ලෝකයේ බිලියන තුනකට අධික ජනතාවකට 2070 වන විට ජීවත් විය නොහැකි උෂ්ණත්වයක් සහිත ස්ථානවල වාසය කිරීමට සිදුවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. හරිතාගාර වායු විමෝචනය අවම නොවන්නේ නම්, ඉදිරි වසර කිහිපය තුළ විශාල පිරිසකට සාමාන්‍ය උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 29කට වඩා වැඩි උෂ්ණත්වයක් සහිත දේශගුණයක ජීවත්වීමට සිදු වනු ඇති බව ද එම අධ්‍යයනය පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ ජනගහන ප්‍රක්ෂේපණ සහ සෙල්සියස් අංශක තුනකින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම යන දත්ත එකතුව පදනම් කරගෙන මේ පර්යේෂණය සිදුකර තිබේ. මේ අතර පැරිස් දේශගුණික ගිවිසුමට අනුව ක්‍රියාකරන රටවල පවා උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකින් ඉහළ යෑමේ දැඩි නැඹුරුවක් පවතින බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක දැක්වේ. එම වාර්තාවට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකින් ඉහළ යෑම නිසා විශාල පිරිසකට සුදුසු දේශගුණික තත්ත්වයෙන් පිට උෂ්ණත්වයක් සහිත පරිසරයක ජීවත් වීමට සිදුවනු ඇත.
එංගලන්තයේ එක්සෙටර් විශ්වවිද්‍යාලයේ දේශගුණික විශේෂඥ සහ ගෝලීය පද්ධති ආයතනයේ අධ්‍යක්ෂ ටිම් ලෙන්ටන් චීනයේ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ විද්‍යාඥයන් සමග එක්ව ඉහත අධ්‍යයනය සිදුකර තිබේ. ඔහු රොයිටර් සහ බීබීසී වෙත මෙසේ පවසා තිබිණි.
‘භූමිය සාගරයට වඩා වේගයෙන් උණුසුම් වන බැවින් භූමිය අංශක තුනකට වඩා උණුසුම් වෙනවා. මේක සරලව සැලකීමම මිනිසා ඇතුළු ජීවීන්ට කරන විශාල හානියක්. මිනිසුන් උණුසුම් ස්ථානවලට ව්‍යාප්ත වීමත් සමග ඔවුන්ගේ උෂ්ණත්වයත් වැඩිවෙනවා. එනම් සෙල්සියස් අංශක තුනක් උණුසුම් පෘථිවියේ සාමාන්‍ය පුද්ගලයෙකුට ජීවත් වෙන්න සිදුවන්නෙ සෙල්සියස් අංශක හතකින් වැඩිවූ උණුසුම් තත්ත්වයක.
භූමියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකකින් ඉහළ යන විට දළ වශයෙන් බිලියනයක පමණ ජනතාවකට එය බලපාන බව පර්යේෂණ දත්තවලින් පෙනෙනවා. එම නිසා සෙල්සියස් අංශක එකකින් හෝ භූමිය උණුසුම් වීම වළක්වා ගතහොත් අපිට මිනිසුන්ගේ ජීවිතයේ විශාල වෙනසක් සිදුකරන්න පුළුවන්.’
සෙල්සියස් අංශක 1.5ක ඉහළයෑමක්
පර්යේෂකයන් පවසන්නේ 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය තුළ ගෝලීය උෂ්ණත්ව මට්ටම සෙල්සියස් අංශක 1.5කින් ඉහළයෑමට සියයට 66ක සම්භාවිතාවක් පවතින බවයි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන වායු විමෝචන සහ එල්-නිනෝ (El-nino) කාලගුණ රටාව හේතුවෙන් ඊට ඇති ඉඩකඩ දිනෙන්-දින ඉහළ යමින් පවතී. එල්නිනෝ යනු පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ඇති වන ක්‍රියාවලියකි.
පසුගිය වසර කිහිපයක කාලයේදී ලෝකය ලා-නිනා (La-nino) සංසිද්ධිය අත්දුටු අතර, එය දේශගුණික උණුසුම යම් තරමකට අඩුකිරීමට හේතු විය. නමුත් එල්-නිනෝ මගින් පැසිෆික් සාගරයේ මතුපිටට ගෙන එන අමතර උණුසුම ගෝලීය උෂ්ණත්වයට දැඩි බලපෑම් එල්ල කරයි.
‘වර්ධනය වන එල්-නිනෝ තත්ත්වය ගැන අපේ අනාවැකි බොහොමයක් ඉදිරියට පුළුල් පරාසයක් දක්වා විහිදෙන බව මතක තියාගන්න එක සෑහෙන වටිනවා.’ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥයකු වන මහාචාර්ය ස්කෙයිෆ් එසේ අනතුරු අඟවයි.
‘ඇත්ත වශයෙන්ම එල්-නිනෝහි විශාලත්වය පුරෝකතනය කරන එක හරි, පස් අවුරුදු කාලයක් තුළ ගත්තොත් මේ සංසිද්ධියෙන් පස්සෙ සිද්ධවෙන්න පුළුවන් දේ මොනවද කියලා හරි අපිට හරියටම කියන්න බෑ. ඒ නිසා ඒක සෙල්සියස් අංශක දෙකහමාරක විශාලත්වයක් සහිත එල්-නිනෝ මට්ටමක් දක්වා යන්නත් පුළුවන්.’
පර්යේෂකයන්ට අනුව බොහෝ කලාපවලට වඩා වැඩි උණුසුමක් ආක්ටික් කලාපයට බලපානු ඇත. උතුරු අර්ධගෝලයේ ඇතිවන ඉදිරි ශීත සෘතුවල උෂ්ණත්ව විෂමතාව පසුගිය කාලයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ෆොසිල ඉන්ධන විප්ලවය
මෙය සරලව පැහැදිලි කරන්නේ නම් කාර්මීකරණය හේතුවෙන් ෆොසිල ඉන්ධන විමෝචනය සීග්‍රයෙන් ඉහළ යෑමට පෙර, එනම් 19 වැනි සියවසේ දෙවැනි භාගයේදී ලෝකයේ පැවති උෂ්ණත්වයට වඩා ලෝකයේ දැන් පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් ඉහළ ගොස් තිබේ. සෙල්සියස් අංශක 1.5 යන අගය ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳව සිදුකෙරෙන සාකච්ඡාවල සංකේතයක් බවට පත්ව ඇත. 2015 වසරේ පැරිස් ගිවිසුම යටතේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා ඉහළ යෑම සීමාකිරීමට රටවල් රැසක් එකඟ විය. එහෙත් එය බොහෝ අවස්ථාවලදී එකඟතාවකට පමණක් සීමා විය.
දශකයක හෝ දෙකක කාලයක් තිස්සේ සෑම වසරකම සෙල්සියස් අංශක 1.5ට වඩා උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන්, අසාමාන්‍ය ලෙස ඉහළ යන උෂ්ණත්වය දීර්ඝ කාලයක් පැවතීම සහ එම නිසා සුළි කුණාටු සහ ලැව්ගිනි ඇතිවීම දැකිය හැකිය. පර්යේෂකයන්ට අනුව මේ බලපෑම් ආරම්භ වූවා පමණි. විද්‍යාඥයන් පවසන්නේ වායු විමෝචනය තියුණු ලෙස කපා හැරීම මගින් ගෝලීය උණුසුම සීමාකිරීමට තවමත් අවස්ථාව තිබෙන බවයි.
කාලගුණ විද්‍යාඥයෝ අදහස වෙනස් කරති
2020 වසරේ සිට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ඕනෑම වසරකදී ලෝක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක මට්ටම ඉක්මවා යා හැකි සම්භාවිතාව පිළිබඳ ඇස්තමේන්තුවක් සකස් කරනු ලබයි. ඔවුන් මුලදී අනාවැකි පළ කළේ ඉදිරි වසර පහ තුළ ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාව ඉක්මවා යෑමේ සම්භාවිතාව සියයට 20කට වඩා අඩු බවකි. දැන් ඔවුන් එසේ කියන්නේ නැත. පසුගිය වසර වන විට මේ සම්භාවිතාව සියයට 50ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, දැන් එය සියයට 66ක් දක්වා ඉහළ ගොස් තිබේ. විද්‍යාඥයන් පවසන්නේ මෙය සිදුනොවීමට වඩා සිදුවීමට වැඩි ඉඩක් ඇතැයි යන්න දැන් පැහැදිලි බවයි.
මේ සෙල්සියස් අංශක 1.5ට වඩා වැඩිවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ද පැහැදිලි කරගත යුතුය. මේ සංඛ්‍යාව ලෝක උෂ්ණත්වය දැක්වීමේ සෘජු මිනුමක් නොව දිගුකාලීන ගෝලීය සාමාන්‍ය අගයට සාපේක්ෂව පෘථිවිය කෙතරම් උණුසුම් වී හෝ සිසිල් වී ඇත්ද යන්න අවබෝධ කරගැනීමේ දර්ශකයකි. දශක ගණනාවක් තිස්සේ විශේෂඥයන් විශ්වාස කළේ ලෝකය සෙල්සියස් අංශක දෙකකින් පමණ උණුසුම් වුවහොත් එය භයානක බලපෑම් ඇති වීමේ ආරම්භය වනු ඇති බවයි. නමුත් 2018 වසරේදී ඔවුන් මෙය සංශෝධනය කළ අතර, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවා යෑම ලෝකයට විපත් ගෙන දෙන බව ඔවුහු දැන් සාක්ෂි සහිතව පෙන්වා දෙති.
මෑත කාලීනව වැඩි ම ගෝලීය උෂ්ණත්වය වාර්තා වූයේ 2016 වසරේදී ය. එම අගය සෙල්සියස් අංශක 1.28කි. එතෙක් ගෝලීය වශයෙන් වැඩිම උෂ්ණත්වය ලෙස වාර්තා මගින් දැක්වූයේ පූර්ව කාර්මීකරණ යුගයයි. දැන් පර්යේෂකයන් පවසන්නේ එම අගය සීග්‍රයෙන් ඉක්මවා යමින් තිබෙන බවයි. 2027 වසරට පෙර එය සිදුවන බව ඔවුන්ට දැන් සියයට 98ක් ම විශ්වාස ය.
‘ඇත්තටම අපි දැන් ඉන්නෙ වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 තාවකාලිකව ඉක්මවා යා හැකි තැනක. මානව ඉතිහාසයේ අපි මෙතරම් ඉහළ උෂ්ණත්වයකට සමීප වුණු පළමු අවස්ථාව මේක.’ ලෝකය පුරා පිහිටුවා ඇති කාලගුණික සහ දේශගුණික නියෝජිතායතනවලින් දත්ත එක්රැස් කරන කාලගුණ කාර්යාලයේ ප්‍රධානියෙකු වන මහාචාර්ය ඇඩම් ස්කෙයිෆ් එසේ පවසයි.
තවත් පර්යේෂකයන් පිරිසක් පවසන්නේ පැරිස් ගිවිසුමේ සඳහන් සීමාව ඉක්මවූ බව පැවසීමට නම් වසර 20ක කාලයක් අඛණ්ඩව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක හෝ ඊට වැඩි මට්ටමක පැවතිය යුතු බවයි.
ඇත්තටම සිදුවන්නේ කුමක්ද?
‘දේශගුණය’ යනුවෙන් හැඳින්වෙන්නේ වසර ගණනාවක් පුරා යම් ප්‍රදේශයක පෙන්වන සාමාන්‍ය කාලගුණයයි. එම සාමාන්‍ය තත්ත්වයන් වෙනස්වීම ‘දේශගුණ විපර්යාසය’ යනුවෙන් හැඳින්වේ. මේ දේශගුණික විපර්යාස නිසා 2070 වන විට ලොව පුරා බිලියන තුනක් දැඩි උණුසුමට මුහුණ දෙනු ඇතැයි අපි මේ ලිපියේ මුලදී ම සඳහන් කළෙමු. මේ වන විට අප අත්විඳින සීඝ්‍ර දේශගුණ විපර්යාසයන් ඇතිවී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම මිනිසා විසින් සිය නිවෙස්, කර්මාන්තශාලා සහ ප්‍රවාහන කටයුතු සඳහා ඛණිජ තෙල්, වායු, සහ ගල් අඟුරු දහනය කිරීම නිසා ය.
මේ ෆොසිල ඉන්ධන දහනය වන විට හරිතාගාර වායු, කාබන්ඩයොක්සයිඩ් විශාල වශයෙන් නිකුත් වේ. මේ වායු මගින් පෘථිවියට ලැබෙන සූර්ය තාපය පෘථිවියේ ම රඳවා ගන්නට කටයුතු කරයි. එමගින් පෘථිවියේ උෂ්ණත්වය සීග්‍රයෙන් ඉහළ යයි. වර්තමාන ලෝකය 19 වැනි සියවසේදී තිබුණාට වඩා සෙල්සියස් අංශක 1.2කින් උණුසුම් ය. එසේම වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය එම කාලයට සාපේක්ෂව සියයට 50කින් ඉහළ ගොස් ඇත.
කළ යුත්තේ කුමක්ද?
විද්‍යාඥයන් පවසන්නේ ලෝකයේ පහසුවෙන් ජීවත්වීමට නම් 2100 වන තෙක් උණුසුම ඉහළ යන අගය සෙල්සියස් අංශක 1.5 මට්ටමේ තබාගැනීම අනිවාර්ය බවයි. කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය පියවර නොගතහොත්, මේ ශතවර්ෂය අවසන් වන විට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙක ඉක්මවීම අනිවාර්ය බවයි. භයානක කොටස ඇත්තේ ඉන්පසුව ය. මීට පිළියම් කිසිවක් නොයෙදුවහොත් ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 4 ඉක්මවීමට ඉඩ ඇති අතර, එය හදිසියෙන් ඇතිවන විනාශකාරී ග්‍රීෂ්ම කාලයන්ට, මිලියන ගණනකට නිවාස අහිමි කරමින් මුහුදු මට්ටම ඉහළ යෑමට සහ ශාක හා සත්ත්ව විශේෂයන් සම්පූර්ණයෙන්ම වඳවී යෑමට හේතු වනු ඇත.
2050 වන විට කාබන් විමෝචනය බිංදුව දක්වා ගෙනඒමට බොහෝ රටවල් ප්‍රතිඥා දී ඇත. මෙයින් අදහස් කරන්නේ හරිතාගාර වායු විමෝචනය හැකිතාක් අවම කිරීම සහ ඉතිරි විමෝචනයන්ට සමාන ප්‍රමාණයක් වායුගෝලයෙන් අවශෝෂණය කර සමතුලිත කිරීමයි. මෙය ළඟා කරගත හැකි ඉලක්කයක් ලෙස විශේෂඥයන් පැවසුවද, ඒ සඳහා රාජ්‍යයන්ගේ කැපවීම අනිවාර්ය වේ.
ප්‍රභූ තන්ත්‍රය ගැන එක්සත් ජාතීන් කියන දේ
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ මිහිතලය විනාශ කරන දේශගුණ විපර්යාස පාලනය කරගැනීම සඳහා ලෝකයේ ධනකුවේරයන්ගේ ජීවන රටාවේ මහා වෙනසක් කඩිනමින් සිදුකළ යුතුව ඇති බවකි. ලෝකයේ ධනකුවේරයන්ගෙන් සියයට එකක් පරිසරයට විමෝචනය කරනු ලබන කාබන් විෂ වායු ප්‍රමාණය, ලෝකයේ දුප්පත් ම ජනයාගෙන් සියයට 50ක් පරිසරයට විමෝචනය කරන කාබන් ප්‍රමාණයට වඩා දෙගුණයකින් වැඩි බව එම වාර්තාව පෙන්වා දෙයි.
1990 සහ 2015 අතර කාලය ඇතුළත වැඩිවෙමින් පැවති කාබන් විෂ වායු විමෝචනය තක්සේරු කරන විට ඒ අතරින් සියයට 37කට වගකිවයුත්තේ ලෝකයේ ධන කුවේරයන්ගෙන් සියයට 5ක් බව හැඳීන්විණි. එක්සත් ජාතීන්ගේ එම වාර්තාව මේ පිරිස හඳූන්වන්නේ ‘ඊනියා දූෂිත ප්‍රභූ තන්ත්‍රය’ යන යෙදුමෙනි.
එම නිසා ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට නම් ඇත්තේ එක ම පාරකි. ඒ සාමූහිකත්වයේ පාර පමණි.
- ශාලික විමලසේන