වරෙක තමන් හට එල්ල වුන අභියෝගයකින් ජය ගනු පිණිස අර්නස්ට් හෙමිංවේ කෙටිම කෙටි කතාව ලියන්නට පෙළඹුන බවත් ඒ අනුව ඔහු තමන් ගේ ඔට්ටුවෙන් ජයගත් බවටත් සාහිත ලොවෙහි පරසිදු කතාවක් පවතී. ඒ කතව හුදු වදන් හයක නිර්මානයකි.
For sale: Baby shoes, never worn.
එපමණි, බැලූ බැල්මට ඒ වෙළඳ දැන්වීමකි. එහෙත් ඒ ලොව කෙටිම කෙටි කතාව ලෙස සැලකෙන නිර්මාණයයි. ඒ කෙටි කතාව යනු පාඨකයාද සිය පරිකල්පනය මෙහෙයවා පුළුල් කරගත යුතුව ඇති එසේ කරගන්නට ඔහු සමත් වන්නේ නම් පාඨකයාද නිර්මාණකරුවකු බවට පත් කරන්නට සමත් කෙටි, එහෙත් විසල් පරාසයක විහිදෙන කතන්දරයකි. හෙමිංවේගේ කෙටිකතා අතර මෙවන් කෙටි නිර්මාණ ගණනාවක් දැකිය හැකිය.
අනුරාධා නිල්මිණිගේ නවතම කෙටිකතා එකතුවද එවන් නිර්මාණ වලින් සමන්විත එකකි. එහි එන කෙටිකතා බොහොමයක් වචන සංඛ්‍යාවෙන් අඩුය. එසේම සංක්ෂිප්ත ප්‍රකාශන ලෙස ඉදිරිපත් වන වාක්‍ය ඛණ්ඩයන්ගෙන් යුක්තය. එහෙත් මේ කතා යනු වඩා පුළුල් සමාජ දේශපාලන කියවීමකට පාඨකයා පොළඹවන, ඔහුට වද දෙන නිර්මාණ සමුච්චයකි.
ඇගේ එතකොටත් මං මැරිලා යන කතාව ඇරඹෙනුයේ කෙටි වාක්‍යයකිනි.
‘ඌ මැරෙන්ඩැති නේද මල්ලි?’ මේ විමසුම් සහගත එමෙන්ම අවදියෙන් සිටිනා පාඨකයෙකු හට බෙහෙවින් සමීප දෙබස් ඛන්ඩයකි. අපට මෙය ඇසෙනුයේ පාරේ ධාවනය වූ ඩිමෝ බට්ටෙකු පදවාගෙන ගිය රියදුරුගේ ඔළුවට වෙඩි තැබූ නිලැඳුම් ඇත්තෙකුගේ මුවිනි. යුක්තිය මෙහෙයුමෙහි ආරම්භයේදීම අපට මේ බස් තදින් වැදී ගියේය. ඇය මේ කතාවට වස්තු විෂය කරගන්නී ඒ සිදුවීමයි. කතාව දිව යන්නේ ඒ අවස්ථාවෙහි එහි සිටිනා අයගේ දෙබස් ඇසුරිනි. ඒ සියල්ල අසා සිටිනා තෙවැන්නෙකි. මේ ඇය කතාව අවසන් කරන්නට ඔහු මුවට නංවන වදන්ය.
‘අයියෝ ඌට යන්න දීපල්ලා, ඌ කොක ගස්සනකොටත් මං මැරිලා හිටියේ.’
ඒ හඬ වෙඩි කෑ මිනිසාගෙනි. ඇය මේ බරපතල ඛේදවාචකය ඇසුරින් කරනා නිර්මාණයෙහිදී සමස්ත සමාජයෙහිම මලගම වෙඩි කෑ මිනිසා වෙතින් මූර්තිමත් කරන්නීය. ඔහු දැනටමත් මං මැරිලා කියන්නේද ඔහු පරිදිම මිය ගිය සමාජයකටය. ඉතා කෙටි මේ නිර්මාණය ආසන්නතම අත්දැකීමක් පදනම් කරගෙන රචිත විවේචනාත්මක එළඹුමක් සහිත කතන්දරයකි.
අනුරාධා නිරතුරුවම සිය පාර්ශවය එනම් කාන්තාව පිළිබඳව ලියන්නට උත්සුක වන්නීය. ආදරය අහිමි ලොවක, ආදරය වෙනුවෙන් ජීවිතය තුළ අපේක්ෂා දල්වන එහෙත් එය අහිමිව පීඩනයට මෙන්ම අසාධාරණයටද අමතක කර දැමීමටද ලක්වන කතුන් ඇතුළු ජීවිත කෙරේ ඇය දක්වන සලකිල්ල ඇගේ නිර්මාණ තුළ බාහෝ විට විද්යාඑමාන ය. ‘ගෙම්බෙක් මුල්නිම ඉකිගහපු දවස’ මැයෙන් වන කතාව මේ සඳහා මනහර උදාහරණයකි. මේ එහි එන කතගේ වදන්ය.
‘සරීර කූඩුව හප කරලා උරා බීලා, පැයෙන් දෙකෙන් දොර පොල්ල පන්නගෙන පිට වෙලා යන උංගෙන් අවසර යැද්දෙ නැතුවට ඈතින් ඉඳන් ජීවිත කාලෙටම පපුව හූරන මිනිහෙක් කියන්නෙ ගෑනියෙකුට දෙයියෙක්…’
මේ කතාව අපට පවසනුයේ ගෙම්බෙකි. අපට ඇසෙනුයේ උගේ පළමු ඉකිබිඳුමයි. මිනිස් සමාජය හැඟීම් විරහිත දර ගොඩවල් බවට පත්වන වර්තමානයක ඉකි බිඳින ගෙම්බෙක් යනු තියුණු උත්ප්රාවසයකි. අනුරාධා මේ නිර්මාණය උදෙසා කැඳවන ගෙම්බා සමාජය යනු කෙතරම් ව්‍යාජයක්දැයි අපට දක්වා සිටියි.
ගෑනියෙක් වෙනුවෙන්, උපන්න ආදරේකට එහෙම සද්දෙට ඉකි ගහන්න පුළුවන් වෙන්නෙත් මේ මුලු ලෝකෙන්ම ගෙම්බෙකුට විතරයි.
ඔව්….!
ගෙම්බෙකුට විතරම යි.
(පිටුව 22)
කර්ට් වොනෙගට් සැලකෙනුයේ ලොව උසස්ම යුධ විරෝධී නිර්මාණකරුවෙකු ලෙසටය. එසේම ඔහු තම නිර්මාණ හරහා පල කරන උපහාසය මුසු විරෝධය නිසා බෙහෙවින් ප්‍රසිද්ධ ය. ඔහුගේ මස් මඩුව අංක පහ යනු යුධ විරෝධී නවකතා අතර ඉහලින්ම පැසසුම් ලබන්නකි. වොනෙගට් ඒ අතරම විද්‍යා ප්‍රබන්ධද රචනා කළේය. ඔහුගේ එක් කතාවක එන්නේ විද්‍යාවේ දියුණුව ඉහලටම ගිය අවධියක කෙනෙකුට ලොව උපදින්නට තවෙකකුට මිය යන්නට සිදුවන තරම් සැලසුම් සහගත පසුබිමක් ගැනය. ඒ මනුෂ්‍යය ජීවිතයෙහි අර්බුදය ගැන කියුණු සංවේදනයන් දනවන්නකි.
අනුරාධාගේ බයෝ බෑග් නම් කතාවද එවැන්නකි. දිනපතා යාන්ත්‍රික වන සමාජයක මනුෂ්‍ය සම්බන්ධතා ගල්වී අවසන මා පිය දූ දරු සම්බන්ධතාව පවා තාක්ෂණික, නැතිනම් යාන්ත්‍රික ගනුදෙනුවක් බවට පිරි හෙලී යන්නට ඇති ඉඩ මෙන්ම එහිදී ආදරය යන්න හරසුන් වදන් බවට පත්වන ආකාරය ඇය මෙහිදී සාකච්ඡාවට ගන්නීය. විද්‍යා ප්‍රබන්ධයක ලක්ෂන සහිතව රචනා වන මෙහි එන චරිත තුළින් අපට ගෙනහැර පානා මනුෂ්‍යත්වයේ ඛේදය මේ වන විටත් අප අත්විඳිමින් එහෙත් ගනන්න නොගනිමින් තිබෙන්නකි. මේ ජාන සංකලනයෙන් බිහි කරනු ලබනා මව්පියන්ට ඇවැසි අනාගත දරුවා ගැන වෙදැදුරා කියනා වදන්ය.
‘හරි හරි… මට තේරෙනවා. ඔය දෙන්නටම ඕන විදිහෙ බුද්ධිමත් නිරෝගී ලස්සන බබෙක් අනිවාර්යයෙන්ම ඔයාලට හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අනිත් විශේෂ ම දේ තමයි මේ විධිහට අපි තවාන් කරන බබාලා ඕගොල්ලො ළඟට ගියාට පස්සෙ මොනම දේකට හරි ඔයාලා එයාට ගැහුවත්, බැන්නත් සීරුවත්, කෙනිත්තුවත් කිසිම වෙලාවකට එයාලට තරහ එන්නෙ නෑ… තරහ එන්නෙ නෑ කියන්නෙ දුක තරහ ආදරය වගේ හැඟීම් උනන ජාන අපි එයාලට දාන්නෙ නෑ. ඒ නිසා එයාලා කවදාවත් ඔයාලගෙ වචනෙට පිටින් යන අකීකරු දරුවෙක් වෙන්නෙ නෑ.
(පිටුව 30)
අනුරාධා සිය නිර්මාණ සංග්‍රහයට යුද්ධය, එහි මූලයන් ඒ කෙරෙහි සමාජයෙහි මැදිහත්වීම, ඒ සියල්ල අතරේ පුරුෂ ලෝකයක් තුළ කාන්තාවට සිය කන්‍යාභාවය පරදු තබන්නට බල කෙරෙන පසුබිම, උතුරේ අමතක කර දමන ලද මිනිසුන්ගේ යටපත් කරන ලද සැබෑ හඬ සහ ඔවුන්ගේ අපේක්ෂාවන් යන විවිධ කාරණා සිය නිර්මාණ තුළට ගොනු කරගනී. එකිනෙට වෙනස් ගොඩනැංවීම් තුල ඒකාකාරී බවින් තොරව ඇය විසින් නිර්මාණය කරනු ලබනා මේ කතාවන් කාන්තා ලෝකයේ සිට දේශපාලන සමාජ සහ සංස්කෘතික නරකාදියක පැහෙනා මිනිස් ජීවිතවල විවරණයක් දක්වා පුළුල් කරන අතර පාඨකයා හට දෛනික ජීවිතය යනුවෙන් අප නඩත්තු කරනා ව්‍යාජයෙහි පිලිකුල් සහගත බවද සිහිපත් කරවයි.
අප මේ වන විට කෙමෙන් කෙමෙන් අයිස් කුට්ටියක් තුළ ගල් වන ජීවි කොට්ඨාශයක ඉරණම අත් කරගනිමින් සිටිනා ප්‍රජාවකි. දේශපාලනය අපට හුරු කරවන්නේම පවත්නා ජරාජීර්ණ පද්ධති හැර අන් වෙනසක් පැතීමම විහිළුවක් බවමය. දිරිගන්වනු ලබන්නේ ඊට එරෙහි වීම නොව එය ඉවසා ලද ආත්මය සුඛිත මුදිත කරගැනීම කෙරෙහිය. එහෙත් අනුරාධා ඒ අයිස් කුට්ටියට අනින්නට තැත් කරන්නීය. ඇගේ කතා වැදගත් වන්නේ එහෙයිනි.
චූලානන්ද සමරනායක
කවරය – මො.ල.සෙනෙවිරත්න .
ප්රකාශනය – පහන් ප්‍රකාශන.
මිල – 380/