මනෝහරි ජයලත් ගේ ‘කඩදොර’ නවකතාව මාස කිහිපයක් තුළ දෙවන වරටත් කියවූ මම කෙටියෙන් හෝ මේ විවරණය ලිවීමට අදහස් කළේ එතුළින් මසිත හටගත් සංකීර්ණ මනෝභාවයන්ගෙන් උපන් ප්‍රභල ඕනෑකමකිනි.
මනෝහරී කතුවරිය ‘කඩදොර’ තිලිණ කොට ඇත්තේ අප සැමටය… එනම් බැදීම් හිස් නොකොට ළගින් හිද හුස්ම ගන්නා ආදරණිය පාඨක සැමටය. කතාවේ ප්‍රධාන චරිතය සපුමලී….සපූ…අපට සිහි කරන්නේ 70 දශකයේ පාසැල් ගිය අපේ නව යව්වනයයි. සැමදාමත් පාසැල් බිත්ති අරා වැජඹුනු ගුරු ගෝල ගැටුමේ අමිහිරි දේශපාලනයයි. සිරිමත් ළමුන් පමණක් පෙරටු කොටගෙන හඹා ගිය සාම්ප්‍රදායික ගුරු චින්තනයට සමපාත නොවුනු, නව නිමැවුම්, කලා සාහිත්‍යය රස විදීම්, නව යොවුන් සිසු සිසුවියන්ගේ සුහුඹුල් පෙම් කාරණා දෙස වපරැසින් බැලූ වැඩිහිටි මහන්තත්වයේ, ආධිපත්‍යයේ පීඩනයයි. එය තේරුම් නොගත් දෙමව්පිය සහෝදර හිතමිතුරු කැලගෙන් මතුවන ද්විතීය පීඩනයෙන් ආතුර වන නවයොවුන් මල් කැකුලු වල කදුලු කතාවයි.
මේ සා විසල් මනෝ විද්‍යාත්මක කරුණු කාරණා මනෝහරී කතුවරිය ඉදිරිපත් කරන්නේ ස්වර්ණ පුස්තක සම්මාන සදහා නිදේශිත වූ ‘කඩදොර’ නවකතාව තුළින් ඇයටම ආවේනික වූ සරල සුමට බස් වහරේ ලලිත්‍යයෙන් පාඨකයා නොමසුරුවම ආකර්ශනය කර ගනිමිනි.
කඩිනමින් මහවැලි ව්‍යාපෘතියට යටවූ කොත්මලේ නිම්නය සගවාගත් කදුලු කතාවක් සපූ ලවා ඈ ගෙත්තම් කරන්නේ සපූගේ වයසේ දැරියක් මුවින් නොකියන සිතිවිලි කතාවක් සරුවටම අපේ හිත් තුලට සෝකීව කාන්දු කරවමිනි. මල් කැකුලු නොතලා ඒවාට පිපෙන්නට ඉඩ නොදෙන වැඩිහිටි ලොවේ නිරුවතද මොනොවට විවර කරමිනි.
මනෝහරි සපූගේ පිපෙන්නට අර ඇදි යොවුන් සිතේ සංතාපය අකුරු කරයි.
.”….අම්මාට ඕනේ උනා මං කෑ ගහලා අඩන්න. මං ඒ කෑ ගහලා අඩන තැනින්
ගොඩක් දුර ඇවිත් හිටියේ. ගොඩක් දුර!
දැන් මං දන්නේ මගේ ඇතුළාන්තෙට අඩන්න. කදුල ඔක්කොම පපුව අස්සටම.”
සපූ ගේ සිත් කැඩපතේ යතුර භිමිකාරිය සරාජායි… ඇයට තරම් සපූව කියවාගත හැකි කිසිවෙක් සපූ ගේ නිවසේ නැති ගානය.
හිතට හොරා පිපුණු සියුම් පෙම් හැගුම් කියවා ගත හැකි සරාජාද රහස් ගබඩාවක් මුර කරයි.
සපූ ගේ නෑඹුල් සිතුවිලි මනෝහරි මනෝ උපදේශකයකු ගේ නිපුණතාවයෙන් නවකතාවක රසය කුලුගන්වමින් අකුරු කරයි.
“…සරාජා මගේ කටු ගලවන්න සූදානමක් නෑ. වෙනදාට සරාජාට ඉවෙන් දැනෙනවා කට්ටක් ඇනිලා ඉන්නේ බවවත්…”
…සපූගේ කතාව කඳුළු නොසලා කියවිය නොහැකි තරම්.. සංවේදී ළමා සිත් තේරුම් ගැනීමට අසමත් මව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් සිටින සමාජයක තවත් බොහෝ සපූ ලා මානසික රෝගීන් ලෙස හං වඩු ගැසීම වැළැක්විය නොහැකි බව මනෝහරි අපට කොත්මලේ මිටියාවත මහා ජල කදකින් යටවන්නා සේම අපේ සිත් සන්තානයන්ද කඳුළෙන් යට කරවමින් අපූරු නිර්මාණයක් තුළින් කියා දෙයි. …
…තැරි ගැසූ නිර්මාණශීලී හදවත් යලිත් පාහන්නට නම් …ඔව්…..මනෝහරි ලිවූ ලෙස… සරාජා කෙනෙක් අවශ්‍යයි…එසේ නොමැති වුවහොත් යටවන්නේ කඩදොර පමණක් නොව නිවැරදිව හදුනා නොගත් ඒ යෞවන ලෝකයයි…
ස්වර්ණ පුස්තක සම්මාන තේරීමේ අවසන් වටයට තෝරාගත් පුස්තක ගොන්නට කඩදොර ද එකතු වී හමාරයි. මම මේ මනෝ චිකිත්සක පුස්තකය කියවූ දෙවන වරයි. පළමු වර කියවා දැන් මාස ගණනාවක් ගත වී ඇත. පළමු කියවීමෙන් අනතුරුව මා ලියූ විචාරය මට කිසිදා පළ කිරීමට නොහැකි වුණි. එහෙත් මගේ හිත ඇතුළින් ඉවත් කළ නොහැකි තරමට මගේ හිත කම්පනය කළ පොතක් මට අමතක කළ නොහැකි බැවින් මම කඩදොර නැවතත් කියවූයෙමි. නැවතත් විචාරයක් ලිව්වෙමි. කඩදොරට ජනතා සම්මානය දැනටමත් ලැබී අවසානයයි මම සිතමි. අප නොදන්නා නැතහොත් නොහදුනනා සුවිශේෂී ළමා තරුණ කුසලතා හඳුනා ගන්නට නම් මෙය සෑම වැඩිහිටියෙකුම කියවිය යුතු පොතකි. එවිට තව තවත් සපුමල් නිරෝගීව පිපෙනු ඇත.
අති විශිෂ්ට ලේඛිකාවක වන මනෝහරී ජයලත් ගේ සෑම කෘතියක්ම මම කියවා ඇත්තෙමි. ඒ කොළඹ සරසවියෙන් බිහිවූ දක්ෂතම නීතිඥවරියක් නිසා නොව
ඒ සෑම කෘතියක්ම එකිනෙකට නොපරදින විවිධ මාතෘකාවන් ඔස්සේ රචිත අති විශිෂ්ට රසාලිප්ත නිර්මාණයන් නිසාවෙනි.
ඇගේ නවතම නවකතාව වන අබාසාත්ති කියවීමට බලා හිදිමි. මනෝහරි ඔබට ජයම පතමි.