ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

Share post:

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ බවට ව්‍යාජ ලෙස අත්සන් තැබීම ඇතුළු චෝදනා කිහිපයක් මත එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෘත්තීය සමිති සභාපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල්. වීරසේන සහ එම රෝහලේම සේවය කරන ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියක වන එස්.ඒ.එන්.ඩී. සියඹලාපිටිය යන අයයි.

පසුගිය අප්‍රේල් මස 09 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් සංවිධානය කරන ලද වැඩ වර්ජනයක් පැවති දිනක, ත්‍රිකුණාමලය රෝහලේදී එස්. තිලක්ෂිකා නමැති මවකගේ දරු ප්‍රසූතියේදී සිදු වූ බිලිඳු මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වූ කරුණුවලට අනුව, අදාළ වෛද්‍යවරුන් දෙදෙනා සිය වගකීම් සහ වෘත්තීය ආචාරධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව හෙළි වී තිබේ.

විශේෂයෙන්ම එස්. තිලක්ෂිකා නමැති මව ප්‍රසූත වේදනා විඳිමින් සිටි අවස්ථාවේ ඇති වූ සංකූලතා පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය විසින් අවස්ථා හයකදී අදාළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියට දුරකථනයෙන් දැනුම් දී ඇතත්, ඔවුන් දෙදෙනාම සූතිකාගාරයට පැමිණීමට කටයුතු කර නැත. මෙම දැනුම්දීම් නොසලකා හරිමින් ඔවුන් රෝහලට වාර්තා නොකිරීම බිලිඳු මරණයට සෘජුවම බලපෑ ප්‍රධානතම විනය විරෝධී ක්‍රියාවක් බව විමර්ශන වාර්තාව මඟින් වැඩිදුරටත් තහවුරු කර ඇත.

විමර්ශන වාර්තාව මඟින් අනාවරණය වී ඇතැයි පැවසෙන තවත් බරපතළ කරුණක් වන්නේ, අදාළ වෛද්‍යවරුන් දෙදෙනා රජයේ රෝහලේ රාජකාරියේ නිරත විය යුතු කාලසීමාව තුළ සිය සේවය පැහැර හරිමින් අසල පිහිටි පෞද්ගලික රෝහලක වෙනත් සිසේරියන් සැත්කමකට සහභාගී වී ඇති බවයි. එලෙස පෞද්ගලික සේවයේ යෙදී සිටියදීත්, තමන් රජයේ රෝහල තුළ රාජකාරි කළ බව ඒත්තු ගැන්වීම සඳහා ඔවුන් රෝහල් රාජකාරි දිනපොතේ අසත්‍ය සටහන් යොදා වංචනික ලෙස අත්සන් තබා ඇති බව ද විමර්ශනයේදී වැඩිදුරටත් තහවුරු වී ඇති බව පැවසේ. රාජකාරිය පැහැර හැරීම මෙන්ම රජයේ ලේඛන මෙලෙස ව්‍යාජ ලෙස සකස් කිරීම බරපතළ විෂමාචාර ක්‍රියාවක් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම විමර්ශන වාර්තාවේ නිර්දේශ මත පදනම්ව සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ, රෝගී මවට සහ බිලිඳාට අනතුරක් වීමට ඉඩ සැලැස්වීම, බරපතළ ලෙස රාජකාරිය පැහැර හැරීම සහ රජයේ සේවා නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අදාළ වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමටයි. මීට අමතරව, වැඩ තහනම් කර ඇති කාලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ව අවසරයකින් තොරව රටින් බැහැර වීම ඔවුන්ට තහනම් කර ඇති අතර, ඔවුන් පදිංචි ලිපිනය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව වහාම අමාත්‍යාංශය දැනුවත් කළ යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...

“අපි හැමෝම තේ කොළ වගේ ඈන්මරී. උණුවතුරෙ පැහෙනකං තේ කොළ දන්නේ නෑ තමන්ට තියෙන හැකියාව.”

උක්ත උපුටනය විරාජිනී තෙන්නකෝන් නම් ලියන්නිය විසින් වැවූ කැමෙලියා දල්ලකින් කඩා ගත්තකි. උණූවතුරේ පැසෙන්නා වූ තේ කොළ මේ...