චන්ද්‍රතිලකයමය කවියේ ශුන්‍යතාව

Share post:

කතෝලික පරිසරයක හැදී වැඩුන මට පන්සිය පනස් ජාතකයන් පිළිබඳ මුලින් ම අසන්නට ලැබුනේ මා අවුරුදු දහයක දොළහක පමණ ගැටයෙක් ව සිටි කාලයේදි විය යුතුය. එකල අසන දකින කොයි දේත් ප්‍රශ්න කරන සහජ (දුර්)ගුණයෙන් යුතු සිසු දරුවකු වූ මට පන්සිය පනස් ජාතකයන් යනු එකම ප්‍රශ්න ජාලාවක් විය. එසේ වන්නේ කොහොමද? එකම මිනිසෙක් පන්සිය පනස් වතාවක් ඉපදුනා ද? ඇයි එහෙම ඉපදුනේ? හරියට ම පන්සිය පනස් වතාවද? ඊට කලින් කොහේද හිටියේ? දැන් ඉන්නේ කොහේද? අපිත් එහෙම ඉපදෙනවා ද? ඒ මනුස්සයාව මැවූවේ (අපේ ආගමේ) දෙවියන්වහන්සේ නෙමේද? මේ ප්‍රශ්න වලට කිනම් ආකාර පිළිතුරු මට එකල ලැබුණාදැයි දැන් මතක නැත. බොහෝ විට සාධාරණ පිළිතුරක් නොලැබුන බව නම් සහතික ය.

ශාරිපුත්‍රයනි, සැබවින් ම සකලවිධ වූ ධර්මයක් ම ශුන්‍යතාව ස්වභාව කොට පවතින්නේ ය. ඒවා අලුතින් නිපදවිය නො හැක්කේ ය. විනාශ කල නො හැක්කේය – බුදුන්වහන්සේ

මණ්ඩාවල පඤ්ඤාවංස හිමි පරිවර්ථිත ශුන්‍යතාවාදය ද සාපේක්ෂතාවාදය ද නම් අනගි පොතේ පිටු ගණනක් පුරා එකී බුදු වදන සවිස්තර කෙරෙයි. ඒ කියවීමෙන් ලද ආලෝකය සමග කලක් සිටී මට පූජ්‍ය තිච් ඤාතාන් යතිවරයාගේ කවියක් අන්තර්ජාලයෙන් හමු වීමෙන් ලැබුනේ අති මහත් කාව්‍යාලෝකයකය කි යි සිතමි. මේ Call Me by My True Names නම් එකී කවියේ මුල් කොටසයි.

Do not say that I’ll depart tomorrow
because even today I still arrive.

Look deeply: I arrive in every second
to be a bud on a spring branch,
to be a tiny bird, with wings still fragile,
learning to sing in my new nest,
to be a caterpillar in the heart of a flower,
to be a jewel hiding itself in a stone.

“හෙට මා පිටත් වෙනවා කියන්න එපා – මම මේ තවම එන ගමන් ඉන්නේ
සමීපව බලන්න වසන්ත රිකිල්ලක
පොහොට්ටුවක් වන්නට
කැදල්ලක ගී ගයන්න උගන්නා-
තවමත් තටු නොමේරු විහඟ පැටියකු වන්නට
කුසුම් හදක දළඹු පැටවකු වන්නට
සැඟවුණ මැණිකක් වන්නට ගල් කැට අතර”
(දල සිංහල අදහස)

උක්ත කවියේ ඇත්තේ නාමකරණයන් පිළිබඳව පැනන්ගින සංකූලතාවයි. කථකයා පිටත් වූයේ නොවේ ඔහු පැමිණෙන්නෙකි. ඔහු කවුද? මල් පොහොට්ටුවක්ද, කුරුළු පැටියෙක්ද? දළඹුවෙක් ද? තවමත් වෙන්කර හඳුනා නොගත් මැණික් කැටක් ද? මෙලෙස කෙනෙක් සතු රූපකායට නියමිත් නමක් දෙන්නේ කවුද? කෙසේද?

ලොවැ ඇත්තේ යාම් ඊම් ය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරි ය යි සරච්චන්ද්‍රයන් කීවේය මේ යාම් ඊම් අතර අපගේ පැවැත්ම කවරාකාර වේ ද? ඒ පැවැත්ම අප හඳුනාගන්නේ කෙසේද? මේ ආකාරයේ දාර්ශනික පිවිසුමකට අත වනන කවියක් අපගේ චන්ද්‍රතිලක ලියනගේ සොයුරු කවියාගේ කුලුඳුල් කවි එකතුව වූ “සංසාර ප්‍රේමී” කාව්‍ය සංග්‍රහයෙන් හමු වෙයි.

අම්මාගේ සොහොන

අම්මාට සොහොනක් නැත
ඇය දැවූ අළු ඇත්තේ
ගඟෙහිය

ඉතින්
බොහෝ දිනවල අපි
ගංඟාව වෙත ගොස්
පාලම මත සිට
ගඟට මල් ඉසින්නෙමු

දිය සරැළි නඟමින්
ගඟ පුරා ගෙනයයි
එමල්

අම්මා දැවූ චිතකයෙ
දුම සරන්නේ
අහසෙහිය

ඉතින්
තවත් දිනවල අපි
නැගී ගල් කුළකට
මල් ඉසින්නෙමු
අහසට

සුළඟ අවුදින් විසුරුවයි
අහසේ හැමතැන
එමල්

(චන්ද්‍රතිලක ලියනගේ)

පූජ්‍ය තිච් ඤාතාන් යතිවරයාගේ කවියේ මතු කළ නාමකරණ ගැටළුවම මේ කවියේද මතුවෙයි. අම්මාගේ නම ගැසූ සොහොනක් නැත. ඈ දැවූ අලු ගං දියෙන් මේ යැයි ගෙන් පෙන්වන්නට නොහැක. එය ගං දියට මුසු වූ හමාරය. ඇගේ සිරුර දැවෙන විට නැගී දුම් රොටු මේ යැයි කියා පෙන්වන්නට නොහැක. එයද වා තළයේ සෙසු වායු හා මුසුව අහවරය. දැන් අම්මා කියා නම් කරන්නේ කවරෙක්ද? කුමක්ද? අම්මා නම් රූප කාය වෙනස් වී වෙනත් රූප කායන් බවට හැරී ඇත. ගං දිය යනු අම්මාය, ගඟේ දිය සරැළි අම්මාය, සුළඟ යනු අම්මාය. මේ ගං දිය දිනක වලාකුළක් වී වැස්සක් බවට හැරී පොළොවට වැටෙන විට ඒ වැස්ස අම්මා ය, ඒ වැස්සෙන් සාරවත් වී පොළව පලා නැගෙන බීජයකින් නැගෙන පැලය අම්මා ය, ඒ පැලය පල දරන කල ඒ මියුරු පල අම්මා ම වෙයි.

අම්මා නොගියා නම් මෙසේ එන්නට නොහැක්කේය. අම්මා දිය බිඳක් සුළං පොදක් වී මේ එන්නේ ගිය නිසා නොවේද?

ශාරිපුත්‍රයනි, සැබවින් ම සකලවිධ වූ ධර්මයක් ම ශුන්‍යතාව ස්වභාව කොට පවතින්නේ ය. ඒවා අලුතින් නිපදවිය නො හැක්කේ ය. විනාශ කල නො හැක්කේය – බුදුන්වහන්සේ

නිරෝෂ ප්‍රනාන්දු

     06/17/24

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...