‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

Share post:

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා විදෙස් රටකට යාම සරසවි ඇදුරන්ටද අතීතයේ මෙන් ආගන්තුක අත්දැකීමක් නොවේ. එහෙත් මෙම සාමාන්‍ය පසුපස පවත්නා විශේෂයන් පොදු සමාජයට නොපෙනෙන සංකීර්ණතා රැසකින් සමන්විතය. ඇතැම් විට මෙම සංකීර්ණතා කෙනෙකු පෞද්ගලික මෙන්ම වෘත්තිය මට්ටමින් නඩත්තු කළ මානව සබඳතා දෙදරවීමට තරම් ප්‍රබලත්වයකින් යුක්තය. එය එවන් පුද්ගලයකුගේ ඉගෙනුම් ජීවිතයට, වෘත්තිය ජීවිතයට, පර්යේෂණ ජීවිතයට, සමාජීය ජීවිතයට, සහ පෞද්ගලික ජීවිතයට බලපෑම් කරන ආකාරය බොහෝ විට ඉන් පරිබාහිර සමාජයට නිරාවරණය නොවේ.

නිමල් විජේසිරි විසින් රචිත ඇදුරාභරණ නවකතාව මෙම අත්දැකීමේ ආත්මීය කම්පනය ප්‍රබන්ධගත කිරීමට ගත් ප්‍රයත්නයකි. ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යත්වයක් ලබන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු වටා කතාපුවත ගොඩනැංවේ. ශිෂ්‍යත්වය ලැබුණු බව දැනගත් දින සිට ඔස්ට්‍රේලියාව බලා ගුවන්ගත වීම දක්වා ඔහු අත්දකින සිදුවීම් මාලාවත් ඔස්ට්‍රේලියාවට ගිය පසු ඔහු මුහුණදෙන තත්ත්වයත් ඔස්සේ කතාපුවත ගලා යයි. නවකතාවේ ප්‍රධාන චරිතයෙහි වෘත්තිය සහ පෞද්ගලික දිවිසැරියේ තීරණාත්මක සංසිද්ධියක් වෙත එල්ල වන අනෙකාගේ බැල්මෙහි තීව්‍රතාව මතු කිරීමට කතුවරයා දක්වන අවධානය බෙහෙවින් වැදගත් වේ. එය මෙරට ශාස්ත්‍රීය ලෝකයේ චර්යාවත් ඒ හා බැඳුණු පරිපාලනමය ක්‍රියාවලියත් පිළිබඳ විවේචනාත්මක සිතීමක් වෙතට පාඨකයා යොමු කරයි. එමෙන්ම විදේශගත වීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් කථිකාචාර්යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දරන ආකල්පවල විවිධත්වයත් ඔවුන්ගේ අපේක්ෂාවන්හි වෙනසත් එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන ආතතිමය තත්ත්වයත් පාඨකයාට විවර කිරීමට කතුවරයා සමත් වේ. එය කෙනෙකුට සියලු පැතුම් ඉටුවන යුතෝපියානු ෆැන්ටසියකි. තවෙකෙකුට කටුක යථාර්ථයකට මුහුණ දීමකි.

ඇදුරාභරණ නවකතාවේ පරිච්ඡේද ⁣නම් කර ඇති ආකාරයේ විශේෂත්වයක් පවතී. මෙහිදී කතුවරයා පර්යේෂණ නිබන්ධනයක පරිච්ඡේද නම් කිරීමේ රටාව අනුගමනය කරයි. මේ අනුව නවකතාවේ ප්‍රබන්ධමය අන්තර්ගතය ශාස්ත්‍රීය ආකෘතියක් ඔස්සේ ඉදිරිපත් කෙරේ. මෙම සංකලනය හරහා සරසවි ඇදුරෙකුගේ ජීවිතයේ වාස්තවිකත්වය සහ ආත්මීයත්වය අතර පවත්නා බැඳීම මෙන්ම පැල්මද කියවා ගත හැකිය.

කෙසේ වෙතත්, නවකතාවේ පරිච්ඡේද නාමකරණ අත්හදාබැලීම එහි ප්‍රබන්ධමය වියමනට අලුත් යමක් එක් කර ඇත්ද යන සැකය නිරායාසයෙන්ම මතු වේ. මන්ද , මුල, මැද, අග සහිත සුපුරුදු ආඛ්‍යාන රටාවෙන් මිදීමට එය උපකාරී නොවන බැවිනි. නැතහොත් කතන්දරය ප්‍රබන්ධයක් දක්වා පරිණාමය වීමට මෙම ආකෘතික අත්හදාබැලීම යොදා නොගැනෙන බැවිනි. මේ නිසා පාඨකයාට කතන්දරයේ සීමාව තුළ කල්බැලීමට සිදු වේ. කතුවරයා ස්වකීය ආකෘතික අත්හදාබැලීම සරල රේඛීය ආඛ්‍යානයට අභියෝග කිරීම සඳහා භාවිත කළේ නම් , ඇදුරාභරණ පාඨකයාට සැබැවින්ම නවමු අත්දැකීමක් වනු ඇත.

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...