කුසලතාවය සහ මස්තිෂ්කය

Share post:

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිර්ධය ලෙස විවේචනය කළත්, ලෝක කුසලාන තරග ආරම්භ වීමට පෙර හිටපු ක්‍රීඩකයින් සහ විචාරකයින් විසින් සිදු කරනා ක්‍රිකට් විශ්ලේෂණයේ ගත යුතු බොහෝ දෑ තිබෙනවා.
අද වැඩසටහනේ විස්තර විචාරක රොෂාන් අබේසිංහ විසින් කියූ එවන් කතාවක් දුටුවා.
රොෂාන් අබේසිංහ මාගේ ප්‍රියතම විස්තර විචාරකයා නොවෙයි, නමුත් ඔහු සතුව ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ හසල දැනුමක් පවතින බවත් අසත්‍යයක් නොවෙයි.
රොෂාන් අබේසිංහ සාකච්ඡා කළේ කොදෙව් ක්‍රිකට් අධිරාජ්‍යයක් පැවැති 70/80 දශකය පිළිබඳවයි.
ඒ සමයේ ක්ලයිව් ලොයිඩ් ප්‍රමුඛ කොදෙව්වන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෝදයන් වුණා.
පිට පිට ලෝක කුසලාන දෙකක් ජය ගත් ඔවුන්, ටෙස්ට් ක්‍රීඩාවෙන් ද දක්ෂතම කණ්ඩායම වුණා.
අදටත් ක්ලයිව් ලොයිඩ් සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ විශිෂ්ඨතම නායකයෙකු ලෙසයි.
මෙහිදී රොෂාන්, ඔහුට ප්‍රවීණ විස්තර විචාරක ටෝනි ග්‍රේග් විසින් කියූ කතාවක් කිව්වා.
එහිදී ඔහු ප්‍රකාශ කළේ ක්ලයිව් ලොයිඩ් එතරම් දක්ෂ නායකයෙක් නොවන බව ටෝනි ග්‍රේග් තමන්‍ට කියූ බවයි.
කණ්ඩායමේ එකමුතුකම සහ සාමය ආරක්ෂා කරමින් ඊට නායකත්වය ලබා දීමට ක්ලයිව් ලොයිඩ් දක්ෂයෙකු වූවත්, ඔහු ක්‍රිකට් පිටිය තුල උපක්‍රමශීලි නායකයෙකු නොවූ බව ටෝනි ග්‍රේග් තමන්ට කියූ බව රොෂාන් ප්‍රකාශ කළා.
එසේ නම් ඒ යුගයේ කොදෙව්වන් එතරම් සාර්ථක කණ්ඩායමක් වූයේ කෙසේද ?
ඒ පැනයටත් ටෝනි ග්‍රේග් විසින් පිළිතුරු ලබා දී තිබුණා.
ක්ලයිව් ලොයිඩ් පිටියේ නායකයා වූවත්, කොදෙව් ජයග්‍රහණ පසුපස සිටි සැබෑ ‘මොලය’ ඒ සුප්‍රසිද්ධ කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින්නා වූ ඩෙරික් මරේ බව ටෝනි ග්‍රේග් කියා තිබුණා.
ඩෙරික් මරේ සුප්‍රසිද්ධ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උගත් ක්‍රීඩකයෙක්.
අධ්‍යාපනයෙන් එතරම් ඉහළට ගිය වෙනත් ක්‍රීඩකයෙක් ඒ සමයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිට නැහැ.
ඔහු සතු බුද්ධිය, තරග කියවීමේ හැකියාව සහ තීරණ කොදෙව් කණ්ඩායමේ ස්වර්ණමය යුගය ලියවීමේ දී තිරය පසුපස විශාල කාර්යභාරයක් සිදු කළ බව ටෝනි ග්‍රේග් රොෂාන්ට කියා තිබුණා.
වැරදියට වටහා ගත යුතු නැහැ.
උගත්කම සහ බුද්ධිමත්කම යනු පැහැදිලිවම දෙකක්.
උපාධියක් ලද පමණින් එක් විෂයක දැනුමක් ලද ‘උගතෙක්’ විය හැකි වූවත්, බුද්ධිමතෙක් විය නොහැකියි.
එවැනි උගත් නමුත් බුද්ධිමතුන් නොවන පිරිස් ඕනෑතරම් සාමාන්‍ය සමාජයෙන් සොයාගත හැකියි.
එමෙන්ම කුමන හෝ හේතුවක් නිසා ‘උගත් නැති’ එනමුත් බුද්ධිමතුන් ද ඕනෑතරම් සිටිනවා.
ඩෙරික් මරේ උගතෙක් මෙන්ම සිතීමට දන්නා, විශ්ලේෂණය කිරීමට දක්ෂ බුද්ධිමතෙක්.
කොදෙව්වන්ගේ සාර්ථකත්වයට ඔහු ප්‍රබල හේතුවක් වුණා.
මේ කතාව තුල විශාල පණිවිඩයක් ගැබ්ව තිබෙනවා.
ක්‍රිකට් යනු කුසලතා මත පදනම් වන කණ්ඩායම් ක්‍රීඩාවක්.
එනමුත් කුසලතාවයෙන් පමණක් ක්‍රිකට් තරග ජයගත නොහැකියි.
ක්‍රිකට් ක්‍රීඩාවේ සැලසුම්කරණය, උපක්‍රම, දත්ත, විශ්ලේෂණය සහ කියවා ගැනීමේ හැකියාව අතිශය වැදගත්.
බොහෝ විට තරගයක ජය පරාජය තීරණය වන්නේ ප්‍රධාන කුසලතාවය මත නොවෙයි, කණ්ඩායමක මෘදු කුසලතා මතයි.
එම නිසා ක්‍රීඩකයින් එවැනි පරිචයක් සහිත බුද්ධිමතුන් වීම විශාල වාසියක්.
උදාහරණ මෑත යුගයෙන් ඕනෑ තරම් ලබා ගත හැකියි.
ලසිත් මාලිංග උපාධි සහිත ක්‍රීඩකයෙක් නොවෙයි, නමුත් ඔහු වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධිමතෙක්, නිර්මාණශීලි චින්තකයෙක්.
ඔහු විසින් ගොඩනැගූ ‘වයිඩ් යෝකර්’ සංකල්පය ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් ගෙන ආවා.
එවැනි සංකල්පයක් නිර්මාණය කිරීමට විශාල බුද්ධිමය පරිචයක් අවශ්‍යයි.
මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් බුද්ධිය ඉහළින් පැවැති ක්‍රීඩකයින්.
ඊට එහා පරම්පරාව නියෝජනය කළ අර්ජුන රණතුංග ඉතා විශිෂ්ඨ සැලසුම්කරුවෙක්, තරග කියවන්නෙක්.
ඔවුන්ගේ ප්‍රධාන කුසලතාවය තරම්ම බුද්ධිමය දායකත්වය තරග ජයග්‍රහණය කිරීමට වැදගත් වුණා.
වර්තමාන කණ්ඩායමේ එවැනි බුද්ධිමය ධාරිතාවක් සහිත ක්‍රීඩකයෙක් සිටී දැයි ගැටලුවක් තිබෙනවා.
තනතීරුවක් දෙස බලා එය කියවිය හැකි ක්‍රීඩකයෙක්, ප්‍රතිවාදී පිතිකරුවන්ගේ දුර්වලතා, දක්ෂතා මතක තබා ගත හැකි ක්‍රීඩකයෙක්, අවස්ථානුකූලව සැලසුමක් වෙනස් කළ හැකි ක්‍රීඩකයෙක් වර්තමානයේ ශ්‍රී ලංකාව බිහි කර ඇත්දැයි ගැටලුවක්.
වර්තමාන කණ්ඩායමේ බහුතර ක්‍රීඩකයන් සතුව මූලික කුසලතාවයේ අඩුවක් නැහැ.
නමුත් ඔවුන් සතුව ක්‍රිකට් බුද්ධියේ රික්තකයක් පවතින බව බොරුවක් නොවෙයි.
කොටින්ම තමන් සතුව විශාල දක්ෂතාවයක් ඇති බවත් පුහුණුවෙන් එහි උපරිමය ලඟාකර ගත හැකි බව හෝ ඔවුන්ට අවබෝධ කරගත නොහැකියි.
වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩාවේ ඇති ප්‍රධාන ගැටලුවත් එයයි.
වත්මන් කණ්ඩායම පුහුණුකරුවන්ගෙන් ඕනෑවට වඩා යැපීමටත් එය හේතුවක්.
අතීතයේ පුහුණුකරුවන් සිටියත් බොහෝ අවස්ථාවන් හි ක්‍රිකට් පිටියේ තීරණ ඒ මොහොතේ ක්‍රීඩකයින් විසින් ලබා ගත්තා.
ඩේව් වට්මෝ විසින් අර්ජුනටත්, ටොම් මූඩි විසින් මහේලටත් සහය වූයේ බොහෝ අඩුවෙන්.
වර්තමානයේ ඒ තත්ත්වය බොහෝ වෙනස්.
පුහුණුකරුවන් විසින් උපක්‍රම සහ සැලසුම් හැන්දෙන් පොවනා තැනට (Spoon-feed) ඇවිත්.
එය පාපන්දු ක්‍රීඩාවට ගැලපුනත්, ක්‍රිකට් පිටියට සාර්ථක ක්‍රමවේදයක් නොවෙයි.
වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින්නේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා සහ කුසලතාවයන්ගේ විශාල අඩුවකට වඩා ක්‍රීඩකයන්ගේ විනයේ, කැපවීමේ, ඕනෑකමේ සහ බුද්ධිමය ධාරිතාවේ ගැටලුවක්.
සරල සිංහලෙන් කිවහොත් ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක වීමට තියුණු ඇස්, සවිමත් බාහු, වේගවත් පාද මෙන්ම මස්තිෂ්කය ද අවශ්‍යයි.
සෑම ලෝක කුසලාන පරාජයකට පසුවම යළි යළිත් ‘ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට සැලසුම්’ කරද්දී, ඒ පිළිබඳව අවදානය යොමු කිරීමත් වැදගත්.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

          2024. 06. 13

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...