ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා දෙන ලෙසට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් දෙන ලද තීන්දුවකට එරෙහිව කරන ලද ප්‍රතිශෝධන අයදුම්පතක් පසුගිය 08දා ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය, විභාග අපේක්ෂකයින්ට තමන්ගේ ඇගයීමට ලක් කළ පිළිතුරු පත්‍ර වෙත ප්‍රවේශ වීමට අයිතියක් ඇති බව තීන්දු කළේය.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් ගොනු කළ අංක RTI/01/2024 දරන ප්‍රතිශෝධන අයදුම්පත විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන්නේ අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා විසිනි.
විවෘත විශ්වවිද්‍යාලය විසින් 2023 ජනවාරි 08 වැනි දින පවත්වන ලද නීතිවේදී (LLB) උපාධිය සඳහා වූ තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගී වූ ආර්.ඒ.ඩී. සශින්ද්‍යා රණසිංහ නමැති ශිෂ්‍යාවගේ පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබා දෙන ලෙස ඇයගේ පියා වන ආර්.ඒ. ජානක රොෂාන් රණසිංහ මහතා විසින් එම විශ්ව විද්‍යාලයෙන් තොරතුරු ඉල්ලීමක් කර ඇත . විශ්වවිද්‍යාලයේ තොරතුරු නිලධාරියා සහ නම් කළ නිලධාරියා විසින් 2023 ජූලි 10 සහ 17 යන දිනවලදී මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ, තොරතුරු පනතේ 5(1)(l) වගන්තිය යටතේ, විභාගයක අඛණ්ඩතාවට එයින් හානියක් විය හැකි බව පවසමිනි. පිළිතුරු පත්‍ර මුදා හැරීම මගින් විභාගයේ ව්‍යුහය සහ ඇගයීම්කරුවන්ගේ තොරතුරු හෙළිදරව් වීමෙන් විභාග ක්‍රියාවලියේ ආරක්ෂාවට තර්ජනයක් වන බව විශ්වවිද්‍යාලයේ තර්කය වී ඇත.
කෙසේ වෙතත්, රණසිංහ මහතා විසින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනයකින් අනතුරුව, 2023 නොවැම්බර් 28 දින එම කොමිසම විසින් අදාළ තොරතුරු ලබා දෙන ලෙස විශ්වවිද්‍යාලයට නියෝග කර ඇත. මෙම තීරණය අභියෝගයට ලක් කරමින්, විවෘත විශ්වවිද්‍යාලය, එහි උපකුලපතිවරයා සහ පාලක සභාවේ සාමාජිකයින් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කරන ලදී.
අපේක්ෂකයෙකු තමන් විසින්ම ලියන ලද පිළිතුරු පත්‍රයක් සහ එය ලකුණු කර ඇති ආකාරය පරීක්ෂා කිරීමට ඉල්ලා සිටින විට එය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව අභියාචනාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය. උසස් අධ්‍යාපන ආයතන තුළ “හැංගි මුත්තම් සෙල්ලම්” පැවතිය නොහැකි බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) ව්‍යවස්ථාව සහ තොරතුරු පනතේ පූර්විකාව මගින් අපේක්ෂා කරන පරිදි පාරදෘශ්‍යභාවය සහ වගවීම අතිශයින් වැදගත් බවත් අධිකරණය දැඩිව අවධාරණය කළේය.
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ සී.බී.එස්.ඊ. එදිරිව ආදිත්‍ය බන්දෝපාධ්‍යාය සහ මෘදුල් මිශ්‍රා එදිරිව සභාපති, යූ.පී.එස්.සී. යන නඩු තීන්දු මෙන්ම මෑතකදී ලංකා බැංකුවට අදාළව දුන් අභියාචනාධිකරණ තීන්දුවක් ද උපුටා දක්වමින් අධිකරණය ප්‍රකාශ කළේ, පිළිතුරු පත්‍ර පරීක්ෂා කළ පරීක්ෂකවරයාගේ අනන්‍යතාව සහ රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි සෑම විභාග අපේක්ෂකයෙකුටම තම ඇගයීමට ලක්වූ පිළිතුරු පත්‍ර වෙත ප්‍රවේශ වීමට නෛතික අයිතියක් ඇති බවයි. තවද, තොරතුරු පනතේ 4 වැනි වගන්තියට අනුව, විශ්වවිද්‍යාල අතුරු ව්‍යවස්ථා මගින් තොරතුරු පනතේ විධිවිධාන යටපත් කළ නොහැකි බවත්, පනතේ ප්‍රතිපාදන සෑම විටම ප්‍රමුඛ වන බවත් අධිකරණය තීන්දු කළේය.
තොරතුරු කොමිසමේ තීරණයට එරෙහිව පනතේ 34(1) වගන්තිය යටතේ මාසයක් ඇතුළත සාමාන්‍ය අභියාචනයක් ගොනු කිරීමට නීතිමය ප්‍රතිපාදන තිබියදීත්, ඒ සඳහා කිසිදු සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකර, සුවිශේෂී අවස්ථාවලදී පමණක් භාවිතා කරන ප්‍රතිශෝධන බලතල යටතේ අධිකරණයට පැමිණීම අධිකරණයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. මෙරට නීතියට අනුව, අභියාචනයක් කිරීම අයිතිවාසිකමක් වන අතර, ප්‍රතිශෝධනයක් යනු අධිකරණයේ අභිමතය පරිදි බලවත් අසාධාරණයක් වළක්වා ගැනීමට පමණක් ලබා දෙන සහනයක් බව අධිකරණය පෙන්වා දුන්නේය.
මේ අනුව, විවෘත විශ්වවිද්‍යාලය නීතියට අනුකූලව සහ නිසි සැලකිල්ලෙන් කටයුතු කර නොමැති බව තීරණය කළ අභියාචනාධිකරණය, ඔවුන් විසින් ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත නිශ්ප්‍රභ කිරීමට තීන්දු කළේය. ඒ අනුව, තොරතුරු කොමිෂන් සභාව විසින් ශිෂ්‍යාවට පිළිතුරු පත්‍රය ලබාදෙන ලෙස දුන් නියෝගය තවදුරටත් නීත්‍යානුකූලව බලාත්මක කරඇත.

