර එම ලබාගෙන ඇති දුරකතන අංකවල ඇමතුම් විස්තර වාර්තා ලබා ගෙන වැඩිදුරටත් හරස් පරීක්ෂණයකට ලක් කිරීමේදී මෙම ප්‍රශ්න ගත අංකයෙන් ලබා ගත් ඇමතුම් අනෙකුත් දුරකථන වාර්තාවල ලැබෙන ඇමතුම් ලෙස සටහන්ව නොමැත. එමෙන්ම ප්‍රශ්න ගත අංකයෙන් ලබාගෙන ඇත්තේ උපරිම තත්ත්පර 06ක් පමණ ඇමතුම් වන අතර එමගින් පෙනී යන්නේ මෙම ප්‍රශ්න ගත — දරණ සිම්පත බොහෝ දුරට ඩේටා සිම්පතක් විය හැකි බවය.‘

මෙලෙස දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් අවසානයේ නිරීක්ෂණ කිහිපයක් ද එම නිලධාරියා ඉදිරිපත් කර තිබෙන අතර එයින් එක් වැදගත් කරුණක් මෙසේය.

‘සාරා ජෙස්මින් නොහොත් මහේන්ද්‍රන් පුලස්තිනී සහරාන් ඇතුළු කණ්ඩායමේ සක්‍රීය සාමාජිකාවක ලෙස කටයුතු කර ඇති බවත්, පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය සම්බන්ධයෙන් දැනීමක් හා හැකියාවක් තිබූ බවටත් විමර්ශනවලට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදී කරුණු අනාවරණය වී ඇත. යම් හෙයකින් ඇය ජීවතුන් අතර සිටී නම් පහත කරුණු සම්බන්ධයෙන් අවදානයට යොමු කළ යුතු බව කාරුණිකව වාර්තා කරමි.  සාරා ජෙස්මින් සහරාන් ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් සිටි බැවින් අනෙකුත් ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙ ඇති බැවින් ද, ඇය ජීවතුන් අතර සිට සැගවී සිටී නම් ඇය මෙම කණ්ඩායමේ ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යා හැකි ප්‍රධාන සාමාජිකාවක් වේ. ඇය පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය සිදු කිරීම මගින් හා මෙතෙක් අත්අඩංගුවට පත්වී නොමැති හෝ අනාවරණය වී නොමැති සාමාජිකයින් හා එක්ව බිහිසුණු ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් පවතී. තවම ප්‍රධාන සැකකරුවන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැදවුම් නියෝග මත සිටින බැවින් ඔවුන් මුදවා ගැනීම සඳහා ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ප්‍රස්තාව ඇති අතර සැකකරුවන් හමුවීමට පැමිණෙන අමුත්තන් හරහා තොරතුරු රැස් කර ප්‍රහාරයක් දියත් කිරීමට ඉඩකඩ ඇති බවටද පෙනී යයි.‘

මෙවැනි බරපතල කරුණු ගණනාවක් මෙම වාර්තාවේ සඳහන් කර තිබිණි. මේ සම්බන්ධයෙන් මෙම නිලධාරියා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවූ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයට ද ප්‍රකාශයක් දුන් අතර පසුව කොමිසමේ දී සාක්කි ලබාදීම ද සිදුවිය. කෙසේ වෙතත් වහාම සාරා ගැන විමර්ශන කරන ලෙසට මෙම නිලධාරියා ප්‍රමුඛ කණ්ඩායමට පොලිස්පතිවරයා නියෝග කරනවා වෙනුවට සිදුවූයේ සාරා පැන ගිය බවට වන විමර්ශනය එවකට බරපතල චෝදනා ගණනාවක් එල්ලවෙමින් තිබූ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදීමය. කොළඹ අපරාධ කොට්ඨාසය නිසි විමර්ශනයකින් තොරවම සාරාට පැන යෑමට උදව් කළ බව කියමින් අබුබකර් නම් පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් අතර ඔහුට පසුව අධිචෝදනා ගොනු කෙරිණි. සාරා සොයන පරීක්ෂණ එතැනින් අහවර විය.

කෙසේ වෙතත් පසුව 2021 වසර අවසන් වන විට රටේ පැවැති තත්ත්වය සහ 2022 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරාට ධුරය අතහැර පලා යන ලෙස බල කෙරුණු උද්ඝෝෂණවල ආරම්භයත් සමග සාරා මිය ගිය බවට තහවුරු කිරීමේ වුවමනාවක් යම් පිරිසකට තිබුණු බව පෙනී ගියේය. නැවත වරදක් සාරා මිය ගියේද යන්න තහවුරු කර ගැනීම සඳහා 2022 අප්‍රේල් මාසයේදී පරීක්ෂණ ආරම්භ විය. සයින්දමරුදු ප්‍රහාරයෙන් මිය ගිය සම්පූර්ණ ගණන 16ක් වන අතර එම 16 දෙනාගේ සිරුරු වෙන වෙනම වල දමා තිබිණි. ඊට අමතරව මේ අයගේ ඇතැම් මාංශපේෂි කොටස් (එකට කලවම්වී තිබුණු) 16 දෙනාගේ සිරුරු වළ දැමීමෙන් පසු ඉන් මදක් ඔබ්බෙන් වල දමා තිබිණි. 2022 දී නැවත සාම්පල ලබා ගනිද්දී මේ වළවල් 17න්ම සාම්පල ලබා ගෙන රස පරීක්ෂඛ වෙත යැවූ බවට වාර්තා පළ විය. රස පරීක්ෂක වාර්තාව පසුව මහේස්ත්‍රාත් අධිකරණයට එවිය යුතු අතර එසේ වුවද හදිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක 2023 මාර්තු 29 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් රස පරීක්ෂකගේ වාර්තාවේ අන්තර්ගතය ප්‍රසිද්ධ කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනය මෙසේය.

‘2019 අප්‍රේල් 26 වන දින සයින්දමුරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක් තුළ රැඳී සිටියදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා හැරීම හේතුවෙන් මිය ගිය තැනැත්තන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන විමර්ශනවලදී එම මරණකරුවන් හඳුනා ගැනීම සඳහා අධිකරණ නියෝග මත විශේෂඥ අධිකරණ සහ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් ගේ සහභාගීත්වයෙන් තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල් සම්බන්ධව සිදුකරන ලද ඩී.එන්.ඒ. පරීක්ෂාවේදී එම මියගිය තැනැත්තන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය ද සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත්කරන ලද වාර්ථා මගින් තහවුරුවී ඇත. පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අයගේ මවගෙන් ලබාගන්නා ලද ඩී.එන්.ඒ. සාම්පල් සමඟ අපරාධ ස්ථානයෙන් සොයා ගන්නා ලද අස්ථි කොටස් කොටස් කිහිපයක ඩී.එන්.ඒ. සාම්පල්, මවගේ සහ දරුවන් අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය තහවුරු වන ප්‍රතිඵලයක් බවත්, ඒ අනුව එම අස්ථි සාම්පල් හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවිදා වීමට ඇති සම්භාවිතාව සියයට 99.9999ක් බව තහවුරු වී ඇති බවත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ වැඩිදුරටත් සඳහන්කර ඇත.‘

එතැතින් විමර්ශන අංශ අවසන් කළ සාරාගේ කතාව යළිත් කරලියට එන්නේ 2024දීය. ඒ විමර්ශන අංශ යළි වැඩ පටංගත් පසුවය. 2022 දී ඩීඑන්ඒ ටැලි කළැයි කී අස්ථි කොටස ද දැන් සොයා ගන්නට නැත.  දැන් ඇත්තේ එම අස්ථි කොටසේ ඡායාරූපයක් පමණි. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරිනිය කියා ඇත්තේ ඩීඑන්ඒ පරීක්ෂණය කළේ සමස්ථ අස්ථියම දියකර බවයි. ඡායාරූපයේ ඇති අස්ථියත් අධිකරණ වෛද්‍ය නිලධාරීගේ, විමර්ශකයන්ගේ සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රකාශත් පරස්පරවී ඇති බව දැනගන්නට තිබේ.

පසුගියදා පාර්ලිමේන්තු විවාදයේ දී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අනාවරණය කළේ සාරා ජස්මින්ගේ ඩීඑන්ඒ වාර්තාව ලබා ගැනීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් ඇත්තේ එවකට පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කණ්ඩායමක් බවයි. එසේම පොලිසිය බාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සාරාගේ තුන්වැනි ඩීඑන්ඒ පරීක්ෂණ ක්‍රමවේදය ගැන බරපතල සැක මතුවී ඇති බවයි. එසේම මෙම සැකය තවදුරටත් වර්ධනය කරමින් මුජිබර් රහුමාන් මහතා තවදුරටත් ප්‍රකාශ කළේ සාරා ජස්මින්ට කුමක්වීද යන්න ගැන වර්තමාන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා යටතේ එවකට සිටි මේජර් සුදසිංහ මහතාගෙන් ප්‍රශ්න කළහොත් දැනගත හැකි වනු ඇති බවයි. 

එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් කෙටි අදහස් දැක්වීමක් වර්තමාන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා කළ අතර සයින්දමරුදු සිදුවීම වන අවස්ථාවේ තමා යුද හමුදාවේ නැගෙනහිර ප්‍රධානියා බව පිළිගත්තේය. බුද්ධි අංශ ඉතා සුළු පිරිසක් මේ පිටුපස සිටින බවට වන කතාවක් ද ඔහු කීවේය. ඒ අනුව අවුරුදු ගණනක් තිස්සේ යුක්තිය ඉල්ලන සහ මේ ගැන සොයා බලමින් සිටි පිරිස් ප්‍රකාශ කළ කරුණු ගණනාවක් දැන් දිගහැරෙමින් තිබේ.

සයින්දමරුදු සිදුවීමේ දී එම ස්ථානයට ගිය යුද හමුදා කණ්ඩායමේ ප්‍රධානියකු වූයේ මේජර් සිදහිංහ මහතාය. අප්‍රේල් 26 වැනිදා රාත්‍රියේ යුද හමුදාවේ කණ්ඩායමක් අදාල නිවස අසලටම ගිය බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබේ. පාස්කු කොමිසමේදීද ඊට අදාල කරුණු රැසක් අනාවරණය විය. මුජුබර් රහුමාන් මහතා සඳහන් කළේ මේජර් සුදසිංහගෙන් ප්‍රශ්න කළොත් සාරා ජස්මින් ගැන දැන ගත හැකි වනු ඇති බවයි. ඒ අනුව මතුවන ප්‍රශ්නය වන්නේ සාරා පැන්නුවේ හමුදාවෙන්ද යන්නයි. නොඑසේනම් එහි සිටි හමුදාවේ පිරිසක් සාරා පැන්නවීමට උදව් කළේද යන්නයි. මෙම බරපතල සැකය තවදුරටත් තහවුරු කරන කාරණා කිහිපයක් තිබේ. ඉන් පළමු වැනින්න වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සියලු ස්ථාන සිද්ධිය වූ වාහම විමර්ශන කටයුතු සඳහා පොලිස් බාරයට ගැනීම සහ සයින්දමරුදු නිවස පමණක් සිද්ධියෙන් පැය 12ක් පමණ යන තෙක් හමුදා බාරයේ තබා ගැනීමයි. 

මතුව එන සැකය ද සමග සාරා එදා මියගොස් නැති බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය සමයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා යොමු කළ වාර්තාව සත්‍යයක් බව ඇඟවෙන කරුණු ඉදිරිපත් වෙමින් තිබේ. දැන් ප්‍රශ්න එදා නොමළ සාරා දැන් සිටින්නේ කොහේද යන්න පමණි.

සයින්දමරුදු සිදුවීම වූ නැගෙනහිර පළාත යනු යුද සමයේ කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් ඇතුළු පිරිසකගේ අණසක යටතේ පාලනය වූ ප්‍රදේශයකි. පසුව පිල්ලෙයාන් සහ කරුණා එල්ටීටිඊ සංවිධානයෙන් කැඩී රජයේ හමුදා වෙත සහයෝගය පළ කළහ. අදාල කාලවකවානුවලදී නැගෙනහිර පළාතේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් ආරක්ෂක අංශ සමග ළඟින් ගනුදෙනු කළ බවත්, ඒ ඇතැමුන්ට ගිනි අවි ලබා දී ආයුධ පුහුණව පවා ලබා දුන් බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසමේ දී අනාවරණය විය. එපමණක් නොව මෙම ආයුධවලින් රජයට නැවත බාර දී ඇත්තේ කොටසක් පමණක් බව ද කියැවිණි. එසේම එලෙස පුහුණුවීම් ලැබූ ඇතැම් මුස්ලිම් වැසියන් දිගටම ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ සමග ගනුදෙනු කළ බව අනාවරණය විය.

මේ අනාවරණයන් හා මීට පෙර සිදුවීම් එකිනෙකට ගැටගැහෙමින් තිබේ. දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා 2005 දෙසැම්බර් 25 වැනිදා ඝාතනය කර තිබිණි. ඒ ගැන කළ විමර්ශනවලට අනුව පිල්ලෙයාන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් පිරිස අතර හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් ද විය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ සාක්කිකරුවකු වූ සම්පත් ප්‍රීතිවිරාජ් නම් පොලිස් නිලධාරියා ද බුද්ධි අංශ සහ පිල්ලෙයාන්ලාගේ කණ්ඩායම අතර සම්බන්ධතා හෙලිදරව් කළේය.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට පිල්ලෙයාන්, බුද්ධි අංශ සාමාජික කලීල් ඇතුළු පිරිස සිටියේ මඩකලපුව බන්ධනාගාරයේය. ඒ ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිටය. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන බව පිල්ලෙයාන් දැන සිටි බවට කරුණු ඇතැයි ආනන්ද විජේපාල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේය. ඊට පෙර මේ බව කීවේ චැනල් ෆෝ නාලිකාව හරහා අනාවරණයක් කළ පිල්ලෙයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාත් මවුලානාය. පිල්ලෙයාන් මඩකලපුව බන්ධනාගාරයේ සිටියදී 2017 මාර්තු 10 වැනිදා කාත්තන්කුඩියේ ඇතිවූ ගැටුමකින් පසු සරහාන්ගේ සහෝදරයා ෂයිනි මව්ලවි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ පසු මාස කිහිපයක් මඩකලපුව බන්ධනාගාරයේ සිටියේය. පිල්ලෙයාන් පාස්කු කොමිසමේ සාක්කි දෙමින් තමා සහ ශයිනි අතර සමීප සබඳතාවක් තිබූ බව පිළිගත්තේය. පෙර සඳහන් කළ 2019 අප්‍රේල් 26 සිදුවීමේදී ශයිනි මිය ගියේය. සහරාන්ගේ බිරිඳගේ ප්‍රකාශය අනුව ශයිනි  සයින්දමරුදු පිපිරීමෙන් පසු ජීවතුන් අතර සිට ඇත. ඇය කියන්නේ ඉන් පසු වෙඩි ප්‍රහාර මාලාවක් ඇසුණු බවයි. එවකට එම ප්‍රදේශයේ යුද හමුදා ප්‍රධානියකු වූ මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතාගේ සම්මුඛ සාකච්ඡාවක්  2025 අප්‍රේල් 19දා පුවත්පතක පළවිය. එහි පැහැදිලිවම ඔහු සඳහන් කර ඇත්තේ ගිනි අවි දෙකකින් වෙඩි තැබූ බව හා ඉන් කෙනෙක් සහරාන්ගේ සහෝදරයකු බවයි. බෝම්බ පිපිරීමෙන් පසු වෙඩි තැබූවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ඔහු කියා තිබේ. හාදියාගේ සහ මුදලිගේගේ ප්‍රකාශ දෙකෙන්ම තහවුරු වන්නේ ශයිනි මැරුණේ බෝම්බයෙන් නොවන බවයි. පාස්කු ප්‍රහාරයේ වැදගත්ම සාක්කිකරුවකු වන ශයින් එසේ නම් මැරුණේ කෙසේද? මුජිබර් රහුමාන් කී මේජර් සුදසිංහ මහතාට මේ ප්‍රශ්නවලට ද පිළිතුරු දීමට සිදුවනු ඇත. 

මුදලිගේ මහතාගේ ප්‍රකාශයේ දෙදෙනකු වෙඩි තැබූ බව සඳහන් වුවද, පසුදින උදෑසන එතැනින් සොයා ගත්තේ එක් ගිනිඅවියක් පමණි. එසේ නම් අනෙක් ගිනිඅවියට කුමක් සිදුවීද?

ඇත්තටම සයින්දමරුදුවලදී සිදුවූයේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ඉතිරි වූ ප්‍රහාරය ගැන දන්නා සියලුම දෙනා රිපෝටර් නියාස් නම් පුද්ලයාලවා එක තැනකට එකතු කර ඔවුන්ලවාම විනාශ වීමට සලස්වා අවසානයේ ශයිනි සහ රිපෝටර් නියාස් ඝාතනය කිරීමද යන්න ගැන ගැඹුරින් විමර්ශනයක් කළ යුතු බව පෙනේ.

පිල්ලෙයාන්ගේ හොඳම ගෝලයකු වූ ඉනිය බාරතීද පසුගිය සතියේ අත්අඩංගුවට ගත්තේය. ඔහු සම්බන්ධයැයි සැක කරන අපරාධ ගණනාවක් පොලිසිය ප්‍රසිද්ධ කළේය. ශ්‍රී ලංකාවේ නිල රාජ්‍යට පිටින් තවත් රාජ්‍යයක් ක්‍රියාත්මක වූ බවට කරුණු ගණනාවක් එකිනෙක දිගහැරෙමින් පවතින බව නම් දැන් පැහැදිලි ය.

Related articles

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම...

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා එල්ලවෙනවා ප්‍රසිද්ධ භික්ශුවකට.මේ ආකාරයෙන් කුඩා දරු දැරියන් අපහරණය කිරීම...