භික්ෂු – භික්ෂුණී, උපාසක – උපාසිකා යනු සම්බුද්ධ ශාසනයේ සිව් වණක් පිරිසයි. එහෙත් බුදුන් තෙවරක් වැඩියා යයි කියන, නිර්මල බුදු දහම පවතිනවා යයි කියන රටක භික්ෂුණීන්ට හෙවත් මෙහෙණින් වහන්සේලාට හිමි තැන කුමක්ද? රටේ ඕනෑම පුරවැසියෙකුට හිමි ජාතික හැඳුනුම්පත පවා මෙහෙණින් වහන්සේලාට හිමි නොවීම නිසාම ඔවුන් එදිනෙදා මුහුණදෙන ගැටළු කෙතරම්ද?
මොකක්ද මේ ගැටලුව. භික්ෂුණී ශාසන බලමණ්ඩලයේ මහනුවර දිස්ත්‍රීක් ලේඛකාධිකාරී පූජ්‍ය ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ පවසන්නේ මෙවැන්නක්.
“අනූ අට, අනූ නවය, දෙදාහ වගේ කාලය තුළ ‘භික්ෂුණී“න් ලෙස නම් කළ ජාතික හැඳුනුම්පත් දෙසීයක් විතර සුළු පිරිසකට හම්බවුණා. ඒත් ඊට පස්සේ භික්ෂු ශාසනයේ ඇතැම් පිරිස්, ගිහි බලවතුන් වගේ විවිධ අයගේ දැඩි බලපෑම් නිසාම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඒ ආකාරයට හැඳුනුම්පත් ලබාදීම අත්හිටුවීමට ක්‍රියා කළා“
උන් වහන්සේ පෙන්වා දුන්නා.
උන් වහන්සේට අනුව මේ වන විට මෙහෙනින් වහන්සේ ලෙස 8000ක පමණ පිරිසක් ශාසනයට ඇතුළත්ව සිටින අතර එයින් උපසම්පදාලාභී පිරිස 3500ක් පමණ වන බව කිව හැකියි. එහෙත් මෙරට භික්ෂුණී ශාසනයක් ඇතැයි භික්ෂු සමාජයේ ඉහළම තනතුරු හොබවන පිරිස් මෙන්ම රජයද, පිළිගන්නා බවක් පෙනෙන්නේ නැහැ. වෙනත් අයුරකින් සඳහන් කරතොත්, මෙරට ස්ථාපිත භික්ෂු පාර්ශ්ව 31ක් අතුරින් 29ක්ම භික්ෂුණී ශාසනය පිළිගෙන තිබියදී, සියම් නිකායේ මල්වතු හා අස්ගිරි යන පාර්ශ්ව දෙක පමණක් එය පිළිගැනීම තවදුරටත් ප්‍රතික්ෂේප කිරීම මේ ගැටලුවේ ආරම්භයයි. 2005 වසරේ සිට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපියක් හරහා භික්ෂුණීන් වහන්සේලාට ඔවුන්ගේ ‘භික්ෂුණිය‘ යන හැඳින්වීමෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම නවත්වන ලෙස නියෝග කරනු ලබන්නේ එකී පාර්ශව වල උපදෙස් හා බලපෑම් අනුවයි.
පුරවැසියෙකු ලෙස කෙනෙකුට හැඳුනුම්පතක් හිමිවීම යනු හුදෙක් රාජ්‍ය ලාංඡනය සහිතව මුද්‍රිත කාඩ්පතක් හිමිවීම පමණක් නොවේ. එක් අතකින් නිදහසේ රැකි රක්ෂා කටයුතු, දෛනික කටයුතු, සමාජ සේවා කටයුතු මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකුට හිමි ඡන්ද අයිතිය පවා තහවුරු කෙරෙන සාධකයක්. අනෙක් අතට එය තමාගේත් තමන් නියෝජනය කරන සමාජයේත් සුරක්ෂිතතාව පිළිබඳ සහතිකයක්.
විජිතා මෙහෙණින් වහන්සේ ඒ පිළිබඳ මෙසේ සදහන් කළා.
“සමාජයේ නොයෙක් විෂමාචාර ක්‍රියා, යම් යම් අපරාධ ආදිය වගේම ශාසනය තුළත් ඉඳ හිට හෝ යම් යම් අවාසනාවන්ත සිදුවීම් වාර්තා වෙනවා. ඇතැම් විට ඇතැමුන් බුද්ධ චීවරයට මුවාවී, සමහර විට විෂමාචාර ක්‍රියා වෙනුවෙන්ම මේ ශාසනයට ඇතුළත් වෙලා ශාසන විරෝධී ක්‍රියා කරන්න පුළුවන්. ඉතිං ඒ අය හඳුනාගන්න නොහැකිනම් එක පැත්තකින් සම්බුද්ධ ශාසනයටම බරපතළ හානියක් වෙනවා. අපේ ආරක්ෂාවත්, පොදුවේ රටේ ආරක්ෂාවත් අනතුරකට පත්වෙනවා. අනෙක් අතට විශේෂයෙන් අපි විදෙස් ගත වෙද්දී රටක් නියෝජනය කරමින් යන්නෙ. භික්ෂුත්වය කියන්නේ ගෞරවනීය තත්ත්වයක්. අපට ඒ අනන්‍යතාව නැතිව බොහෝ තැන්වල බොහෝ කටයුතු කර ගැනීමේදී බොහෝ දුෂ්කරතාවන්ට ලක්වෙනවා“
ජාතික හැඳුනුම්පත නැති නිසාම මූලික මානව හිමිකම් උල්ලංඝණය වීම නිරන්තරයෙන් සිදුවේ. එවැනි අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳ මතකය අවදි කරනු ලැබුවේ මහරගම, සමාධි වන්දනා පදනමේ මහලේකම් චමින්ද ප්‍රසාද් බණ්ඩාර මහතායි.
“2019 අවුරුද්දේ සමන්ත භද්‍රා මෙහෙණින් වහන්සේට ඕ ලෙවල් සමත් වෙලා ඒ ලෙවල් කරන්න බලාපොරොත්තු සහගතව සිටියත්, ඒක කරන්න බැරි වෙනවා. මොකද, ඕ ලෙවල් විභාගය තැපැල් හැඳුනුම්පතෙන් කළාට ඒ ලෙවල් කරන්න ජාතික හැඳුනුම්පත අවශ්‍ය වෙනවා. ඒක හදාගන්න අවශ්‍ය ලියකියවිලි ගන්න බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ගියාම එහි කොමසාරිස්වරයා කියන්නේ මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නොමැතිව ඒ ලියකියවිලි සහතික කර දෙන්න බෑ කියලා. ඒ නිසා ඇයට ඒ මොහොත අතහැරෙනවා. ඒක මෙහෙණින් වහන්සේට වෙන අසාධාරණයකට වඩා පුරවැසියෙකුගෙ මූලික අයිතියක් පැහැරගන්න තවත් කෙනෙකුට අයිතියක් දුන්නෙ කවුද කියන ප්‍රශ්නය මතුවෙනවා“
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව, දේවානම්පියතිස්ස රජුගේ මෙහෙසිය වූ අනුලා බිසවගේ ඉල්ලීම පරිදි, ඉන්දියාවේ සිට මෙරටට වැඩම කළ සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කළේ, රාජ්‍ය අනුග්‍රහය සහිතව භික්ෂු ශාසනයේ පැවැත්මට සමාන්තරවයි.
මිරිසවැටිය මහා සෑය විවෘත කිරීමේ උත්සවයට භික්ෂුණින් වහන්සේලා අනූදහසක් වැඩම කළ බව දක්වන මහාවංශයේ 26 වෙනි පරිච්ඡේදයේ 15වෙනි ගාථාව මෙරට භික්ෂුණී ශාසනයේ ප්‍රබලත්වය දක්වන එක් නිදසුනක් . නමුදු අනුරාධපුර යුගයේ අවසානය සනිටුහන් කළ විදේශ ආක්‍රමණ හමුවේ සිරිලක රාජ්‍යත්වය අරාජික වීමත් සමඟ භික්ෂුණී ශාසනය පිරිහීමට පත් විය. එතැන් පටන් වසර 800ක් ගතව, එනම් 1998 වසර වන තුරු ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යළි ස්ථාපනය කරලීම කෙරෙහි උනන්දුවක් හෝ උත්සාහයක් තිබුණේ නෑ . ඒ ‘පරසතුරු උවදුරුවලට මුහුණ දීමට භික්ෂුණීන්ට හැකියාවක් නැත‘ යන සරල, මතුපිට උපකල්පනය වෙනුවට භික්ෂුණී ශාසනය ස්ථාපනය කරලීම උදෙසා අනුරාධපුර යුගයෙන් පසු ඇති වූ කිසිදු රජයක අනුග්‍රහයක් නොලැබීමද, හේතුවක් බැව් සඳහන් කළ හැකියි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ්‍යඍක්‍රැ4429/09 දරණ පැමිණිල්ල වසර 6ක් තිස්සේ විමර්ශනය කොට 2015-10-09 දින ලබාදුන් නිර්දේශවල මෙලෙස දැක්වෙනවා.
“වගඋත්තරකරුවන් විසින් රංගිරි දඹුලු විහාර පාර්ශ්වීය සංඝ සභාව විසින් සිදුකළ භික්ෂුණී ශාසනය සම්බන්ධව කළ ඉල්ලීමට නිසි අවස්ථාවේ සලකා බලා සුදුසු පියවර ගැනීමට කටයුතු කර නැති බැවින්ද, මෙම ඉල්ලීම් අනුව ගත හැකි පියවර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති දැක්වෙනවාට භික්ෂුණී ශාසනය පුනර්ජීවනය කිරීමට කටයුතු නොකිරීමෙන් එසේ කටයුතු නොකරන්නේ කුමන හේතුන් මතද, යන්න විද්වත් ගිහි පැවති කමිටුවකට හෝ වෙනත් සුදුසු විද්වත් පාර්ශ්වයක් සහභාගි වන කොමිෂන් සභාවක නිර්දේශයන් ලබා ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇති බැවින්ද, 1978 නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 2(1) හා 12(2) ව්‍යවස්ථාවද, 14 (ඈ) ව්‍යවස්ථාවද, උල්ලංඝණය වීමක් සිදුවී ඇත.“ (කොමිෂන් සභා වාර්තාව).
කොමිෂන් සභාවේ මෙම නිර්දේශ මත පදනම්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේවන විටත් නඩු විභාගයක් සිදුවෙමින් පවතිනවා .
දැනට ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ක්‍රියාවලිය තුළ දැනට සිදුවන්නේ කුමක්ද?
“අපි දස සිල් මාතා අවධිය පසු කරලා, එතැන ඉඳලා තමයි ධර්මය විනය ගැඹුරින් ඉගෙන ගෙන, අදාළ පරීක්ෂණයන් සමත්වෙලා, ගිහි හා පැවදි වයසත් සම්පූර්ණ කරලා, උපසම්පදාව ලබන්නේ . හැබැයි එහෙම කැප කිරීමක් කරන්න කැමති නැති, උපසම්පදාව නොලැබූ දසසිල් මෑණිවරුන් සංගම් සාදාගෙන යම් යම් වරප්‍රසාද ලබා, මෙම හැඳුනුම්පත් ලබාදීමේ ක්‍රියාවලියේ තීරණාත්මක භූමිකාවක් කරනවා. ඒ අය තමයි දැනට යම් කිසි හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන්නෙ. එතනදි උප සම්පදා ලැබූ අයට උපසම්පදා නොලැබූ දස සිල් මාතාවන්ගෙ ළඟට ගිහින් ඒ අයගේ අනුමැතිය, ලියකියවිලි ගත යුතු වෙනවා. ඒ හැඳුනුම්පත ලැබෙන්නේ “සිල්මෑණියෝ“ හැටියට මිසක් “භික්ෂුණී“ හැටියට අපගේ අනන්‍යතාවට ගැලපෙන ලෙස නෙවෙයි . ඒක ගන්නත් ඒ අය ළඟට ගියාට විතරක් බෑ. ඒ අයගෙ සංගම්වලට බැක්‍ෂෙන්න කියනවා. අවම වශයෙන් මාස 3-6ක් ඒ අය එක්ක එකට වැඩ කටයුතු කරගෙන යන්න ඕන කියනවා“
දස සිල් මාතාවන් ගෘහස්ථ දස සීලය සමාදන් වන අතර ඔවුන් භික්ෂුන් මෙන් සිවුරු දරා ආරාමයන්හි වාසය කරයි. නමුදු ඔවුන් උපසම්පදා භික්ෂුණියකගේ උත්තරීතරත්වයට සම කළ නොහැකි වන්නේ ඔවුන් ගෘහස්ථ උපෝසථ ශීලය පමණක් සමාදන්ව සිටින බැවින්. එබැවින් යම් හැඳුනුම්පතක් ලබා ගැනීමට හෝ ඔවුන් පාමුලට යාමට උපසම්පදා භික්ෂුණීන්ට සිදුවීම කෙතරම් අසාධාරණද?
භික්ෂුණී ශාසනයට ඇතුළත් වන සාමනේර මෙහෙණින් වහන්සේලාට මුහුණ දෙන්නට සිදුවන අභියෝගයන්ද, සුළුපටු නොවේ. වැරැස්කැටගොඩ ධම්ම සුදීශා මෙහෙණින් වහන්සේ තමන්ගේ අත්දැකීම් මුසු කළේ මේ අයුරිනි.
“මම උසස් පෙළ කරනවා. ඒත් පිරිවෙන්වල ඉගෙන ගන්න පිරිමි ස්වාමීන් වහන්සේලා එක්කම ඉගෙන ගන්න වෙන නිසා අපිට යන්න බෑ. මෙහෙණින් වහන්සේලාට යන්න පුළුවන් පිරිවෙනක් නුවරටම තියෙන්නෙ එකයි, ඒ ගම්පොල. ඉතිං මෙහෙට ගොඩක් දුර නිසා යන්න එන්න බෑ. ඒ නිසාම ආර්ථික අපහසුතා මධ්‍ය යේ ගුරුවරයෙක් ආරාමයට ගෙන්වා ගන්නවා“
මෙහෙණින් වහන්සේලාගේ භික්ෂුත්වය මල්වතු අස්ගිරි ප්‍රධාන පාර්ශ්වකරුවන් ප්‍රතික්ෂේප කරන්නේ මන්ද යන්නද, මෙහිලා අවධානය යොමු කළ යුතු කරුණක් .
නම සඳහන් කිරීමට කැමැත්ත නොදැක්වූ මල්වතු පාර්ශ්වයේ අනු නාහිමි ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් කළ විමසීමකදී උන් වහන්සේ පළ කරනු ලැබුවේ මෙවන් අදහසක් .
“ ඉස්සරලාම කියන්න ඕන මේ අය උපසම්පදාව ලබන ලද්දේ මහායාන සම්ප්‍රදාය අනුගමනය කරන භික්ෂුණීන් ගෙන්. ශ්‍රී ලංකාව ථේරවාද සම්ප්‍රදාය අනුගමනය කරන ශාසනයක් පවතින රටක්. ඒ නිසා ඒක පිළිගන්න බෑ. බුද්ධ කාලයේත් බුදුන් වහන්සේ දේශනා කළේ භික්ෂුන් විසින් භික්ෂුන් අභිමුව මේ සද් කාර්යය කළ යුතු බවක්. දැන් එහෙම වෙන බවක් පෙන්න නෑ. කොහොම වුණත් ඔය ගැන වැඩිය කතා කරන්න බෑ“
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රංගිරි දඹුලු සංඝ සභාවේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය දානියගම ආනන්ද ස්වාමීන් වහන්සේ ඊට ප්‍රතිචාර දක්වන්නේ මේ අයුරින් .
“ශ්‍රී ලංකාවේ භික්ෂුණී පර්ෂදය නැවත පිහිටුවීම සඳහා මූලිකත්වය ගනිමින් ඉන්දියාවේ තිබුණු උපසම්පදා උත්සවයට සහභාගී වූ සියලුම භික්ෂුන්වහන්සේලා, ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකප්‍රකට ධර්ම විනය ප්‍රගුණ කළ මහා නායක හිමිවරුන්. උන්වහන්සේලා මේ කටයුත්තට මැදිහත්වීමෙන්ම පේනවා මෙහි ධර්ම විනය ගැටලුවක් නැති බව. උන්වහන්සේලා අඛණ්ඩව මෙම භික්ෂුණී උපසම්පදාව පවත්වාගෙන යෑමට මේ ගත වූ වසර 25 තිස්සේම සහාය දක්වනවා.“
යම් යම් නීතිමය අණ පණත් තුළ පිළිගැනීම් නොතිබීමද, භික්ෂුණී ශාසනයේ වර්ධනයටත්, මෙහෙණින් වහන්සේලාගේ අයිතීන් . නිදසුනක් ලෙස 1931 අංක 19 දරන බෞද්ධ විහාර හා දේවාල ගම් පනත තුළ භික්ෂුණීන් සම්බන්ධයෙන් ප්‍රතිපාදන අඩංගු වන්නේ නෑ. යටත් විජිත සමයේ බෞද්ධ විහාරයන්හි දේපළ සහ ඒවායේ ක්‍රියාකාරිත්වය නියාමනය කරනු වස් බි්‍රතාන්‍ය පාලනය විසින් පැනවූ මෙම නීතිය තුළ භික්ෂුන් සහ දසසිල් මාතාවන් යන දෙපිරිස පමණක් අඩංගු කොට ඇත්තේ එම කාල සීමාව වන විට මෙරට භික්ෂුණී පර්ෂදයක් නොපැවතීම නිසායි. 1998න් පසු වසර 25ක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වාගෙන එන භික්ෂුණී ශාසනය පිළිබඳව මෙම පනතට ප්‍රතිපාදන අඩංගු කරමින් පවතින නීතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය මතුව ඇත. විශේෂයෙන්ම මෙම පනත තුළ භික්ෂුණීන් වැඩ වාසය කරන විහාර සහ ආරාම පිළිබඳ තොරතුරු බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරලීම නිසා එකී පනත හරහා අනෙකුත් ආගමික ස්ථාන රජයෙන් ලබන ප්‍රතිලාභ සහ බදු සහනයන් පවා මෙහෙණින් වහන්සේලාට අහිමිය.
එබැවින් මෙලෙස නොතකා හැර ඇත්තේ බුද්ධ ශාසනය තුළ බුද්ධකාලීනව නිසි තැන්හි ලා සැලකූ පිරිසක් බව අමතක නොකළ යුතුයි . අනෙක් අතට ලෝකයේ ප්‍රථම අගමැතිනිය, ලෝකයේ ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහි කළ රට යයි උදම් අනන අතරේම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවන පුරවැසියන් පිරිසකගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උදුරා ගැනීම කෙතරම් ඛේදවාචකයක්ද?
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර (අනිද්දා පුවත්පත)