ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව හෝ අතෘප්තිමත්ව පවුල් ජීවිත ගත කරති. තවත් අය බිඳුණු විවාහයේ තෘප්තිය හෝ අතෘප්තිය වලඳති. එමෙන්ම අවිවාහක නිදහස්කාමී ජීවිතයේ තෘප්තිය හෝ අතෘප්තිය අත්විඳින පිරිසක් ද සිටිති. මොවුන් ආදරය , ප්‍රේමය , ලිංගිකත්වය , පවුල් ජීවිතය යනාදිය අත්දකිනුයේත් අර්ථකථනය කරගනුයේත් තමන්ටම ආවේණික ආකාරයකිනි. එය පොදු රාමුවකට ගත නොහැකිය. සුරත් ද මෙල් සිය අලුත්ම නවකතාව වන ‘ ණයානන්දය’ මගින් මධ්‍යම පංතියට අයත් මෙවන්
පිරිසකගේ ආත්මීය , මනෝලිංගික සහ සමාජීය චර්යාව විනිවිදීමට උත්සාහ කරයි.
මෙහි ප්‍රධාන චරිතය මහේලය. ස්ථිර රැකියාවක් නොමැති ඔහු වෙළඳ ප්‍රචාරක ක්ෂෙත්‍රයේ කටයුතු කරයි. ඔහුගේ බිරිඳ කල්පනී ඔහුගෙන් දික්කසාදව වෙනෙකෙකු සමග විවාහ වී ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ. මහේලගේ සහ කල්පනීගේ පුත්‍රයා මහේල ඇසුරෙහි හැදී වැඩෙයි. එයට අමතරව මහේලගේ පාසල් මිතුරන් කිහිපදෙනෙක් ද මෙම කතාපුවතේ තීරණාත්මක භූමිකා නිරූපණය කරයි. ඔවුහු වර්තමාන මධ්‍යම පංතියේම විවිධ තල නියෝජනය කරති. මෙම චරිතවල අන්තර් විනිවිදීම ඔස්සේ කතාපුවත ගලා යයි.
මෙම නවකතාවේ දී අපට ‘ අසංතෘප්ත අවසානයක්’ යන යෙදුම අවස්ථා ගණනාවක දී හමු වේ. එය මෙහි අන්තර්ගතයේ සමස්තය කැටි කරන යෙදුම වේ. මහේල ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින්නෙකි. එහෙත් කාන්තාවන් තිදෙනාම ආර්ථික වශයෙන් සවිමත්ය. සිය පුත්‍රයා සමඟ ගත කරන මහේලගේ ජීවිතය බෙහෙවින් අතෘප්තිකර වූවකි. කල්පනී ඔස්ට්‍රේලියාවේ සුවපහසු දිවියක් ගත කළද තම පුත්‍රයා පිළිබඳ කාංසාවෙන් පෙලෙයි. පැටි අවධියේ සිටම මහේලගේ සමීපතම මිතුරිය සෙව්වන්දි රාමුගත ඉහළ මැද පාංතික ඒකාකාරිත්වයෙන් පීඩා විඳී. අවිවාහක වින්‍යා ස්වකීය නිදහස්කාමී චර්යාවෙන් හෙම්බත්ව සිටී. මොවුන්ගේ මෙම අතෘප්තිකර බව සංතෘප්ත කර ගැනීමට කෙනෙකුට මුදල්ද තවෙකෙකුට ප්‍රේමය ද තවත් අයෙකුට ලිංගික සම්භෝගය ද ණයට ගැනීමට සිදු වේ.මෙම ණයවීම සහ ණය ගැනීම ඔවුනට ආනන්දයක් ගෙන දුන්නද අවසානය අසංතෘප්තය. එහෙත් ඔවුන්ට වැදගත් වන්නේ ක්‍රියාවලිය මිස ප්‍රතිඵලය නොවේ මෙම ණයවීමේ ආනන්දය රැඳී ඇත්තේ එකී අවදානම්සහගත ක්‍රියාවලිය තුළය. ඔවුන්ගේ ජීවිතයේ විනෝදය සදහා මෙම අතෘප්තිකර බවත් ණය ගැනීමත් අත්‍යවශ්‍ය සාධක වේ. ජීවිතයේ ගතිකත්වය නඩත්තු වන්නේ එමගිනි.
මෙම නවකතාවේ අප හමුවට එන චරිත බහුතරයකට ඔවුන් සොයන මාදිලියේ ආදරයක් හිමි නොවේ. මන්ද , ඔවුන් ආදරය අර්ථකථනය කරගන්නා ආකාරය එකිනෙකට වෙනස් බැවිනි. තමන්ට නොමඳව ආදරය කරන සැමියෙකු සිටියද සමාජයට මුදාහැරීමට සිදුව ඇති විවාහ දිවියේ අධිරංගය සෙව්වන්දි අතෘප්තිකර බවට ඇද දමයි. ඇය සහ මහේල අතර සිදුවන ලිංගික සම්භෝගයද ඔවුන් අපේක්ෂා කරන තෘප්තිය ගෙන නොදෙයි. සුරතාන්තය ඔවුන්ට උරුම කර දෙන්නේ දෙආකාරයක හැඟීමකි. මහේලව තෘප්තිමත් කිරීම සෙව්වන්දිගේ අපේක්ෂාව වුවද මහේලගේ පශ්චාත් සුරතාන්ත හැඟීම ඊට සපුරා වෙනස්ය. එය ඔහුට ගෙනදෙන්නේ කාංසාමය හැඟීමකි. නැතහොත් අසංතෘප්ත අවසානයකි.වින්‍යාගේ නිදහස් ලිංගික චර්යාව ද ඔහුට වධයක් වෙයි.මේ නිසා ඇතැම් විට අතීත මතකය ඔවුනට වර්තමානයෙන් ගැලවීමේ ක්ෂේමභූමිය බවට පත් වේ . අනෙක් අතට අතීතය නිරන්තරයෙන් ඔවුන් පසුපස ලුහුබඳී. මෙම උභතෝකෝටිකය ඔවුන්ට ක්‍රීඩාවක් වන අතර ඔවුන් විනෝදවන්නේ එයිනි.
සුරත් නවකතාවේ ආඛ්‍යානය ගොඩනැංවීමේදි මනෝභ්‍රාන්ති සහ දවල් හීන යොදා ගෙන එමගින් සමාන්තර යථාර්ථයන් නිමවීමට තැත් කරයි. එය කතාපුවතේ සහ චරිතවල මනෝලිංගික සංකීර්ණතා වෙත කිඳා බැසීමට පාඨකයාට අපමණ සහායක් සපයයි. සුරත්ට අනන්‍ය වූ මද්‍යසාරමය භාෂාව ද මෙහි නොඅඩුව දැකිය හැකිය. එහෙත් මෙම නවකතාවේ දී එය ඇඩ්වටයිසිංමය හෝ තීරුලිපිමය භාෂා සැණකෙළියක්ව පැවතීම පාඨකයාගේ කියවීමට ඇතැම් විට අවහිරයක් වේ. පාඨකයා තේමාත්මකය අභිබවා භාෂාවේ වසඟයට පත්වීමේ අනතුර එහි පවතී.
කෙසේවෙතත්, අතෘප්තියෙන් විනෝදවීමේ මැදපාංතික ක්‍රීඩාව මනෝලිංගික අයුරින් නිරාවරණය කිරීමට ණයානන්දයෙන් සුරත් ගන්නා උත්සාහය බෙහෙවින් සිත්ගන්නා සුළුය. ඒ අනුව, අවසානය අසංතෘප්ත වුවද ක්‍රියාවලියෙන් විනෝදවීම ප්‍රමාණවත්ය. නොදන්නා අනාගතයක් ගැන දවල් හීන දැකීමට වඩා මේ නිමේෂයේ ආනන්දය මනරම්ය!

