කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

Share post:

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට දැනෙන්නෙ ඒ මතක අපෙත් මතක නිසා. කුමුදු විවර කරන දොරෙන් ඇතුළු වුනාම අපේ ජීවිත මතකත් පදාස පිටින් හමුවන නිසා.

කොළඹ මතක පිටු තුනහමාරක් වෙන්වෙන්නෙ කුමුදුලගෙ අසල්වැසි ගේක හිටපු වැඩකාර ගෑණු ළමයෙක් ගැන කියන්න. ඒ කතාව කුමුදුගෙ පොතෙන්ම තැනින් තැන උපුටා දක්වන්නම්.

“ඒ ළමයා අවුරුදු නවයක දහයක පුංචි ළමයෙක්. කළුම කළුයි එයා. බයාදු මූණක් තිබුනෙ. නිතරම බයවුනු මුහුණෙන් හිටියෙ. මූණෙ හිනාවක් තිබුනෙම නැහැ. හිනාව හොරු අරන් ගිහින් වගේ හිටියෙ. ඇඟපත කෙට්ටුයි. කිලුටු පාට ගවුම් ඇන්දෙ. කොණ්ඩෙ කොල්ලෙක්ගෙ වගේ කොටට කපලා තිබුනෙ. එහෙම කොණ්ඩෙ කැපුවෙ මේ ගෙදරට ආවට පස්සෙ මම හිතන්නෙ”.

“ඒගොල්ලො ඒ ළමයාගෙන් පුදුම විදිහට වැඩ ගත්තා. දර ගේන්න දර මඩුවට එක්ක ගියා. ඒ ගියේ ගෙදර කෙනෙක් එක්ක. දර උස්සගෙන ආවෙ ඒ ළමයා. පොදු ටැප් එකෙන් කළයක් උකුළෙ තියාගෙන වතුර පිරෙව්වා ගෙදරට. ලිපට දර දාලා, ලාම්පුතෙල් නොදා ලිප අවුලුවන්න ඕනෙ ඒ ළමයා. ලෝබකමට ලාම්පු තෙල් දාන්න දුන්නෙ නැහැ ලිපට”.

“එයාව සිය සැරයක් හරි කඩේ යැව්වා. හැබැයි ඒ ළමයා කඩේ යන්න කැමතියි. ඒ මොකෝ අහළ පහළ අය එක්ක කතා කරන්න ලැබෙන නිසා. ඒ වගේම හැමෝම ඒ ළමයට බටර් පාන් පෙත්තක්, කේක් කෑල්ලක්, බිස්කට් එකක් කන්න දුන්නා. කටට දෙකට ගිලලා කට පිහගෙන ඉක්මනින් යනවා මේ ළමයා. බැරි වෙලාවත් කාපු දෙයක් කට වටේ තිබුනොත් ගහනවා කෙල්ලට. කෑම හොරා කෑවා කියලා කොයි වෙලෙත් ගැහුවා”.

“ඒ ළමයාට ගෙදර හැමෝම ගැහුවා. පොඩ්ඩ එහා මෙහා වෙච්චි ගමන් ටොකු ඇන්නා. හරිම දුකෙන් ඔළුව තනියම අත ගා ගත්තා. ලිපේ තියන දර පොල්ල අරන් මූණ පිච්චුවා. මූණ පුරා පිච්චුන කැලැල් තිබුනා. ඒ ළමයට තිබුනෙ ළමයෙක්ගෙ මුහුණක් නෙවෙයි වහලෙක්ගෙ මුහුණක්. ඒ ළමයා අපිට හෙලුවෙත් බයාදු බැල්මක්. කොයි වෙලේ කවුරු ගහයිද කවුරු බණීද කියලා අවිනිශ්චිතව තමයි හැම මොහොතක්ම ගත කලේ”.

“ඒ ළමයා කුකුළා අතින් අරන් ඇහැරෙන්න ඕනෙ. රෑ වෙලා නිදියන්න ඕනෙ. නිදියගත්තෙ කුස්සියෙ පාන්කඩයක. ඒ ගෙදර ඇතුලෙ ඒ ළමයට තව මොනවා මොනවා වෙන්න ඇතිද?” (කොළඹ මතක උපුටන අවසන්).

කුමුදුගෙ කොළඹ වටපිටාවෙ විතරක් නෙවෙයි අපි පුංචි කාලෙ හිටපු රත්මලාන ගෙවල් අවටත් මේ වගේ දැරිවියො හිටියා. එයාලව වැඩිපුර දැක්කෙ සමූපකාර පෝළිමේදි. එයාලා කා එක්කවත් කතා කලේ නැහැ. දෙතුන් දෙනෙක්ගෙ අත් පා වල ඉස්තිරික්කයකින් පුච්චපු කැළැල් තිබුනා. එයාලා ඇන්දෙ ගෙදර ගෑණු අයින් කරපු ඉරුනු කඩමාළු එකතු කරලා මැහුව ගවුම්. අපි කිව්වෙ කෑලි මූට්ටු ගවුම් කියලා.

අපේ ඉස්කෝල, රත්මලාන ධර්මාරාම මහා විද්‍යාලයෙ, ටීචර් කෙනෙක් හිටියා ජයවර්ධන කියලා. පුත්තුම පහක් හෝ හයක් හිටියා. බාලම පුතා අපේ වයසෙ. එයා විතරක් අපේ ඉස්කෝලෙට ආවා. ටීචර්ගෙ ගේ තිබුනෙ ඉස්කෝලෙට යාබදව නිසා කට්ටිය සුදු කොක්කු වගේ ඉස්කෝලෙ යන එන හැටි අපි දකිනවා. අර බාලම ළමයටත් වඩා බාල ගෑණු ළමයෙක් ගෙදර වැඩට හිටියා. ඉන්ටවල් වෙලාවට එළියට බැස්සොත් අර දැරිවි කට්ටියගෙම යුනිෆෝම් හෝදලා වැලේ වනනවා දකින්න පුළුවන්.

මේ දුක්බර දර්ශන අකාමකා ගියෙ විවෘත ආර්ථිකය ආවට පස්සෙ. විවෘත ආර්ථිකය නිසා ආපු අළුත් රස්සා අර ගෑණු ළමයින්ටත් විවෘත වුනා. අළුතින් ආපු මධ්‍යම පංතිකයන්ට ගෘහ සේවකයො අවශ්‍ය වුන නිසා එයාලට තිබුන ඉල්ලුම ඉහළ ගියා. ගෘහ සේවිකාවො විදිහට ගෑණු මැද පෙරදිග යන්න ගත්තම ලංකාවෙ ගෙවල්වල වැඩට ගෑණු මනුස්සයෙක් හොයගන්න එක අසීරු වුනා. කලින් විසිකරන කෑමක් පඩි විදිහට ලබපු, බෝනස් එකට ගුටි කාපු ගෘහ සේවිකාවන්ට කේවල් කරලා පඩියක් ඉල්ලන්නත් සේවා කොන්දේසි ඉල්ලන්නත් පුළුවන් වුනා.

විවෘත ආර්ථිකය ජන ජීවිතයට කරපු මෙවැනි ධනාත්මක බලපෑම් විස්තර කරන්න අපේ මාධ්‍යවේදීන් කියන කට්ටිය පොහොසත් වුනේ නැහැ. විවෘත ආර්ථිකය නිසාම උපත ලැබූ දිවයින පත්තරේ මාධ්‍යවේදීන්, ගාමිණි සුමනසේකර, සුනිල් මාධව ප්‍රේමතිලක වගේ අය, විවෘත ආර්ථිකය නිසා පිරිහුණු සදාචාරයක් ගැන ඇති පදම් ලිව්වා. මේ දුප්පත් මිනිස්සුන්ට අවස්ථාවක් ලැබුනා නම් ඊට කලින් තිබ්බ සදාචාරය ගැන එයාලා කියාවි.

සුසන්ත ආරියරත්න

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...