කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ පරීක්ෂණ වාර්තා නිකුත් කරන්නට අප සූදානම් නැත. කෙසේ වෙතත් ඔහු මියගොස් තිබේ. කොල්ලුපිටිය පොලිසිය මගින් කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා ඉදිරි කටයුතු සිදුකරන බව දැනුම් දී තිබේ. කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ නිවසක කාමරයක ගෙල වැළලාගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර හමු වූ බව ද පොලිසිය වාර්තා කර තිබිණි. මේ මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් සිදු කළ අතර, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.
මේ මරණය බරපතළ කරුණක් වන්නේ ඔහු ආන්දෝලනාත්මක නඩුවක තීරණාත්මක සාක්ෂිකරුවකු වන නිසා ය. ඔහුගේ මරණය ඇතැම් විට බොහෝ දේ වළලා දමනු ඇති නිසා ය.
වට්සැප් පණිවුඩය
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී අබේසිංහට නීතිඥ උදාර මුහන්දිරම් විසින් දිවුරුම් ප්‍රකාශයක් වට්සැප් කර තිබුණේ 2026 මාර්තු 12 දින දහවල් 12.43ට පමණ ය. එහි සඳහන්ව තිබී ඇත්තේ තමන්ගේ සේවාදායකයා වන කපිල චන්ද්‍රෙස්නව සැකකරුවකු නොකර සාක්ෂිකරුවකු කරන්නේ නම්, විශේෂිත දේවල් කිහිපයක් කරන්නට සූදානම් බවකි. දිවුරුම් ප්‍රකාශයක් කිව්වාට එය අත්සන් නොකරන ලද එකකි. එනම් නිකම්ම ප්‍රකාශයකි.
එහි තිබුණේ ශමීන්ද්‍ර රාජපක්ෂ, ප්‍රියංකර ජයරත්න සහ වෙනත් අය ගත් අල්ලස් මුදල් ගැන ය. එතකොට කවුද මේ වෙනත් අය යන ප්‍රශ්නය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නැගිණි. ඔහු ප්‍රශ්නය විසඳාගැනීමට කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ වෙත ගියේය. ඔහුට ද ඒ ප්‍රශ්නය ම නැගිණි. දෙදෙනාම ඉන්පසු ගියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක වෙත ය. ඒ වන විටත් කපිල චන්ද්‍රෙස්නගෙන් කොමිසම ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියේය. ප්‍රකාශය සටහන් කරගැනීම නතර කර, කපිල ව රංග දිසානායක සහ අනෙකුත් පිරිස සිටි තැනට ගෙන්වනු ලැබිණි. එහිදී රංග දිසානායක පවසා ඇත්තේ ඇත්ත කියන්න යනුවෙනි. එහිදී සිදු වූ දේ කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරයා විසින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබාදී තිබේ. ඒ අතර කපිල චන්ද්‍රෙස්නගේ නීතිඥවරයාගේ පැත්තෙන් කියන්නේ බලහත්කාරයෙන්, තර්ජනය කොට ඔහු ලවා නම් කියවා ගත් බවයි.
ආයතන දෙකකින් විමර්ශන දෙකක්
2012-2013 කාලයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් 10ක් මිලදී ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සිදුවූ දූෂිත ගනුදෙනුවකට අදාළ ව එවකට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ කපිල චන්ද්‍රෙස්නගෙන් මෙසේ ප්‍රකාශ ලබාගැනිණි. ඉන්පසු ඔහු අත්අඩංගුවට ගැනිණි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම විමර්ශනයක් පවත්වන අතර, අල්ලස් කොමිසම වෙනම විමර්ශනයක් පවත්වයි. මේ ආයතන දෙක විමර්ශන තොරතුරු හුවමාරු කරගැනීමේ එකඟතාවකට පැමිණ ඇත. එය සුවිශේෂී තත්ත්වයකි.
මෙහිදී අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේනට ඇප ලැබිණි. ඔහුට ඇප තබා තිබුණේ ඔහු නොදන්නා පුද්ගලයන් ය. ඔවුන් රුපියල් 15,000ක මුදලකට මෙසේ ඇප අත්සන් කළ බව පිළිගෙන ඇත. මේ බව අනාවරණය වීමෙන් පසු 07දා අධිකරණය නියෝග කළේ කපිල චන්ද්‍රසේන යළිත් අත්අඩංගුවට ගන්නා ලෙසයි. එම නියෝගය ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු මියගොස් තිබිණි. ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ 07දා පස්වරුවේ සිය රියදුරු සමග මේ නිවසට පැමිණ ඇති බවයි. ඔහු විදෙස්ගත වීමට සූදානමින් සිටි බවට ද පුවත් පළ වේ. එහෙත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඇත්තේ අධිකරණය භාරයේ ය.
මහින්ද රාජපක්ෂට මිලියන 60ක්
එයාර් බස් ගනුදෙනුවේදී ලබාගත් අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක් රුපියල් මිලියන 20 බැගින් අවස්ථා 03කදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති බවත්, එය බෙලිඅත්තේ ඔහුගේ නිවසේදී සහ කාල්ටන් නිවසේදී ලබාදී ඇති බවත් කපිල චන්ද්‍රසේන විසින් අල්ලස් කොමිසමට පවසා ඇත. එය තවම ප්‍රකාශයක් පමණි. එය තහවුරු කරගත යුතුය. එයින් රුපියල් මිලියන 20ක් හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්නට ද ලබාදී ඇත. මේ මුදල් හුවමාරු සිදු වී ඇත්තේ 2015 ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයෙන් පසුව ය. ඒ මැතිවරණයෙන් පරාජයට පත්වූ පසු මහින්ද රාජපක්ෂ මේ මුදල් ලබාගෙන ඇති බවයි, අදාළ ප්‍රකාශයෙන් කියවෙන්නේ. එනම් ඒ වන විට කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් ප්‍රධාන විධායක නිලධාරි ධුරයේ නැත. කෙසේ වෙතත් මේ සිද්ධිය ද ඇතුළත්ව වත්කම් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව 12දා අල්ලස් කොමිසමට කැඳවා තිබේ. මේ ගනුදෙනුව සිදුවන කාලයේ සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්නගෙන් ද අල්ලස් කොමිසම ප්‍රකාශයක් ගෙන ඇත. හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු සහ ව්‍යාපාරිකයකු වන විලී ගමගේ ද මේ ප්‍රකාශ ලබාගත් ලැයිස්තුවේ සිටී.
කපිල චන්ද්‍රසේන කියන තවත් නමක් වන්නේ ශමීන්ද්‍ර රාජපක්ෂ ය. ඔහු හිටපු කතානායක චමල් රාජපක්ෂගේ බාල පුත්‍රයා ය. මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද ඔහු කටයුතු කර තිබේ. මේ ගනුදෙනුව සිදු වන කාලයේදී ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සමාගෙම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. තවත් විශේෂ කරුණක් වන්නේ මේ ගනුදෙනුවට අදාළ විදේශීය එයාර් බස් සමාගමේ නියෝජිතයන් ලංකාවට පැමිණ මීට අදාළ ප්‍රකාශ ලබාදීමයි. එසේම මේ ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබාදීමට බෘනායි, සිංගප්පූරුව ඇතුළු රටවල් 05ක් ද එකඟ වී තිබේ. ඒ කියන්නේ විමර්ශන සාර්ථකව ඉදිරියට යමින් තිබේ.
දූෂණ්‍ය එළියට ආවේ කොතැනින්ද?
2012-2013 කාලයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ යානා 13ක් ඉවත් කර ඒ වෙනුවට අලුත්ම යානා 14ක් සේවයට එක්කරගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. එම යානා අතරින් A 330 යානා සහ A 350 යානා මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම ගනුදෙනුවේදී බරපතළ වංචාවක් සිදු වී ඇති බවට අනාවරණය වූයේ 2020 ජනවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය සිදු කළ විමර්ශනයක තොරතුරු හෙළිවීමත් සමඟ ය.
එයාර් බස් යානා මිලදී ගැනීමේ මේ ගනුදෙනුව සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 16.84ක අල්ලසක් ලබාදීමට පොරොන්දු වී තිබූ බව මෙම විමර්ශනයේදී අනාවරණය වී තිබිණි. එහිදී හෙළිවූයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එවකට ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට මෙම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් බැර කර ඇති බවයි. මේ පිළිබඳව මෙරටදී සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළේය. එම වාර්තාවට අනුව කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳට අයත් සමාගමක නමින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමකට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිණුමක් මගින් කපිල චන්ද්‍රසේන අවස්ථා කිහිපයකදී ඕස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිණුමකට මාරුකර යවා ඇත. තවදුරටත් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙරට ගිණුම් 02කට ද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරු වී ඇතැයි අනාවරණය කරගෙන තිබිණි. එහිදී ශමීන්ද්‍ර රාජපක්ෂට අයත් බැංකු ගිණුමකට 2013 වසරේදී ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හැට දහසක මුදලක් බැරවී තිබිණි.
මෙම ගනුදෙනුවට අදාළ එක් රැස්වීමක් එවකට කතානායකවරයාගේ නිල නිවසේදී පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර තිබේ. ශමීන්ද්‍ර රාජපක්ෂ දැනට ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් රතු නිවේදනයක් නිකුත් කරන ලෙස කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර පසුගිය පෙබරවාරි 2දා නියෝග කළේය. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැය 04කට අධික කාලයක් ප්‍රශ්න කර තිබුණේ රාජපක්ෂවරුන්ගේ සමීප හිතවතකු වූ ව්‍යාපාරිකයකු විසින් තමන් අල්ලස් මුදල් නාමල් රාජපක්ෂට ලබාදුන් බවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන ය.
කපිලගේ බිරිඳගේ කතාව
මේ ගනුදෙනුව පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසු මුල්වරට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක 2020 පෙබරවාරි මාසයේදී රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. 2012 වසරේදී බෲනායිහි පිහිටුවන ලද ෂෙල් සමාගමක් වන බිස් සොලියුෂන්ස් ඉන්කෝපරේෂන් වෙත එයාර් බස් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් ගෙවා ඇති බව බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් සොයාගැනීමත්, එම මුදල් සමාගමේ සිංගප්පූරු ගිණුමකට මාරු කර ඇති බව අනාවරණය වීමත් මෙහිදී විමර්ශන අංශ හෙළිකළ තොරතුරු අතර විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලය තුළ, එනම් 2011 ජූලි සිට 2015 පෙබරවාරි දක්වා කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කර තිබිණි. 2020 බ්‍රිතාන්‍ය අධිකරණ ලේඛනවලින් හෙළි වූයේ ශ්‍රී ලංකන් විධායක නිලධාරියකුගේ බිරිඳ එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සඳහා නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති බවත්, එයාර්බස් ඩොලර් මිලියන 16 ක අල්ලසක් ඇයට ලබා දී ඇති බවත් ය. එසේ නම් සඳහන් වූයේ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ගැන ය.
මෙසේ එදා අත්අඩංගුවට ගත් කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ 2020 මාර්තු මාසයේදී ඇප මත නිදහස් කරන ලදි. එතැන් සිට වර්තමාන ආණ්ඩුව බලයට පත්ව මේ සිදුවීම පිළිබඳ විමර්ශන විධිමත් කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පහසුකම් සැපයීමට පෙර, නඩුවේ කිසිදු වර්ධනයක් දැකිය හැකි නොවීය.
කවර තත්ත්වයක් යටතේ හෝ පුද්ගලයකු මියයෑම අනුමත කළ නොහැකිය. එසේම ඒ පුද්ගලයා බරපතළ අපරාධයක හෝ අපරාධ ගණනාවක සාක්ෂි වළලා දමමින් මිය ගියේ නම්, එය තවත් බරපතළ ය. ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කූඹියෝ‘ ටෙලිනාට්‍යයේ අවසානයේ මෙවැනි වාක්‍යයක් තිබේ. ඒ කුමන්ත්‍රණවල සිටි ජෙහාන්ට වෙඩි තැබීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර ය.
‘සාක්ෂි ගොඩක් එක්ක ඔයා එළියෙ ඉන්න එක භයානකයි.‘ බටලන්ද කොමිෂන් වාර්තාවේ ද එවැනි උදාහරණ ඇති බව අමතක නොකළ යුතුය.

