උක්ත උපුටනය විරාජිනී තෙන්නකෝන් නම් ලියන්නිය විසින් වැවූ කැමෙලියා දල්ලකින් කඩා ගත්තකි. උණූවතුරේ පැසෙන්නා වූ තේ කොළ මේ ජීවිත කාලයට මා අනේකවාරයක් දැක ඇත්තෙමි. එය මෙතෙක් කල් මෙමට සාමාන්‍ය සිදුවීමක් ව පැවතුණකි. නමුදු කැමෙලියා එය මට විශේෂ කොට පෙන්වීය. එහි කහට තේ නොබොන මගේ ජීවිතයට නිරායාසයෙන් ම බද්ධ වී ඇති බැව් මට දැනුණේ උක්ත උපුටනය නෙත් මානයට ආ කල ය.
බ්‍රිතාන්‍ය යටත් විජිත අවසාන සමයේ 1930 කාල වකවානුවේ කන්ද උඩරට කර්කෂ වතුහිමියා සහ එයින් පීඩනයට පත් වන වතු කම්කරුවා අලළා පාලමක් සේ සබැඳෙන කතා වින්‍යාසයක් රැගෙන එන කැමෙලියා යථාර්ථවාදී ආඛ්‍යාන රටාව අනුව ගොඩනැංවෙන අපූර්ව නවකතාවක් ය. “කැමෙලියා සිනෙන්සිස්” යනු තේ ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ය. සමාරම්භයෙහිදී මා කැමෙලියා කඩා ගෙනවිත් උණු වතුරේ ඔබා පැහෙනු බලා හිඳියෙමි. පෙර කී සාමාන්‍යකරණීය ක්‍රියාවලිය විනා එහි විශේෂත්වයක් මා නොදුටුවෙමි. සැබැවින් ම පළමු සුවඳින්ම මගේ ආඝ්‍රාණය වඩ වඩාත් ලබන්නට කැමෙලියා සමත් වූයේ නැත. නමුදු මා යහමින් පැසුණු තේ වතුර පෙරා සීනි කවලම් කොට ඇතිවනතුරු කූරු ගගා හිඳියෙමි. කහට පාට සුවඳ හරි හරියට කැලතී එන්නට පටන් ගත්තේ කැමෙලියා සුයාමයේ මැද භාගයේදී ය.
මා ඉහත කී අත්දැකීමට මූලිකවම බලපෑම් එල්ල කළේ කතුවරිය විසින් කතාවට එපිටින් දක්වනු ලැබූ සවිස්තරකීරීම් ය. ප්‍රධාන මාතෘකාවෙන් පිට පැනි අනවශ්‍ය විස්තර දිගහැරීම් කැමෙලියා සොයා එන පාඨකයා පළමු වටයෙන් ම අලසයෙකු කරන බව මෙමට දැනුණි. ඒ අතරින් පතර පසුබෑම් මෙන් ම ව්‍යාකරණ දෝෂයන් කීපයක් ද ගැබ්ව තිබිණි. නමුදු මා ලෙහෙසියෙන් අභියෝග අතැර යන්නට ඊටත් වඩා අලසයෙකි ය. එනිසාම කැමෙලියා තුළින් මා කුහුලින් යුතුව ඉදිරියට ඇදුණෙමි.
මම රස හොය හොයා සංවේදී ඉන්ද්‍රියයක් වන දිව මත ඒ රස තබා තලු මරන්නට හැකි බව දත් කාලයේ පටන්ම තේ යනු මෙමට අප්‍රිය පානයකි. මා තේවලට කිසිසේත්ම අකමැති යැයි කිව නොහැක. මන්ද මා කීපවරක් ම තේ වතුර කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන දෙයාකාරයෙන් ම උගුරෙන් පහළට හලාගෙන ඇති බැවිනි. නමුදු මා සොයන රස සුවඳ තේවලින් මට දැනුණේ නැත. මට අනුව කෝපි මගේ ජීවිතයේ සිටියේ තේ වලට වඩා සෑහෙන ඉදිරියෙනි. මේ වන විට මා අකමැතිම පානය තේ වී හමාර ය. නමුදු තේ නොබොන මා තොලේ කටේ නොගෑවී තේ දල්ලක රස වින්දෙමි. ඒ රස කෝපිවලටත් උරුම නොවූ අපූර්ව රසයකි. මා මෙය ඔබට ලියන්නට සිතුවේ ඒ තේ වල තිබූ කහට මගේ දිවෙහි නොව හදවතේ බැඳුණ නිසාවෙනි.
වතු කම්කරුවා හා වතු හිමියා අතර වන ඝට්ටනය මතින් මෙරට තේ වගාවේ ව්‍යාප්තිය විදේශීය ස්වදේශීය ධනවතුන් බිහිවීම මෙම නවකතාවට පාදක වූව ද මෙහි ප්‍රබල ලෙස ඉස්මතුව පැමිණ කැමෙලියා වෙත දිස්නය එල්ල කරන චරිතය ඇනීටා ය.
තේ දල්ල උරා ගත් කම්කරුවාගේ කඳුළු සාරය හැඳින රජ මැදුරෙන් දිළිඳු පැලට බසින ඇනීටා කැමෙලියා සුවඳ විඳින පාඨකයාට සුපහන් හැඟීමක් ගෙන එන්නියක ලෙසින් සංවේදී ඉවසීමකින් මෙන් ම මනා ප්‍රාගුණ්‍යයකින් ඉදිරියට පැමිණ ඇත. ඇයට පසු කතාව වෙත ආගමනය වන කාන්තා චරිත හමුවේ ද සැබෑම කැමෙලියා කවුරුන්ද යන වග විවරණය කරන්නට විරාජිනී තෙන්නකෝන් ඔබට ඉඩසහර ඉතිරි කර ඇත. ඒ සෑම තැන්හිම ජීවන අරගලය මතින් දිවෙන මානුෂීය අරගලය උදෙසා ගත සිත මෙහෙයවන ගැහැනු ආත්මයන් පෙළින් පෙළ විවරණය වනුයේ කතුවරියගේ කතා හරඹයේ රස මුසු තැන් සුමටව පාදමින් ය.
සමස්තයක් ලෙස ගත් කළ කතා වින්‍යාසය, චරිත නිරූපණය, අවස්ථා හා සංසිද්ධිහි පෙර අපර ගැළපීම මතින් රිද්මයෙන් වැඩෙන කැමෙලියාහි ප්‍රබලතම අංග කිහිපයක් මා නෙත ගැටුණේ ය. ඒ හාස්‍යෝත්පාදන අතිශයෝක්තිය, අධියථාර්ථවාදී විවරණ මෙන් ම සංකේතාර්ථ ගෙන ඒම් ද කැමෙලියා සාහිත්‍ය ගුණයෙන් සුපෝෂණය කරලන්නට මනා නිර්ලෝභීව දායක වී ඇත.
වතු කම්කරු ජනතාවගේ ජීවිත එදත් දුක්ඛදායක ය. අදත් දුක්ඛදායක ය. ගෙවී ඇත්තේ කාලය පමණි. පරම්පරා ඝට්ටනය මතින් අවිහිංසකයාම තැලෙන පීඩිත ක්‍රියාකලාපය කැමෙලියා තුළින් මොනවට නිරාවරණය කරන්නට තරම් කතුවරිය උත්සුක වී ඇත. ඇය ඒ උදෙසා ලේඛිකාවක ලෙස ගවේෂණයේ යෙදී ඇති බැව් මූන් මෙල්ට් වතුයායේ සරණ පාඨකයාට එහි සිදුවන්නා වූ ධිවිධ සංසිද්ධීන් තුළින් අවබෝධ වනු ඇත.
“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ. ” (කැමෙලියා)
අවසාන වශයෙන් කැමෙලියා කවරයෙහි මවන තේ කොළයන්හි දිස්නය එහි ඇතුලු පිටුවලින් සොයාගැන්මට මෙමට නොහැකි විය. මන්ද යත් සිලෝන් තේ වෙනුවෙන් මෙන් ම ඉන් එහා දිවෙන ජීවිතය වෙනුවෙන් දිවිය කැප කළ කළු සුදු මිනිසුන් එහි පිටු අතර නොනවත්වාම හුස්ම ගත් බැවිනි. එය ඉදිරියටත් නොකඩවාම සිදුවෙන බව යථාර්ථවාදී වූ ඉඟියකින් කතුවරිය සනාථ කොට ඇත.
ඇත්තෙන් ම සියලු දේ අවිනිශ්චිත ය. ඒ අවිනිශ්චිතභාවය හමුවේ වූව ද කාලය සහ නිහඬතාවයෙන් උපරිම ඵල නෙළා ගැන්මට ප්‍රයත්න දැරූ විරාජිනී තෙන්නකෝන් ගැහැනියකගේ ගැහැනුකමේ ප්‍රබලත්වය තේ දල්ලක පවා රැඳී ඇති වග ලෝකයාට කියා පා ඇත.
කැමෙලියා 2024 වර්ෂයේදී ස්වර්ණ පුස්තක සම්මාන දිනූ විශිෂ්ටත ම නවකතාව ලෙස කිරුළු දරා ඇත.
සම්මානය අමතක කොට පොත යන හැඟීමෙන් කැමෙලියා දෙස බලන්නට ඔබ උනන්දු වන්නේ නම් ඔබ මනා ඉවසිලිවන්තකමක් ඇති පාඨකයකු විය යුතු ය. මන්ද එහි පැටලෙන ලිහෙන යළි යළිත් පැටලෙන අගමුල නැති ජීවිත අන්දරයන් බොහෝ ය. ඉවසිය නොහැක්කේ ඒ සෑම තැන්හිම අපේ එක අංශු මාත්‍රයක් හෝ ගෑවී තිබීම ය. ඉදින් මට දැනුණු ලෙස ජීවිතය එය ය. ඒ කෙසේ හෝ මා පෙරටත් වඩා දැන් තේවලට අකමැති ය. නමුදු ඒ සුවඳ සෑම හිතකටම ගලා යා යුතු ය.
විරාජිනී තෙන්නකෝන් නම් ඒ මානුෂීය ගැහැනිය කැමෙලියා තුළින් අපූර්ව ලෙස වැඩෙනු මා දුටුවෙමි.

