“…හයවන දශකයේ බොහෝ උත්සව සභා පැවැත්වීමට නිතර යොදාගත් තැනකි, කොළඹ විහාරමහා දේවී උයන අසලින් දිවෙන ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නව නගර ශාලාව. (කලක් වසා දමා තිබුණු මෙය දැන් අලුත්වැඩියා කොට පාවිච්චියට ගැනේ) මා යට සඳහන් කළ සාහිත්‍ය කෝලාහලය පැවතුණේ එහිය. එම උත්සවය එකල සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සාහිත්‍ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද්දක් යැයි සිතමි.
පේරාදෙණි – කොළඹ සාහිත්‍ය සටන් පෙරමුණු දෙකම නව නගර ශාලාවේ කඳවුරු බැඳගෙන සිටිනු පෙනිණ. සාහිත්‍ය උත්සවයේ දේශකයෝද ඒ සටන් පෙරමුණ දෙකටම අයත් වූවෝය. එකල සාහිත්‍ය ලෝකයේ පැවති උපේක්ෂාව පිළිබඳ ප්‍රත්‍යක්ෂ සාක්ෂ්‍යක් ලෙස එය හැඳින්විය හැකිය. මුළු නව නගර ශාලාවම ළමා, තරුණ, වැඩිහිටි සාහිත්‍ය ලෝලීන්ගෙන් පිරී තිබිණි. ශාලාව දෙපස වූ කොරිඩෝවලද ජනයා පිරී සිටි සැටි මට හොඳින් මතකය. එකල වූ සාහිත්‍ය ප්‍රබෝධය ඉන් සිතාගත හැකිය.
එදින උදය සැසිවාරයේ ප්‍රධාන දේශනයේ මාතෘකාව වූයේ ‘නූතන සිංහල කවිය’යි. කෘතහස්ත පරිපාලන නිලධාරියකු මෙන්ම දේශපාලකයකු හැටියටද අද මහත් ප්‍රසිද්ධියක් උසුලන සරත් අමුණුගමයෝ දේශකයෝ වූහ. එකල ඔහු තරුණ පරිපාලන නිලධාරියෙක් විය.
සරත් අමුණුගමයෝ ‘නූතන සිංහල කවිය’ යන මාතෘකාවෙන් කළ තම දේශනයේදී කොළඹ කවි හෙළා දකිමින්ද නිසඳැස් කවි හුවා දක්වමින්ද අදහස් පළ කළහ. ඔහුගේ කතාව නිම කරන්නටත් පළමුවම ගල් ගැසූ දෙබරයක් ලෙස ඇවිස ගිය කොළඹ සාහිත්‍ය ගුරුකුලයට ලැදි පිරිස බාධා පමුණුවන්නට වූහ. කතාව අතරමග නතරව ගියේ සභා ශාලාවේ සිටි විරුද්ධවාදීන් කෙරෙන් නැගුණු ඝෝෂාව ඝෝර වීමෙනි.
තිහාරියේ මානෙල් පෙරේරා කවියා සභාවේ කොනක සිට මහ හඬින් කෑ ගසාගෙන නැගිට වේදිකාව වෙතට දිව ගියේ ගම්මඩුවේ වාහල නටන නැට්ටුවා පරලව ගොස් කුරාලයේ මුදුනට නගිනු පිණිස වාත වේගයෙන් දිව යන්නා සේය. භද්‍ර යෞවනයේ පසුවුණු ඔහු එකල දවස පුවත්පතේ සේවය කරමින් සිටියේ යැයි සිතමි. වේදිකාවට නැග ඔහු සරත් අමුණුගමයන්ගේ මයිකය තිබුණු තැන සිටගෙන පේරාදෙණි ගුරුකුලයටත් නිසඳැස් කවියටත් දරුණු ලෙස පහර ගසමින් කතා කරන්නට පටන් ගති. නව නගර ශාලාව දෙදරවන තරමේ අත්පොළොසන් නැගුණේ ඔහු කතාව අවසන් කරනවාත් සමගය.
එකෙණෙහිම සභාවේ මැද සිට නැගිට ගත් උස් පුද්ගලයකු වේගයෙන් වේදිකාව දෙසට එනු කාගේත් ඇසට ලක්විය. ඒ මැන්දිස් රෝහණධීරයෝය. මයිකය වෙතට ගිය ඔහු කිසිවක් කතා නොකොටම හිස වනමින් දෑත හෙමින් නගමින් හඬ හොඳට උස් පහත් කරමින් සිරි ගුනසිංහයන්ගේ දික් නිසඳැස් කවියක් සභාවට ඉදිරිපත් කොට සිටියේය. හැකි නම් එහි අන්තර්ගත අර්ථය විග්‍රහ කොට දක්වන්නැයි ඔහු කොළඹ කවියන්ට අභියෝගයක්ද ඉදිරිපත් කළේය. යළිත් අත්පොළොසන් නැගුණේ නව නගර ශාලාව දෙදරවමිනි.
එදින සාහිත්‍ය උත්සවයේ සවස සැසිවාරය පැවැත්වුණේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙනි. ‘කෙටිකතාව යනු කුමක්ද?’ යන මාතෘකාව අනුව එදින ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ කේ.බී. සුගතදාසයන් විසිනි. සුගතදාසයන් තම දේශනය අවසන් කිරීමෙන් පසු නැගී සිටි මාර්ටින් වික්‍රමසිංහයෝ ‘සුගතදාස මහත්තය දැන් මේ සභාව ඉදිරියේ කෙටිකතාව ගැන කළේ මහ වල්බූත කතාවක්’ යැයි අභීත ස්වරයෙන් ප්‍රකාශ කළහ.
කොළඹ ගුරුකුල දෙබරයට ගල වැදුණි. වියරුව ගිය කොළඹ ගුරුකුල දෙබරුන්ගේ විෂ මිසයිල පහරින් පේරාදෙණිය ගුරුකුලයට කවර ගැලවීමක්ද? මයික්‍රෆෝනයෝ ඉහළ ගියහ. පුටුහු අහසට පිනූහ. ආක්‍රෝශ පරිභවයෝ ඒක නින්නාද දෙති. කොළඹ ගුරුකුල කඳවුරු සෙන්පතියෝ වනාහි පී. මලල්ගොඩයෝය. මැන්දිස් රෝහණධීරයෝ පේරාදෙණි ගුරුකුල කඳවුරු සෙන්පතියෝය. නව නගර ශාලා සාහිත්‍ය කෝලාහල මහා සාගරය ආලෝලනය කළ යුගල ගුරුකුල ලෝල ජන කල්ලෝලයන් මැඬලිය හැකි වූයේ අප්‍රමාණ ආයාසයකිනි…”
(උපුටාගත්තෙ කරුණාරත්න අමරසිංහගෙ ‘හිතක මතක’ පොතෙන්. මේක මරු පොතක්. කතුවරයගෙ අද්දැකීම් වගේම ඒව ඉදිරිපත් කරල තියෙන භාෂා විලාසයත් හරි අපූරුයි. හොයාගෙන කියෙව්වට පාඩු නැති පොතක්.)