රතුපස්වල : මේජර් ජෙනරාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් – වින්දිතයන් අභියාචනය කරන්න සූදානම් !

Share post:

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50 දෙනකුට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනාට එරෙහිව නගා ඇති චෝදනා නීතිපතිවරයා විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපහොසත් වී ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චූදිතයන් පිරිස නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (17) උදෑසන 9.30ට ප්‍රකාශයට පත් කෙරිණි.

ගම්පහ නැදුන්ගමුවේ පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගල ජලය අපවිත්‍රවීම නිසා එම කම්හල ඉවත් කරන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් 2013 ජූලි මස 27 වැනිදා සිට දින පහක් පුරා පැවැති සාමකාමී විරෝධතාවයට 2013 අගෝස්තු මස පළමු වැනිදා යුද හමුදාව විසින් පහර දී වෙඩි තැබීය. එම ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය අතර තවත් පාසල් සිසුහු10කට ආසන්න ගණනක් ඇතුළු 50ක පමණ පිරිසක් තුවාල ලදහ.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙහි විමර්ශන යටගසා තිබියදී එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරණ ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රදේශවාසීන් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට පැමිණිලි කළේය. ඉන් පසු විමර්ශන රහස් පොලිසියට පැවරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල යන දෙදෙනාගේ අධීක්ෂණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු සහකාර පොලිස් අධිකාරී වත්මන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී එස් තිසේරා මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති රංජිත් මුණසිංහ සහ එහි පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීහු ඇතුළු පිරිසක් විමර්ශන සිදු කළහ. විමර්ශනවලින් පසු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා නිලධාරීහු හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. විශේෂත්වය යුද හමුදාව විසින්ම කළ පරීක්ෂණයකින් ද බ්‍රිගේඩියර්වරයා වැරදිකරු කර තිබීමයි. එම වාර්තා ද සීඅයිඩිය අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුවේ දී බ්‍රිගේඩියර්වරයා ඇතුළු පිරිසට එරෙහිව චෝදනා අනූගණනක් ඉදිරිපත් කර තිබුණු අතර සාක්කිකරුවෝ ද 70කට ආසන්න සංඛ්‍යාවක් ලැයිස්තුගත කර තිබිණි. කෙසේවෙතත් නීතිපතිවරයා සාක්කි සඳහා කැඳවූයේ ඉන් කිහිප දෙනකු පමණි. එසේම මෙම නඩුව මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද වරින් වර වෙනස් විය. නඩුවේ තීන්දුව මීට පෙර ලබාදීමට නියමිතව තිබූ දිනයේ දී නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිම නිලධාරියකු පැමිණ නොසිටි අතර ඔවුන් ලිඛිත දේශන ලබාදීමට ද ප්‍රමාධ වූ බව චූදිතයන්ගේ නීතිඥවරු දැනුම් දුන්හ.

රතුපස්වල වින්දිතයන් ප්‍රකාශ කළේ මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

  • තරිඳු ජයවර්ධන

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...