“ඔව්, මං සරාගිකයි. රාගික සිතුවිලි වැඩියි.” ‘ප්‍රේමයේ මහඇදුරු’ පටන් ගන්නෙ එහෙම

Share post:

“මනෝවිද්‍යාත්මකව ගැහැනිය ඒක පුරුෂ නැහැ. බහු පුරුෂයි. පිරිමියා ඒක භාර්යා නැහැ. බහු භාර්යායි. කිසිම පිරිමියෙක් කවමදාක්වත් එක ගැහැනියකගෙන් තෘප්තිමත් වෙන්නෙ නැහැ.”

මේක සංවාද කරන්න වෙන කතාවක්. ඒක ඔබට ඉතුරු කරලා මම ඉදිරියට යනවා. කැනඩාවේ, ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයට. ඒ ප්‍රේමයේ මහඇදුරු හමුවෙන්න.

ජීවිතේ විවිධ අවධිවලදි අපි ප්‍රේමය විවිධ විදියට අර්ථ දක්වගන්නවා. අමිල තේනුවර ලියපු ගීතයක් තියෙනවා අමරසිරි පීරිස් ගායනා කරන. ඒ ගීතයේ මෙහෙම කියනවා.

“අතින්වත් අත ඇල්ලුවේ නැහැ
කිසිම කිළුටක් තිබුණෙ නැහැ”

එහෙම ආදරයක් නොතිබුණ කෙනෙක්ට ඒක තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඒක අත්විඳලා තියෙන අය ඒක දන්නවා. ඒ වගේම ප්‍රේමය එහෙම රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය වෙන්නම අවශ්‍යත් නැහැ. විවිධ තැන්වලදි අපි ප්‍රේමය ඔය විවිධ විදියට දකිනවා.
සමුද්‍ර වෙත්තසිංහගේ ‘ප්‍රේමයේ මහඇදුරු’ පටන් ගන්නෙ මෙහෙම වාක්‍යයකින්.
“ඔව්, මං සරාගිකයි. රාගික සිතුවිලි වැඩියි.”

සාමාන්‍යයෙන් නවකතාවක පළවෙනි වාක්‍යය වැදගත්. ඒ පළමු වාක්‍යය හරහා අපි කියවන්න යන නවකතාව ගැන ප්‍රදීපාගාරයක ආලෝකයක් වගේ මඟපෙන්වීමක් ලැබෙන නිසා. මේ වාක්‍යය ඒ වගේම කුතුහලයත් ඇති කරනවා. තමන් රාගික බව විවෘතව ප්‍රකාශ කිරීම කොයිතරම් පහසු දෙයක්ද? ඇත්තටම ඒක එහෙම හිතන තරම් පහසු දෙයක් නෙමෙයි.

කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ මහාචාර්ය දේවා තමයි මේ නවකතාවේ කතා නායකයා. ඔහු තමන්ගේ ප්‍රංශ ජාතික පෙම්වතියට කියන මේ වාක්‍යයෙන් තමයි නවකතාව පටන් ගන්නෙ.

මේ නවකතාව ලේඛකයන් සහ දාර්ශනිකයන් ගණනාවකගේ ජීවිත සහ නිර්මාණ හරහා ගමන් කරන නිසා මේකට ප්‍රවිශ්ට වෙන හොඳ කියවීමක් තියෙන පාඨකයෙක්ට මේක නිකන් හොඳට අයිසින් කරපු කේක් එකක් වගේ කාගෙන කාගෙන යන්න පුළුවන්. එහෙම නැතිවුණත් මේක කියවීම ඇතුළෙ පාඨකයෙක්ට තමන්ගෙ දැනුම් කලාපය වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකට ඉතින් පොඩ්ඩක් අන්තර්ජාලය පරිශීලනය කරලා කරුණු ටිකක් අධ්‍යනය කරන්න වෙනවා.

සරත්චන්ද්‍රයන්ගෙ මළගිය ඇත්තෝ වගේ නවකතාවක තියෙන හද බසට ළඟින් යන භාෂාවක් සමුද්‍ර වෙත්තසිංහ භාවිත කරනවා. පරිසරය ගැන ලියවෙන හුඟක් තැන් සෑහෙන්න අපූරුයි. ඒ නිසාම පොතේ පසුබිම අපිට නුහුරු රටක් වුණත් ඒකාත්මික වෙන්න පහසුයි.

“කුඩා දිය පාර අද්දර ඔලිව් තුරු සෙවණ යට එදින සන්ධ්‍යාවෙහි මට වෙරෝනා හමුවිය. අහස් කුස කුරුලු රෑන පියඹමින් නදදුන්නේ නිහඬ බව ගීතවත් කරමිනි. පාළු බිම් නෙරයක, ප්‍රේමයෙහි මිහිර විඳීම තුළ ඇත්තේ දිව්‍යමය සුන්දරත්වයකි.”
පිටුව 35

මහඇදුරු දේවා, මැදිවියට එළඹෙමින් සිටින විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. ඔහු සිය සරසවියේ කථිකාචාර්යවරියක සමඟ පෙමින් බැඳෙනවා. ඇය ප්‍රංශ ජාතික කාන්තාවක්. ඇගේ නම වෙරෝනා. මේ දෙන්නා අතර වයස් පරතරය අවුරුදු විස්සක් විතර. වෙරෝනා එක්වරම අතුරුදන් වෙනවා. කිසිම හේතුවක් නැතිවම. කතාව ගලා යන්නේ ඒ විදියට.

“ආදරය කියන්නේ එකතැන රැඳී සිටීමක් නෙමෙයි. විවිධ උල්පත්වලින් පෝෂණය වෙලා ගලා යන ගංගාවක් ආදරය. ඔයා මගෙන් පෝෂණය වෙලා ඉදිරියට ගලාගෙන යන්න. තවත් සුන්දර උල්පත්වලින් පෝෂණය වෙන්න.”

ගල් යුගයේ සිට අද දක්වාම මනුෂ්‍ය ප්‍රේමය කියන්නේ අපිට තේරුම් අරන් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ විශ්වය තේරුම් ගත්තත් ප්‍රේමය කියන්නේ අපිට ගවේෂණය කරලා ඉවර කරන්න බැරි දෙයක්. මිනිස් ඉතිහාසය පුරා මේ වෙනකන් කීදෙනෙක්නම් ප්‍රේමය ගැන කතාකරලා තියෙනවද? ඒත් අදත් අපි ඒ ගැන පොත් ලියනවා, දාර්ශනික මත ඉදිරිපත් කරනවා. සමුද්‍ර උත්සාහ කරන්නෙත් මෙන්න මේ ගවේෂණය කරලා ඉවර කරන්න බැරි මානව ප්‍රේමය නම් ගංගාවට පොඩි උල්පතක් එකතු කරන්න.

නවකතාවක් විදියට ආශ්වාදනීය නමුත් ග්‍රීක ඛේදාන්ත නාට්‍ය කලාවේ වගේ අවසානයකට ගෙනයමින් පාඨකයා කම්පනයට පත්කරන ලිවීමක්. නවකතාවේ මුල් භාගය ඉතාම රමණීය සහ හරිම අපූරු වේගයකින් ගලා යන්නක්. දෙවෙනි භාගයේ සිදුවීම්වල වේගය පළමු භාගයේ වේගය සමඟ තව පෑහුණානම් මේක තවත් අපූරුම අත්දැකීමක් වෙන්න තිබුණා.

මේක කියවීමෙන් ආත්මය තුළ ඇතිකරන පොඩි Void එකක් තියෙනවා. ඒක නිසාම මම හිතන්නේ ඒ හිස් තැන අපිට අපේ සම්බන්ධතා සහ ජීවිතය ගැන නැවතත් ගැඹුරින් හිතාබලන්න අවකාශය සකස් කරලා දෙනවා. ඒ නිසා ප්‍රේමයේ මහඇදුරු කියවන්න කියලා මම ආරාධනා කරනවා.

රශ්මික මණ්ඩාවල

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...